වෙඩින් එකක ඩාන්ස් ෆ්ලෝර් එකේ දී සෙට් වෙන පුද්ගලයන්ගෙන් ඔබ කවුද?

අපි නම් වෙඩිමකට යන්නේ කන්නයි බොන්නයි නටන්නයි තමයි ආයිබොවන්ඩ. ආය ඉතින් බඳින්නේ කාගෙ කවුද කියන එකවත් එතකොට වගක් නැහැ. කනබොන එක හැමෝම කරාට මොකෝ නටන්න එළි බහින්නේ ආපු අයගෙන් 25%ක් විතර. අනික් උන්දැලා ටික විනිශ්චය මණ්ඩලය. අර 25% අතරත් එක එක වර්ග තියෙන බව මානව විද්‍යාඥයෝ හොයාගෙන තියනවා. සමහරවිට ඒ ඔයා වෙන්න පුළුවන්. නැත්තන් ඔයාගේ යාළුවා වෙන්න පුළුවන්. අපි බලමු.



1. ආරම්භක වෙඩිල්ල


කාලා බීලා ඉවර වෙලා කාටත් කලින් ෆ්ලෝර් එක මැදට ගිහින් එහෙට මෙහෙට වෙවී ඉන්නේ මෙයා තමයි. සංගීතය පටන් ගන්න තියා හිතලවත් නැති වෙලාවක වුණත් එතෙන්ට වෙලා ඉන්නවා. සංගීතේ පටන්ගෙන තියෙන වෙලාවක පුටු මේස පෙරලගෙන එන්නේ ආය. ඔය සමහරු වගේ සෝබන සිද්ධි නැහැනේ. කවුරු කොහොම බැලුවත් ආතල් ගන්න රෙඩි පිට ඉන්න ඕනි. සමහර පවුල්වල මේ සඳහා ම නම් දරාපු විශේෂ පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. අනික් අය වුණත් ලැජ්ජාව කරෙන් බිම තියලා නටන්න එන්නේ මෙයා ගියාට පස්සේ.



2. බෙබා බෝයි


බුදම්මා මෙන්න ඩෑල්ස් එක. නටන්න ගෑණු ළමයි කණ්ඩායමක් හෙම ගෙනල්ලා තිබ්බොත් විනාසයි. ඒක අස්සේ ගිහින් නටන්නේ. නටනවා නෙවෙයි නැටවෙනවා. වෙලාවකට වැටෙනවා. නැගිටලා ආය නටනවා. තමන්ට ම සුවිශේෂ වෙච්ච නර්තන ශෛලීන් හෙමත් තියනවා. වටේ පිටේ ඉන්න පොඩි උන්වත් වඩාගෙන නටන්න එක්කන් යන්න හදනවා. ගිහින් ඩීජේ එකක් එහෙම ප්ලේ කරන හාදයෙක් ඉන්නවා නම් මෑන්ස්ට උපදෙස් දෙනවා. තවත් එක්තරා සතුටු ආකරයක්.



3. ප්ලීස් මාව එක්කන් යන්න


ප්ලීස් මාව එක්කන් යන්න ගොඩක් වෙලාවට කාන්තා චරිතයක්. මල සමයං ලන්සි පැපොල් ගණයට අයත් වෙන ඇය ව වඩම්මවගෙන යන්න ඕනි නටන්න. ඒකට ම සැදී පැහැදුණු අයත් ඇහැ දාගෙන ඉන්නවා. සමහරවිට ආරම්භක වෙඩිල්ල ම ඇවිල්ලා එක්කන් යන්න පුළුවන්. එහෙම ආවමත් ඉස්සෙල්ල ම බෑ බෑ කියලා පොඩි රංගනයක් දානවා. ආය ටිකකින් එනවා. ඇත්තට ම කරන්න යුතු ව තියෙන්නේ ප්ලීස් එයා ව හෝල් එකෙන් ම එළියට එක්කන් යන එක.



4. තාලය වානා


තාලය වානා නටන්නේ තමන්ගේ ජීවන රිද්මයේ තාලයට විතරයි. මොන සංගීත කණ්ඩායම ඇවිත් මොන සංගීතේ ගැහුවත් ඒ තාලෙට නම් නෙවෙයි මෙයාගේ නැටුම්. බලන අයට පිස්සෙක් වගේ වුණත් පේන්න පුළුවන්. ඒත් ඒ අයට වඩා නැටීම සම්බන්ධයෙන් ඇති ඝට අගය කරන්න ඕනි. සමහරවිට නටන්න ඇවිත් ඉන්න අය අතුරෙන් වඩාත් කැපී පෙනෙන චරිතය ඔහු වෙන්න පුළුවන්. ඇයි ඉතින් අනික් ඔක්කොම අහසට පිඹිනකොට එයා විතරක් පොළවට පිඹිනවා.



5. කණ්ඩායම් නායක


මනමාල පාර්ශ්වය හෝ මනමාලියගේ පාර්ශ්වය නියෝජනය කරලා එන යහළුවන් කණ්ඩායමක නායකයා මේ නමින් හැඳින්වෙනව. නායකයා කිව්වට වෙන නායකකම් ගැන දන්නේ නෑ. එවෙලේ නායකත්වය අරගෙන වැඩ කරන්නේ මෑන්ස් විතරමයි. කපල් එක ගිහින් උස්සන් ඇවිත් උඩ දාමු, රවුමට නටමු, කෝච්චියක් යමු වගේ හැමදාමත් කරන වැඩවලට පළමු පියවර ඔහුගෙන්.



6. දැවී යන්නා


නටන්න පටන් අරන් මුල් ටිකේ පශ්චාත්භාගය අතේ තියන් නටනවා. අනේ ඉතින් ටිකක් වෙලා යද්දී මෑන්ස්ට ම එපා වෙනවා. ඒ නැත්තම් මහන්සියක් දැනෙනවා. ඉතින් අනෙක් අය ෆ්ලෝ එකට එන්නත් කලින් එතනින් දැවී ගිහින් ඉවරයි. ඒ ගිහින් ටික වෙලාවකින් ආපහු එන්න වුණත් පුළුවන්. දැවී යන්නට හොඳ ම සින්දු ටික මග ඇරෙනවා. ඒ නිසා කවදාවත් එහෙම පුද්ගලයෙක් නම් වෙන්න එපා.



7. තව ටිකාක්


මෙන්න වෙන්න ඕනි මිනිස්සු. නැටිල්ල ඉවර කරන්න ඕනි ම නෑ. මනාල යුවලට නැකැත් වෙලාවට බැරි නම් ඕනි වෙලාවක ඕනි විදියට මකබෑවෙන්න කියලා තමන්ගේ ආතල් එකට අවධානය යොමු කරන සුපිරි ඩයල් එකක්. කොච්චර නැටුවත් මදි තව ඕනි. තව ටිකාක්ලා සංඛ්‍යාත්මකව වැඩි වුණා නම් සම්ම​ත කාලෙට වඩා ෆ්ලෝ එක කාටත් ඇරිලා තියේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *