ඉන්දියන් සාගරයේ ලස්සන දූපතක් විදියට ලංකාව සංචාරකයින් විසින් හඳුන්වනවා. ඒ ලස්සන ලංකා දූපතේ ගොඩබිම වගේම මුහුදෙත් ලස්සන ලස්සන දේවල් තියෙනවා. ඒ අතර කොරල් විශේෂ තැනක් ගන්නවා. ලංකාවේ කොරල් වලට මුහුණ පාන්නට වෙලා තියෙන කලදසාව නම් එච්චර හොඳ එකක් නෙමෙයි. ලංකාවෙ කොරල් පර විනාශ වෙන්න මිනිසාගේ බලපෑම් වගේම වෙනත් දේශගුණික සාධකත් බලපානවා.
1. ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම
කොරල් පර හැදෙන්නේ කොරල් බුහුබාව කියල ජීවියෙක්ගෙන්. මේ කොරල් වලට ජීවය දෙන සත්වයා පරිසරයට බොහොම සංවේදී සතෙක්. උණුසුම වැඩි වුනත්, ජලයේ තත්ත්වය වෙනස් වුනත් ඒ කොරල් බිහිකරන සත්ව ප්‍රජාවට එය නරක විදියට බලපානවා. ජලයේ උණුසුම ඉහළ යන්න මිනිස් ක්‍රියාකාරකම් වගේම එල් නිනෝ වගේ දැවැන්ත සාගර දේශගුණික විපර්යාසත් හේතු වෙනවා. මේ මගින් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම තියෙන කොරල් පර තර්ජනයට ලක් වෙලා තියෙනවා.
2. සුනාමි සහ මුහුදු සැඩ කුණාටු
2004 සිද්ද වෙච්චි දැවැන්ත සුනාමියෙන් අපේ ගොඩබිමට වුණු විපත්ති අපිට වීඩියෝ විදියට දැකගන්න ලැබුනා. ඒ වගේම සාගර ජීවී ප්‍රජාවටත් ඒ සුනාමිය කරපු බලපෑම සුළු පටු නැහැ. අපේ හික්කඩුවේ වගේම ලංකාව වටේම තැන් තැන්වල කොරල් පර තියෙනවා. නිරිත සහ නැගෙනහිර දිහාවෙ තිබුන කොරල් පර වලට සුනාමිය නිසා හානි වුනා. සුනාමියෙන් කොරල් පර ඇතැම් ඒවා කැඩිලා ගියා. ඉතුරු වුන කොරල් වලට උඩින් සුනාමියෙන් ගහගෙන ආපු වැලි එකතුවීම නිසා ඒ කොරල් වල වර්ධනය අඩාල වුනා.
3. ධීවර කර්මාන්තය
ධීවර කර්මාන්තයේදී අපිට මාලු අල්ලගන්න නම් මාලු මුහුදේ බිහිවෙන්න ඕනා. මාලු බිත්තර වලින් පැටවු බිහිවෙන ක්‍රියාදාමයට කොරල් පර වැදගත් වනවා. ඒ නිසාම කොරල් පර තිබෙන සීමාවන් ඇතැම් වෙලාවට මසුන් අල්ලන්න බැරි තහනම් කලාප විදියට නම් කරලාත් තියෙනවා. ඒත් නීති පොත් වල තිබුනාට සුලු ධීවරයින් වගේම විශාල පරිමාණ ධීවරයනුත් කොරල් පර තිබෙන ප්‍රදේශවලත් ධීවර කටයුතු වලට යනවා. එතකොට වසර ගණනාවක් තිස්සේ සෙමින් වැඩෙන කොරල් එකපාර කැඩිලා විනාස වෙලා යනවා.
4. සංචාරක කර්මාන්තය
ලංකාවේ හික්කඩුව සහ ත්‍රීකුණාමලයේ නිලාවැලි වෙරළේ කොරල්පර සංචාරකයින් නිසා දැඩි අවදානමට ලක්වෙලා තියෙනවා. ටිකක් ගැඹුරේ තිබෙන කොරල් නම් අවදානමට ලක් වෙන්නේ කිමිදෙන සංචාරකයින්ගෙන් විතරයි. ඒත් නොගැඹුරු මුහුදේ තිබෙන කොරල් පර බලන්නට යන අය නිසා කොරල් පර පෑගිලා විනාශ වෙනවා. හික්කඩුවේ තිබෙන කොරල් පරයෙනුත් දැන් 80%කට වඩා විනාශ වෙලා ඉවරයි. ඒ කාලේ පටන්ම හික්කඩුවේ කොරල් බැලීම ජනප්‍රිය වුනා. ඒත් එක්ක හික්කඩුවේ කොරල් වල විනාශයත් බොහොම ඉක්මනින්ම ලඟා වුනා.
5. කැලි කසල හා අපද්‍රව්‍ය
ලංකාවේ කොරල් වලට නම් පොලිතීන් උවදුර බලපාලා තියෙන බවක් වැඩිපුර නිරීක්ෂණය වෙලා නැහැ. ඒත් වැල්ලවත්ත පැත්තේ වගේම ලංකාවේ සෑම මෝය කටකින්ම මුහුදට පොලිතින් ප්ලාස්ටික් තොග ගණන් එකතු වෙනවා. මේ පොලිතින් ප්ලාස්ටික් මුහුදට එකතු වෙලා කලක් ගියාම කොරල් මත ඉහළින් තැම්පත් වෙනවා. නැතිනම් පාවී පාවී තිබිලා මුහුදේ ස්වභාවික ජීවීන්ට තර්ජනයක් වෙනවා. දූපත් රටක් විදියට අපිට තවමත් කැලිකසල බැහැර කිරීම් සම්බන්ධයෙන් හරිහැටි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා අගනුවර කොළඹදී පවා මුහුදට කැළණි ගඟ හරහා වගේම වැල්ලවත්ත කුණු ඇලෙනුත් කැලි කසල යහමින් එකතු වෙනවා.
6. හුණුගල් ගලවන්නන්
විසිතුරු බඩු කර්මාන්තයට හෝ ඉදිකිරීම් වැඩ සඳහා ඉස්සර ඇතිපදන් අපේ කොරල් පර ගලවලා තියෙනවා. ලංකාව වටේ තියෙන ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි කොටු බැලුවොත් ගොඩක් ඒවා හදලා තියෙන්න් හුණුගල් වලින් කියලා ටිකක් ලඟට ගිහින් බැලුවොත් පේනවා. ඒ කාලේ වෙරළබඩ හිටිය යුරෝපා ජාතින් වැඩි ලේසියට කොරල් ගල් වලින් ඉදිකිරීම් කරලා තියෙනවා. ඒත් දැන් නම් නීති රීති දැඩි කරලා තියෙන නිසා කොරල් පර ගැලවීම සෑහෙන අඩුවෙලා තියෙනවා. ඒත් විසිතුරු බඩු විදියට කොරල් වෙරළෙන් ගෙදර ගෙනියන්න හදන උදවිය නම් තාමත් ඉඳහිට හෝ ඉන්නවා.
7. කොරල් ආරක්ෂා කරගත යුත්තේ ඇයි?
වෙරළ ඛාදනය අඩුකරගන්න කොරල් පර අපිට උදව් කරනවා. මිනිසාගෙන් කොච්චර කෙනහිලිකම් තිබුනත් විශාල සුනාමියක්, කුණාටුවක් ආවම කොරල් පර වලින් ඒවායේ ශක්තිය අවශෝෂනය කරගන්නවා. වෙරළබඩ ගොඩබිම පරිසරයේ පොළව යට තිබුණු හුණුගල් තට්ටු පිටින් ඉවත් කළ පළාත් වලට සුනාමිය එහෙම සැරටම බලපෑවා. වනාන්තරය වගේම කොරල් පර සහිත සාගරය කියන්නෙත් සුන්දර දෙයක්. මහා වැසි වනාන්තරයක තියනවා වගේම ජීවින් විශාල ප්‍රමාණයක් සුන්දර කොරල් පරයක ජීවත් වෙනවා. අනෙක් අතින් හරිහැටි කළමනාකරණය කරගත්තොත් කොරල් බලන්න එන සංචාරකයින්ගෙනුත් රටට ආදායමක් එනවා.
ලංකාවේ ස්වභාවික කොරල් පර වල බ්ලීච් වීම හෙවත් ඛාදනය මේ දිනවල වැඩි වෙලා කියලා හොයාගෙන තියෙනවා. ඒ මොකද කියලා නම් දැනට හරි හේතුවක් අනාවරණය කරගෙන නැහැ. ස්වභාවික සම්පත් නැතිකරන්න හරි ලේසියි. ඒත් නැවත අතිකරගන්න නම් සෑහෙන අමාරුයි. ඒ නිසා අපි අපිට හැකි ටම්ටමින් අපේ රට වටේ තියෙන කොරල් පර රැකගන්න දායක වෙන්න ඕනි.
Leave a Reply