මේක රස කතාවක් නෙමෙයි. තාමත් පෙම්වතියක් නැති සහ කසාදයක් නොබැඳපු ඈයොන්ට මේක හිනාවෙන්න පුළුවන් කාරණයක් වුනත් මේක කසාද බැඳපු මිනිස්සුන්ගෙ ජීවිතයත් මරණයත් අතර කතාවක්. මේ කතාව අදාළ කසාද බැඳපු පිරිමින්ට. හැබැයි අනිත් අයත් මේ ගැන දැනගත්තට කමක් නෑ. විශේෂයෙන්ම මේ කතාව අයිති වෙන හරිම කුලකය වෙන්නෙ තමුන්ගෙ කසාදයේ මුල් අවුරුදු 10 ගෙවමින් ඉන්න උදවියට. ඊට පස්සෙ අයට මේ කතාව ඇතුළෙ තියෙන ප්රශ්නවලට වඩා දේවල්වලට මුහුණ දෙන්නට වෙනවා. ඉතිං එහෙනං අපි මේ රස කතාවක් නොවෙන කතාවට බහිමු.
1. කොහොමත්
වයිෆ්ලා සහ තෑගි ගැන කතා කරද්දි කොහොමත් වයිෆ්ට දෙන්න වෙන තෑගි විශේෂ කිහිපයක් තියෙනවා. ඒවා ඉතිං දෙන්නම ඕන පුතෝ. තෑග්ග දෙන්න අතේ සල්ලි නැතිවුනත් අනිවාර්යෙන් දවස මතක තියෙන්න ඕන. දවස මතක තිබිලම විතරක් බෑ. පොඩි හරි තෑග්ගක් දෙන්න ඕන. ඒ දීලත් බෑ. තෑග්ග පොඩියිනං ඒකටත් චුට්ටක් හිත අවුල් යන්න පුළුවන්. මෙන්න මේ විදියට කොහොමත් තෑගි දෙන්න වෙන විශේෂිත දවස් කිහිපයක් තියෙනවා. ඒකෙන් ප්රධානම දෙක තමයි උපන්දිනය සහ වෙඩින් ඇනිවසරිය. මේකට අමතරව ලවු ඇනිවසරිය, මුලින්ම දැකපු දවස, මුලින්ම සෙක්ස් කරපු දවස වගේ බොහෝමයක් අවස්ථා හදාගන්න පුළුවන්. හැබැයි අර දෙක නං අනිවා ඩෙෆා.
2. හදිස්සියේම
අපි මේ කියපු අනිවාර්ය අවස්ථා අතරට තවත් දේවල් සෙට් වෙනවා. සමහරුන්ට හදිස්සියේම තෑගි දෙන්න වෙන අවස්ථා සිද්ධ වෙනවා. නිකමට හිතමුකො මෙහෙම. ඔන්න ඉතිං හබියාගෙ ෆෝන් එක කැඩිලා නිසා එයා ගන්නව ෆෝන් එකක්. වයිෆ්ගෙ ෆෝන් එක කැඩිල නැති වුනත් එයාටත් මොනවමහරි දෙන්න වෙනවා. ඒ වගේම වයිෆ් එක්සෑම් එකක් පාස් වුනාම, එයාට ප්රමෝෂන් එකක් ලැබුනම, වයිෆ් හදිස්සියේම තරහා වුනොත් යාලු කරගන්නත් තෑග්ගක් උපකාරී වෙනවා. ඒ අතරට තවත් විශේෂ අවස්ථා තියෙනවා. වයිෆ් පොඩ්ඩක් අසනීපෙන් ඉන්නවානම් හෝ පුංචි සැත්කමක් හෝ මෙඩිකල් ටෙස්ට් එකක් ගැන හිතේ බයෙන් හිටියත් තෑග්ගක් දෙන්න වෙනවා. එවුව ඉතිං ලෙඩ දුක් වගේම හදිස්සියේ එන දේවල්. මෙහෙම දේවල් එන්නෙ නෑ කියල නං හිතන්නෙපා. අනිවා මාසෙට එකක් සෙට් වෙනවාමයි.
3. ඇත්තටම ඕන මොනවද?
මේක ලෝකෙ පිරිමි හිතකට හිතන්න අමාරුම දෙයක්. ගෑනියෙකුට තෑග්ගක් විදියට ඕන මොකද්ද කියලා ලේසියෙන්ම හිතාගන්න පුළුවන් පිරිමියෙක් කියන්නෙ ඌ මනුස්සයෙක් නෙමෙයි. දෙවියෙක්. මුලින්ම වයිෆ් ෆෝන් එකෙන් කතා කරන දේවල් හොරෙන් අහන් ඉන්නවා, ඊටපස්සෙ වයිෆ්ගෙන්ම වහෙන් ඔරෝ අහනවා, සමහරු වයිෆ්ගේ යාලුවන්ගෙනුත් අහනවා, ඒ වුනත් එහෙම දෙයක් දැනගන්න එක ලේසි නෑ. තව සමහර බිය තුරන් කරපු මිනිස්සු ‘ඔයාට මේ පාර බර්ත්ඩේ එකට මොනවද ඕන?’ කියල කෙලින්ම වයිෆ්ගෙන් අහනව. “මට මොකුත් එපා අනේ/ඔයා මොනාහරි හිතලා දෙන්න/දැනටනං එහෙම මොකුත් ඕනෙ කියල දෙයක් නෑ” වගේ උත්තර තමයි මේ වෙලාවට වයිෆ් සතුව තියෙන්නෙ. හැබැයි ඒවා බොරු. බොරුම බොරු!
4. තෝරන්න
ඔන්න ඉතිං කොයි විදියෙන් හරි වයිෆ්ට දෙන තෑග්ග ගැන තීරණයකට ආවා කියමුකො. එතන ඉඳන් වැඩෙත් ලේසි නෑ. ඇඳුමක් ගත්තොත් ඒක එයාගේ සිරුරට ගැළපීම, ඒ වර්ණය සහ සමේ පැහැය අතර ගැලපුම, එයා ගාව වැඩිපුරම තියෙන ඇඳුම් ජාතිය, මෙෂර්මන්ට් ගැන ඇතුළුව රෙද්දේ විස්තර සියල්ල හොයන්න ඕන. මොකද වයිෆ්ලා කියන ජාතිය චූටි දේටත් ඔෆෙන්ඩ් වෙන ජාතියක්. ඒ හින්දා පොතක් තෑගි දෙන්න හිතුවත් ඒ පොත මුල ඉඳන් අගට කියවලා හිත අවුල් යන දෙයක් නෑ නේද කියල බලන්න ඕන. රත්තරන් බඩුවක් ගත්තොත් එයා ගාව තියෙන ඇඳුම්වලට ඒක මැච් වෙනවද කියල හිතන්න ඕන.
5. සප්රයිස්
තෑග්ගක් ගත්තට විතරක් බෑ. ඒක දෙන එක තමයි සාස්තරේ. ඒක හරිම අමාරු වැඩක්. කොච්චර හොඳ තෑග්ගක් වුනත් දෙන විදියෙන් ඔෆෙන්ඩ් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා සප්රයිස් කරන්න වෙනවා. සප්රයිස් කරන්න යනව තෑග්ග හොයන්න ගියාට වඩා මහන්සියක්. ඒක එක පාරක් කරපු මිනිහෙක් ආයෙ නොකරන දෙයක්. අන්න ඒ නිසා සප්රයිස් නැතත් තෑග්ග දෙන්න තරමක් මහන්සි වෙන්න වෙනවා. රැප් කරන්න වෙනවා. රැප් කරද්දි පිටින් බැලුවට තෑග්ග මොකද්ද කියලා හිතාගන්න බැරි වෙන්න රැප් කරන්නත් වෙනවා. ඔවුව හරිම වාත කේස්.
6. රිප්ලයි
මෙවුව තමයි ෂෝක්ම. එකේක වයිෆ්ගෙ එකේක රිප්ලයි. සමහරු තෑග්ග ලිහලා බලපු ගමන් උම්මා දීලා එක විකාරයක් වෙනවා. සමහරවිට ඒක නවතින්නෙ දෙන්න අතරෙ ඩිස්ටිඩිඩිං පාරකුත් ගියාට පස්සෙ. තවත් සමහර වයිෆ්ලට කඳුළු එනවා. උන්ටම පුදුමයි මේ ගෝතයට අද දවස මතක තිබුනද කියලා. ඒක මතක් වෙලා එනව කඳුළු. සමහර වයිෆ්ලා නං නෝමල් විදියට පුදුම වෙලා, සන්තෝස වෙලා වැඩේ ක්ලෝස් වෙනවා. තවත් අය දානව බොරුව. ඇයි මෙච්චර වියදං කරේ? වගේ ඒවා අහන්නෙ එතකොට. එයාලා හිත ඇතුනේ ඉපිලෙන ගමන් ඉන්නෙ. තවත් අය නෝමල් තැන්කිවු පාරකින් ගේම ක්ලෝස් කරනව. ඇතැම් උදවිය තෑග්ග විචාරය කරනවා. ඇයි දම්පාට ගත්තෙ? මට ඇඳුම් ගොඩක්ම තියෙන්නෙ ඒ පාටින්නෙ, මේ නෙක්ලස් එක නිසා මගේ බෙල්ල කොටයි කියලා කැපිලා පේනවා වගේ ප්රකාශ නිකුත් වෙද්දි දරාගන්න අමාරුයි.
7. වයිෆ්ලාගෙන් ලැබෙන තෑගි
මේක තමයි ෂෝක්ම. හිතන්නම අමාරු දෙයක් මේ. එයාලා අපි ගැන හොයනව දකින්නෙත් නෑ, ඕන මොනවද කියල අහන්නෙත් නෑ, කලබලයක් පේන්නෙත් නෑ, බර්ත්ඩේ එක දවසට කලින් දවසෙ අපි වගේ පැය ගණං මිසින් වෙලා ඉන්නෙත් නෑ, හැබැයි ගාණට අපිට ඕනම දේ දඩෝරියං ගාලා මහ රෑ දොළහට ඇඳ උඩට පත බාවන්න පුළුවන් අරුම පුදුම හැකියාවක් එයාලා සතුයි. ඒක මැජික් එකක්. ඒක ලියපු දෙයක් කියවලා වටහාගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිසා අපේ කතාව මෙතෙකින් නිමා වෙනවා.
Leave a Reply