ඕනෑම රටක ආණ්ඩු පක්ෂ සහ පුවත්පත් කලාවේදීන් අතර තියෙන්නෙ ආත්මගත බැඳීමක්. අද වෙනකොට ඩිජිටල් මාධ්‍යවල වර්ධනයත් එක්ක පුවත්පත්වල බලපෑම පොඩ්ඩක් විතර අඩු වෙලා තියෙනවා. ඒත් මෑතකාලීන ලංකාව වගේම ලෝක ඉතිහාසය සලකා බලද්දි ආණ්ඩු ගොඩනඟන්න වගේම ආණ්ඩු පෙරළන්නත් පුවත්පත්වලට හැකියාව ලැබිලා තියෙනවා. ඉතිං ඒක හින්දා අපි අද හිතුවා ලංකාවේ ආණ්ඩු එක්ක හැප්පුණු පුවත්පත් කලාවේදීන් කීපදෙනෙක් ගැන කතා කරන්න.
1. ඩී.බී ධනපාල
ඩී.බී ධනපාල කියන්නෙ අපේ පුවත්පත් කලාවේදීන් අතර අති දැවැන්ත චරිතයක්. ලංකාදීප පුවත්පත හරහා මෙරට පුවත්පත් කලාව සහ දැන්වීම්කරණය වෙනස් මගකට හරවන්නට ඩී.බී ධනපාල මහත්මයාට හැකියාව ලැබුණා. 1956 දී සිද්ධ වුණු දේශපාලන පෙරලියට සෘජුවම ඩී.බී ධනපාල මහතාගේ ක්‍රියාකාරකමක් හේතු වුණා. අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල මහතා බාබේකියු කරන ලද වසු පැටවකුගේ කොටසක් ආහාරයට ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඔහු ලංකාදීප පුවත්පත “වස්සා පුළුස්සා” යන ශීර්ෂය සහිතව පළ කළා. සම්බුද්ධත්ව ජයන්තිය මහ ඉහළින් පවත්වන්නට සැලසුම් හදනවා යැයි කිවූ ජෝන් කොතලාවල මහතා මේ සිදු කළ දේ පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මෙම පුවත්පත දැකීමෙන් පසුව ජෝන් කොතලාවල මහතා “අයිසේ, ධනපාල තමුසේ මාව කෑවා” යැයි බැණ වැදුණත් එතැනින් එහාට වෙනත් ගැටලුවක් ධනපාල මහතාට ඇති කරලා නෑ.
2. තේජා ගුණවර්ධන
1953 දී සෝල්බරි සාමිවරයාගෙන් පසුව හිස් වන මෙරට අග්‍රාණ්ඩුකාර ධුරයට අගමැති ජෝන් කොතලාවල මහතා විසින් තමන්ගේ සගයෙකු වුණු ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ නම යෝජනා කරනු ලැබුවා. නමුත් මේ යෝජනා කිරීම පිළිබඳව විපක්ෂව ජනමතයක් රට තුළ ගොඩනැගෙමින් පැවතුණා. හේතුව වුණේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ පෞද්ගලික ජීවිතය අර්බූදකාරී වීමත් එම හේතුවෙන් ඔහු අග්‍රාණ්ඩුකාර වැනි ගෞරවනීය තනතුරකට නුසුදුස්සකු බවට මතයක් රට තුළ ඇති වීම. එවකට පැවැති “ට්‍රයින්” නම් පුවත්පත මෙම පත්කිරීමට විරෝධය පළ කරමින් ලිපියක් පළකරනු ලැබුවා. මේ මගින් තමාට අපහාසයක් සිදු වුණු බව පවසමින් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ට්‍රයින් පුවත්පතේ තේජා ගුණවර්ධන මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරනු ලැබුවා. තමාගෙන් සමාව ගතහොත් නඩුව ඉවත් කරගන්නා බවට ඔලිවර් ගුණතිලක මහතා කිහිප වරක් ප්‍රකාශ කළත් තේජා ගුණවර්ධන මහත්මිය එයට එකඟ වුණේ නැහැ. විශාල මුදලක් වැය කරමින් විදේශීය නීති විශාරදයන් පවා ඇය නඩුව වෙනුවෙන් මෙරටට ගෙන්වා ගත්තා. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තේජා ගුණවර්ධන මහත්මිය ව සියලු චෝදනාවලින් නිදහස් කරනු ලැබුවා.
3. බී.ඒ සිරිවර්ධන
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ඇත්ත පුවත්පත සමඟින් වෙන් කරන්න බැරි නමක් තමයි සිරා කියන නම. සිරා කිව්වේ බී.ඒ සිරිවර්ධන මහත්මයාට. එතුමා අපේ රටේ නොමැකෙන නමක් තියලා තියෙන්නේ පුවත්පත් කතුවැකියට නව ජවයක් ගෙනත් දුන්න පුද්ගලයෙක් විදිහට. සමහර අවස්ථාවලදී ආණ්ඩුවත් එක්ක වගේම තමන්ට මූල්‍යාධාර සපයපු කොමියුනිස්ට් පක්ෂයත් එක්කත් හැප්පෙන්න සිරිවර්ධන මහත්මයා දෙපාරක් හිතුවෙ නෑ. ඒ තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන්. වතාවක් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වුණු ආර්.එම්.බී අත්තනායක මහත්මයා කාල් මාක්ස් කියන්නේ හිඟන්නෙක් කියලා ප්‍රකාශ කරා. මේ ගැන කෝපයට පත්වන සිරිවර්ධන මහත්මයා “ගොනෙක් වුණත් උම්බෑ කියන්න එපා” කියලා ලිපියක් පළ කළා. මේ ගැන අත්තනායක මහතා පවරන ලද අපහාස නඩුවෙන් කුඩා දඩයක් ගෙවන්න සිරිවර්ධන මහත්මයාට සිද්ධ වුණා. නමුත් මේ දඩය පත්‍රය පාඨකයෝ එකතු වෙලා ගෙව්වා.
4. සුනිල් මාධව ප්‍රේමතිලක
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ලංකාව ඇතුලේ පුවත්පත් මර්දනයක් වගේම සම්පූර්ණ ජනමාධ්‍ය මර්දනයක් සිද්ධ වුණා කියන එක රහසක් නෙමෙයි. නමුත් ඔහුට එරෙහිව ජනමාධ්‍යවේදීන් අතලොස්සක් යුද්ධ ප්‍රකාශ කළා. ඒ අතරින් ප්‍රමුඛයෙක් වුණේ සුනිල් මාධව ප්‍රේමතිලක.”ප්‍රේමදාස අපි සූදානම්” යන ශීර්ෂය යටතේ ලිපියක් පළ කරමින් ඔහු ප්‍රේමදාස රජයට සෘජුව ම අභියෝග කරනු ලැබුවා. ජනතා විමුක්ති පෙරමුණේ අරගලය අතිශය කුරිරු ලෙස මර්දනය කිරීමට එරෙහිව තමන්ගේ පෑන මෙහෙය වූ එතුමා අතුරුදහන් වූ දරුවන්ගේ සහ ඔවුන්ගේ මවුපියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භයව පෙනී හිටියා.
5. රිචඩ් ද සොයිසා
ලංකාවේ මාධ්‍ය නිදහස ගැන කතා කතාකරද්දී සිහිපත් වෙන නමක් තමයි රිචඩ් ද සොයිසා කියන නම. නිවේදකයෙක්, නළුවෙක්, පුවත්පත් කලාවේදියෙක් විදිහට දක්ෂතා රැසක් සපිරුණු රිචඩ් ද සොයිසා, රණසිංහ ප්‍රේමදාස පාලන සමය තුළ සිද්ධ වුණු මාධ්‍ය මර්දනයේ එක ගොදුරක් බවට පත් වුණා. රිචඩ් ද සොයිසා ඝාතනය කරන්න හේතු වෙච්ච කාරණය අද වෙනකල් අභිරහසක්. ඇතැම් අය කියන විදිහට රිචඩ් ද සොයිසා විදේශීය ප්‍රවෘත්ති ඒජන්සියක රැකියාව බාරගන්න නියමිතව ඉඳලා තියෙනවා.ඒ හරහා ප්‍රේමදාස රජය මගින් සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය වීම් ජාත්‍යන්තරයට වාර්තා වීම වැලැක්වීම ඔහුව නිහඬ කිරීමේ එක අරමුණක් වුණාලු. ඒ වගේම ඇතැම් අය කියන විදිහට රිචර්ඩ් ද සොයිසා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වීම නිසා ඒ මරණය ඔහුට උරුම වෙලා තියෙනවා.
6. වික්ටර් අයිවන්
1994 වර්ෂයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සුවිශේෂී ජයග්‍රහණය පසුපසින් හිටිය පුද්ගලයෙක් වුණේ වික්ටර් අයිවන් මහතා. පසු කාලයක දී ඇතැම් අය නම් කිව්වේ චන්ද්‍රිකා පළවෙනි පාරට දින්නේ අයිවන් නිසා, දෙවෙනි පාර දින්නේ වන් අයි නිසා කියලා. වයඹ පළාත් සභා මැතිවරණයෙන් පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ ඔහුගේ පැවැති සම්බන්ධතාවය බිඳ වැටුණු පසු ඔහු කෙලින්ම ඇයගේ ඇයට සහ ඇයගේ රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. රාවය පුවත්පත ආණ්ඩු විරෝධීන්ගේ ප්‍රියතම පුවත්පතක් බවට පත්වුණා. අවසානයේදී ඇයගේ ක්‍රියාකාරකම් විවේචනය කරමින් චෞර රැජිණ නමින් කෘතියකුත් ඔහු විසින් පළ කළා.
7. ලසන්ත වික්‍රමතුංග
සන්ඩේ ලීඩර් සහ ඉරුදින පුවත්පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට සහ මහින්ද රාජපක්ෂ රජයට හිසරද බවට පත්වුණා. එහි පළ වුණු පුවත්පත් වාර්තා අතිශයින් ආන්දෝලනාත්මක වුණා. ඒ බොහෝ අවස්ථාවල එවකට පැවති රජයන් ඒවා මඩ ප්‍රහාර බවට ප්‍රකාශ කරමින් බැහැර කළා. චන්ද්‍රිකා රජය පවතින කාලයේ දී මංගල සමරවීර මහතා වතාවක් එම පුවත්පත්වලට සීල් තැබීමට පවා ක්‍රියා කළා. ලසන්ත වික්‍රමතුංගම පසුකලකදී කී පරිදි ඒ අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතා ඔහුට තම සහයෝගය පළ කරලා තිබෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ඔහුගේ මිත්‍රයා බවට පත් වෙන්නේ මංගල සමරවීරයි. ඒ ඔවුන් දෙදෙනාම රාජපක්ෂ විරෝධීන් බවට පත්වීම නිසා. කෙසේ වෙතත් ලියූ පුවත්පත් වාර්තා නිසාම අවසානයේ දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙනවා. මේ ඝාතනය අද දක්වාම දේශපාලන ලෝකය තුළ නැවත නැවත කතා බහට ලක් වෙනවා
එහෙම නම් වෙනදා වගේම මේ ආර්ටිකල් එක ගැන ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply