හොලිවුඩයත් දණින් වට්ටන කොරියන් ත්‍රිලර් 7ක්

කොරියන් නිර්මාණ කිව්වම මනසේ මැවෙන්නේ ඉතිහාස කතන්දරයි රොමැන්ටික් කොමඩියි විතරයි. ඒවා අපට කොරියන් කියන බ්‍රෑන්ඩ් එක ඉස්සරහින් තියාගෙන අපේ ටීවී චැනල්වලින් පෙන්නපු ඒවා. අන්න ඒ නිසා ම කොරියානු සිනමාවේ තියෙන අරුමය අපිට ගිලිහිලා තියනවා. විශිෂ්ට මට්ටමේ කොරියන් ත්‍රිලර් එකක තියන ගැම්ම ළඟටවත් එන්න ඇමරිකානු නිර්මාණකරුවන්ට බැහැ. ඒ වගේ ත්‍රිලර් 7ක් ගැනයි මේ කතාබහ. හැබැයි ඉතින් දෙයියනේ කියලා කොරියානු භාෂාවෙන් ම ඉංග්‍රීසි සබක් එක්ක බලන්න ඕනි.



1. The Man from Nowhere



අද්භූත ජීවිතයක් ගත කරන හරිහමන් මනුස්ස ආශ්‍රයක් නැති ඔහුගේ ජීවිතයේ එක ම මිතුරිය තමයි මේ පුංචි කෙල්ල. මත්ද්‍රව්‍ය සම්බන්​ධ සිදුවීමක් නිසා මේ කෙල්ලව පැහරගැනීමකට ලක් වෙනවා. ඉතින් ඇයව බේරගන්න අපේ කතා නායකයා දාන වැඩ කෑල්ල තමයි මේ චිත්‍රපටය පුරාවට තියෙන්නේ. කුණු තක්කාලි දර්ශකයේත් 100%ක් තියනවා. බොහෝ සිනමා උළෙලවල හොඳ ම නළුවා සම්මානයත් ප්‍රධාන චරිතය රඟපාපු වොන් බින්ට හිමි වුණා. ඒ වගේ ම 2010 වසරේ කොරියාවේ වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය වුණෙත් මේකමයි. ඇක්ෂන් වැඩ කෑලි ටික නම් මල් මසුරන්. ලැයිස්තුවේ උඩට ම දැම්මේ ත්‍රිලර් කියපු ගමන් මතක් වුණ නිසයි.

 

2. The Chaser


කාලයක් පොලිස් සේවයේ ඉඳලා අයින් වුණ මහත්තයෙක් දැන් කරන්නේ අවශ්‍ය කට්ටියට අබිසරුලියන් සපයන එක. ඒත් එහෙම යවපු ගෑණු උදවිය කීපයක් නැවතත් එන්නේ නැහැ. ඉතින් ඔවුන්ට වුණේ මොකද්ද? වෙන්නේ මොකක්ද කියලා අපේ කතා නායකයා තේරුම් ගනීවි ද? මේක කොරියාවේ වුණ ඇත්ත ම ඇත්ත කතාවක් පාදක කොටගෙන නිර්මාණය වුණ බව දැනගත්තම තව ටිකක් ත්‍රිලර් රසය වැඩි වෙලා දැනෙන්න ගනීවි. කුණු තක්කලියෙන් 82%ක් ම තියනවා.

 


3. The Yellow sea



ගුනාම් ටැක්සි රියදුරෙක්. ඒ වගේ ම සූදු කප්පිත්තෙක්. ඉතින් කොහොමින් හරි ඒ සූදුව ඔහුව තල්ලු කරේ ණය ගොඩකට. ගුනාම්ගේ නෝනා ඉතින් රැකියාවක් සොයන් දකුණු ඉන්දියාවට යනවා. මුදල් ආපසු එවන බලාපොරොත්තුවෙන් ගියත් නෝනට වෙච්චි දෙයක් නෑ. ඒ අස්සේ ජොබෙන් අස් කරලා වැලේ වැල් නැතුව ඉන්නකොට පොඩි වැඩක් සෙට් වෙනවා මිනීමැරුමක් කරන්න. සල්ලි උපයන්න. ඉතින් ඔහුත් යනවා දකුණු කොරියාවට. එතන දී නෝනව හම්බෙනවද ඒත් නැත්තම් තමන් ජීවිතේට නොපතපු දෙයක් සිදු වෙනවද කියලා 86%ක් දීපු කුණු තක්කාලි ප්‍රජාවවත් බලාපොරොත්තු වුණේ නැහැ.


4. I Saw the Devil



දාම ඝාතකයො කොහොමත් යක්කු. බුද්ධි අංශ නිලධාරියෙකුගේ ප්‍රේමිය උස්සන් යනවා කියන්නේ හොඳට පදම් වෙච්ච යක්කු. ඉතින් ඒකේ වාඩුව ගන්න මේ නිලධාරියා මේ ඝාතකයා පස්සේ පන්නනවා. චිත්‍රපටය පුරාවට අතිශය බිහිසුණ සටන් ක්‍රම දකින්න පුළුවන්. අන්තිමේ දාම ඝාතකයාගෙන් යුක්තිය වාඩුව විතරක් අරන් මේක අවසන් කරයි කියලා හිතුවට ඒක එහෙම වුණේ නැහැ. මේක බලන්න ම ඕනි අවසානයක් තියන කතාවක්. හැබැයි ඉතින් බලලා නූලක් හෙම ගැටහගහගන්න වෙනවා.


5. Memoir of a Murderer



Memories of a Murderer කියලත් ෆිලුමක් තියේ. ඒකයි මේකයි පටලගන්න එහෙම එපා. මේ චිත්‍රපටයේ තියෙන්නේ පූර්වයෙන් මිනීමරුවෙක් වෙලා පස්සේ ඇල්සයිමර් රෝගියෙකු බවට පත් වුණ තාත්තා කෙනෙක් තවත් එහෙම කෙනෙක්ගෙන් තමන්ගේ දුව ව රැකගන්න කතාවයි. මේ තාත්තට මේ තත්ත්වය උදා වෙන්නේ කුඩා කාලෙ දී තමන්ගේ තාත්තා ව මරා දැම්මට පස්සේ. මේ ෆිලුමේ ඉමෝෂන්ස් ටික නම් සුපිරියට ම ගලාගෙන යනවා.

 


6. No Tears’ for the Dead



අනාථ දරුවෙක් ඉන්නවා මාෆියා ජීවිත එක්ක ම හැදිලා වැඩුණු. ඔහු ඔවුන් වෙනුවෙන් ඕනි ම දෙයක් කරනවා. එක දවසක් කුඩා කෙල්ලක් ඔහු අතින් මැරෙනවා. ඒ වේදනාව දරාගන්න බැරිව සේවයෙන් සමුගන්න උත්සහ කරන එකට දසතින් අකුල්. හරි එහෙනන් අන්තිමට මේක මරලා නිදහස් වියන් කියලා බොසා ඔහුට ටාගට් එකක් දෙනවා. දෙයියෝ ඒ කවුද කියලා මේ ලිපියෙන් කියනවට වඩා ෆිලුම බලලා ම හොයාගත්තා නම් වටිනවා.

 

7. Forgotten


අවුරුදු ගණනකට පෙර නිවසක මිනීමැරුමක් සිද්ධ වෙනවා. කවුද මේක කරන්න ඇත්තේ? ඒක හොයාගන්න ගහපු ගේම තමයි ෆොගොට්න්  කියන්නේ. නෙට්ෆ්ලික්ස් කට්ටියගේ වැඩක්.

අන්තිමේ මිනීමරුවා වන්නේ කවුරුවත් ම නොහිතපු පට්ට අහිංසකයෙක්. කොරියන් ත්‍රිලර්වල වෙන්නේ කොහෝමත් නොහිතපු දේවල් නේ.

 

 

අපි කලින් පොදුවේ කොරියන් චිත්‍රපට ගැන ලිව්වා. මේ තියෙන්නේ ඒක.

 ඒකේ සඳහන් වන Oldboy කියන්නෙත් සුපිරියක් තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *