ඔබ ලයන් කින්ග් ත්‍රිමාණ චිත්‍රපටය බැලිය යුත්තේ ඇයි?

ලයන් කින්ග් කියන්නේ පුරාවෘත්තයක්. 1994 2D ඇනිමේෂන් එකක් විදියට එළිබැහැපු ඒක ගැන ආයෙත් මේ අවුරුද්දේ කතා කරන්න පටන් ගත්තේ ඒ ආශ්‍රයෙන් කරපු 3D චිත්‍රපටය නිසා. ගොඩක් මේ සම්බන්ධයෙන් කට්ටියගේ තියෙන්නේ මිශ්‍ර අදහස්. සමහරු උපරිමේට ම චිත්‍රපටය වින්දා. තවත් අයට ඒ ගැන කියන්න තිබුණේ සෘණාත්මක දේවල් විතරයි. සෘණ පැත්තට නොයා මේක ඔබ නරඹන්න ම ඕනි චිත්‍රපටයක් වෙන්න හේතු අපි හොයාගෙන යමු.



1. නොස්ටැල්ජියාවට ගමනක්


ලයන් කින්ග් බලන්න තියෙන බොහොමයක් හේතු අතර ඉහළින් ම රැඳිය යුත්තේ මේ සාධකයයි. අතීතයට ආපහු ගිහින් ඒ මොහොතේ ජීවත් වෙනවා වගේ හැඟීමක් චිත්‍රපටය බලන අතරේ එනවා. ඒ හැඟීම් කලින් වගේමයි. හිරිගඩු පිපෙනවා. කෙල ගිලින්නේ නැති පොඩි ලයින් එකක් එනවා. මුෆාසාට අකරතැබ්බේ වෙනකොට දන්නෙවත් නැතුව කඳුළු පනිනවා. හැඟීම් අච්චාරුවයි. ඊළඟට වෙන්න තියෙන සිදුවීම දැන දැන ම මේ අලුත් අත්දැකීම විඳගන්න එක අත්හදා බලන්න ම ඕනි දෙයක්. ගොඩක් දෙනාගේ ළමා කාලයට යන්න පුළුවන් හයිවේ එකක් තමයි ලයන් කින්ග්. ඒක උපරිමෙන් විඳිය යුත්තක්.



2. සජීවීකරණ අත්දැකීම


මේක ඇනිමේෂන් එකකටත් වඩා ලයිව් රීමේක් එකක් විදියටයි සලකන්න වෙන්නේ. හරියට නිකන් ඇනිමල් ප්ලැනට් එකේ එපියක් බැලුවා වගේ ගතියක් එනවා. ඒ තරමට ම සිරා. හැබැයි ගොඩක් අයට ඒකේ පරහක් පෙනුණේ මුල් චිත්‍රපටයේ වගේ භාව ප්‍රකාශනයක් පෙන්වන්න මේ අලුත් එකට බැරි වුණ නිසයි. ඇත්තට ම ඉතින් එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් අලුත් එක බලන එකත් මෝඩකමක්. මොකද මුල් චිත්‍රපටය එක්ක මේක සසඳන්න බෑ. මුල් එක ක්ලැසික් එකක්. කොලිටි බඩුවක්. ඒක අනුකරණය කරන්න බෑ. ඒ හැඟීම ඒ විදියට ම දෙන්න බෑ නමුත් වෙන විදියකට දෙන්න පුළුවන්. මුෆාසාගේ මරණය, අවසන් සටන වගේ තැන් මාර ම තාත්විකයි. ආය ඉතින් අපි සිංහයොන්ගේ කට අස්සේ ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. මේක බලනවා නම් 1994 චිත්‍රපටය එක්ක සසඳලා බලන්න එපා. වෙන ම චිත්‍රපටයක් විදියට දකින්න.



3. හඬ නළුවන්


බුදු අම්මා මේක. දක්ෂම නළුනිළියෝ ටිකක් තමයි වැඩේට බැහැලා ඉන්නේ. මුෆාසාගේ ඉඳන් හයිනලා සෙට් එක වෙනකන් හඬකැවීම උපරිමයි. මුල් චිත්‍රපටයේ මුෆාසාට හඬකවපු ජේම්ස් අර්ල් ජෝන්ස් දෙයියා වගේ මේකටත් ඉන්නවා කියන්නකෝ. ඇත්තට ම ඒක නම් මොන ම කොන්දේසියක් උඩ කිසිම විදියකින් අනුකරණය කරන්න බැරි කටහඬක්. සෙත් රෝගන්, බියෝන්සේ, ජෝන් ඔලිවර්, ඩොනල්ඩ් ග්ලෝවර්, චිවෙටල් එජියෆෝර්, බිලී අයික්නර්, ෆ්ලෝරන්ස් කසුම්බා වගේ දක්ෂයෝ කීප දෙනෙක්ගේ වැඩක් තමයි මේ. මේ සම්බන්ධයෙන් ගැලපෙන හොඳ ම හඬවල් ටික තමයි මේ. ආයේ ඒකේ දෙකක් නෑ.



4. සින්දු


ලයන් කින්ග් සම්බන්ධයෙන් සුවිශේෂ කියැවීමක් තමයි ඒකේ තියන සින්දු. පටන් ගන්නේ ම Circle of life කියලා. ඊට පස්සේ තව ඉස්සරහට I just can’t wait to be king සින්දුව එනවා. Can you feel my love tonight වගේ සින්දු නම් කවදාවත් ඇහුවට ආසාව නැති වෙන සින්දු නෙවෙයි. ඊට වඩා ඉතින් අම්මේ බියොන්සේ නෝනා කියන්නේ. ඇකපෙලා එකක් විදියට කියවෙන Lion sleeps tonight සමහරවිට චිත්‍රපටයේ තියෙන ආතල් ම සීන් එක වෙන්න පුළුවන් 

 

5. දෙබස්


ඩිස්නි චිත්‍රපට මෙහෙම තමයි. මොන ම ගුරෙක්ටවත් දෙන්න බැරි උපදේශ රාශියක් මේ දෙබස්වල තියනවා. මුල් චිත්‍රපටයේ තිබුණ දෙබස් වගේ ම අලුත් එකෙත් අමුතුවෙන් ම අලුතින් එක් කරපු දෙබස් තිබුණා. හැබැයි ඒකෙන් කිසිම හානියක් නම් චිත්‍රපටයට වුණේ නෑ. ඒකට ආසා හිතෙන එක විතරමයි වෙන්නේ. උදාහරණෙකට පුම්බා-ටිමෝන් ජෝඩුවගේ දෙබස් ඇහුවා ම පපුවේ පැත්තක් රිදෙනකන් හිනා වෙන්න පුළුවන්.



6. ලයන් කින්ග් ඉෆෙක්ට්


චිත්‍රපටය පටන් ගන්නකොට එකින් එක පිපෙන්න ගත්ත හිරිගඩු සතියක් හමාරක් යනකන් නැති වෙන්නේ නෑ. ඒක තමයි ලයන් කින්ග් ඉෆෙක්ට් එක. චිත්‍රපටයක් බලලා ඉවර වුණාට පස්සේ ඒ ගැන ම හිතන්න හරි ඒ සම්බන්ධ අනික් දේවල් ගැන හරි හැඟීම්බර ව හිතන්න මිනිස්සුන් ව මෙහෙයවනවා නම් ඒක අතිසාර්ථක චිත්‍රපටයක්. කවුරු මොන විචාර ඉදිරිපත් කළත් මේක එහෙමයි. නොස්ටැල්ජියාවෙන් පාර කාපු මිනිස්සු වුණා ම ඒක තව වැඩියි.



7. වර්තමාන පරපුරට කතාවක්


ඉස්සර ලයන් කින්ග් මුලින් ම බලපු සමගර ඈයෝ දැන් දැන් ළමයි පැටව් ඉන්න අම්මලා තාත්තලා. තමන්ගේ ළමා කාලය නිර්වචනය කරපු නිර්මාණයක් කාලයේ හැටියට තමන්ගේ ළමයින්ට පෙන්වන්න තියෙනවා නම් ඒක කොච්චර ලොකු සතුටක් ද? අනික ඉතින් මේක නිකන් ම නිකන් මෝඩ කතාවක් නෙවෙයිනේ. එක විදියකින් ආත්ම ගවේෂණයක්. අන්න ඒ නිසා විවේචන කරන අයට කරගන්න කියලා ෆිලුම් හෝල් එකට ගිහින් පවුල් පිටින් සිංහ කතාන්දරය බලලා එන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *