ඌබර් ඊට්ස් (Uber Eats) වලින් කෑම ඕඩර් කරනකොට වැදගත් වෙන ටිප්ස් කීපයක්!

මීට අවුරුදු දහයේ ඒවා කීපෙකට කලින් ඔය පීසා හට් වගේ එව්වා ලංකාවේ තිබුණත්, ඒවලින් කන්න එව්වා තියෙන තැනට යන්න ඕනෙ. ඉන් පස්සේ හෙමිහෙමිහිට පීසා හට්, ඩොමිනෝස් වගේ චේන් රෙස්ටුරන්ට් වලින් කෑම ඩිලිවර් කරන්න පටන් ගත්තා, තමන් අවට සීමිත ප්‍රදේශයකට. ඉන් පස්සේ වෙනත් වෙනත් රෙස්ටුරන්ට් වලිනුත් තමන්ගේම කෑම ඩිලිවරි සේවාවන් පටන් ගත්තා. හැබැයි ගොඩක් වෙලාවට මෙව්වා ක්‍රියාත්මක වුණේ කොළඹ සහ අවට තමයි. පස්සෙන් පහු අර ක්විකී වගේ පොදුවේ කෑම ඩිලිවරි කරන සේවාත් පටන් ගත්තට එව්වා වුනත් එහෙම මාර ලේසියට සහ නීට් එකට ක්‍රියාත්මක වුනේ නෑ. හැබැයි දැන් ඔන්න ඌබර් ඊට්ස් සහ පික්මී ෆුඩ්ස් එක්ක මේ කෑම ඩිලිවරි කරන සංස්කෘතිය වෙනස්ම ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවා. මේ කියන්න හදන්නේ මෙතනින් අපි වැඩියෙන්ම පාවිච්චි කරන ඌබර් ඊට්ස් වලින් කෑම බීම ගෙදරටම හරි ඔෆිස් එකටම හරි ගෙන්න ගන්න කොට වැදගත් වෙන ටිප්ස් කීපයක් ගැන.

 

1. ස්මාට් විදියට!

ඌබර් ඊට්ස් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න එකනේ ප්‍රධානතම කාරණාව. ඉන් පස්සේ ඒකේ ඔය මූලික විස්තර එහෙම දීලා, තමන් ඉන්න ඇඩ්‍රස් එකත් දුන්නට පස්සේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඇත්තටම ඌබර් ඊට්ස් ස්මාට්ෆෝන් ඇප් එකෙන් වැඩේ කරගන්න එක අද කාලේ විදියට අපිට හරි ලේසියි. හැබැයි ස්මාට්ෆෝන් එකම අවශ්‍ය නෑ වැඩේට ඕන නම් ඌබර් ඊට්ස් ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට ගිහිල්ලා වුනත් රෙජිස්ටර් වෙලා තමන්ට වුවමනා කෑම බීම ඕඩර් කරන්න හැකියාව තියෙනවා.

 

2. හරියට ඇඩ්‍රස් එක!

මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්. සාමාන්‍යයෙන් ඌබර් ඊට්ස් ඇප් එක ඕපන් කළහම වැටෙන්නේ අන්තිමට අපි කෑම ගෙන්න ගත්තු ඇඩ්‍රස් එක. හැබැයි ඉතින් අපි හැම වෙලාවෙම ඉන්නේ ඒ ඇඩ්‍රස් එකේ කියලා ෂුවර් කරන්න බැහැනේ. ආන්න ඒ නිසා ඕඩරේ දාන්න කලින් ඩබල් චෙක් කරන්න ඇඩ්‍රස් එක හරිද කියන එක. සමහර වෙලාවට ඔය ජී.පී.එස් එකට හරියටම පෙන්නන්නෙ නැති වෙන්න පුළුවන් ඉන්න තැන. විශේෂයෙන්ම ඔය හවුසින් ස්කීම් එකක වගේ තැනක ඔය වගේ ප්‍රශ්න එනවා. අන්න එහෙම වෙලාවක මැනුවලි ඉන්න තැන දෙන්න වෙනවා. ඒ වගේම ඇඩ්‍රස් එකත් එක්ක විශේෂ සටහන් ලබාදෙන්න තියෙන ඉඩේ, තමන් ඉන්න තැන ලේසියෙන් හොයාගන්න පුළුවන් ලෑන්ඩ්මාර්ක් එකක්, තමන් ඉන්නේ ෆ්ලැට් එකක වගේ නම් එපාට්මන්ට් නම්බර් එක, ෆ්ලෝ නම්බර් එක වගේ දීලා තියන එක කාටත් පහසුයි.

මතක තියාගන්න, අපි වැරදි ඇඩ්‍රස් එක දීලා රයිඩර්ව වැරදි තැනකට යැව්වොත් අපිට ඕඩරෙත් නෑ, සල්ලිත් නෑ වෙන්න පුළුවන්.

 

3. ඇඩ්‍රස් එකේ කොයි තරම් වෙලා ඉන්නවද?

මෙන්න මේ කාරණාවත් වැදගත්. සාමාන්‍යයෙන් අපි ඕඩර් එකක් දාන්න කලින් පෙන්නනවා ඒ ඒ රෙස්ටුරන්ට් එකෙන් කෑම ඕඩර් එකක් අපි ඉන්න තැනට ගෙන්න ගන්න යන උපරිම වෙලාව. ඉන් පස්සේ ඕඩර් එක දාපුවහමත් පෙන්නනවා කෑම එක අපි ඉන්න තැනට එන්න යන උපරිම වෙලාව. අන්න ඒ නිසා අපි ඉන්න ඇඩ්‍රස් එකේ ඒ උපරිම වෙලාව වෙනකන් වත් ඉන්න පුළුවන් කියන එක ෂුවර් කරගන්න ඕන. හැබැයි ගොඩක් වෙලාවට අපිට කෑම එක ලැබෙන උපරිම වෙලාව විනාඩි හතළිහ කියලා වැටිලා තිබුණත්, රෙස්ටුරන්ට් එකෙන් පට් පට් ගාලා අපේ ඕඩරේ දාලා දීලා, රයිඩර් ටස් ටස් ගාලා ඒක ගෙනැල්ලා දෙන්න පුළුවන් පැය කාලක්, විනාඩි විස්සක් යනකොට!

 

4. ටිප් එකක් දෙන්න ඕනැද?

රයිඩර්ට ටිප් එකක් දෙන එක ඉතින් තමන්ගේ දෙයක්. ඇත්තටම රයිඩර්ට ලැබෙන ගාණ කවර් වෙනවා ඌබර් ඊට්ස් එකේ ඕඩර් එකක් දැම්මහම අපෙන් අය කරන ඩිලිවරි ගාස්තුවෙන්. ඔය ඩිලිවරි ගාස්තුව ඇත්තටම ලොකු ගාණක් නෙවෙයි. සූටි රුපියල් තිහක් ඕන නං වැටෙයි. ඇත්තටම අපි රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑම එක අරගෙන එන්න අපිට ඊට වඩා ගාණක් වැය වෙනවා. ඉතින් අපේ ඕඩර් එක අරගෙන එන රයිඩර් රෙස්ටුරන්ට් එකෙන් කෑම එක ලබාදුන්නු පරක්කුවෙන් අරගෙන ආවොත්, අපිට හිත සන්තෝසෙන් ඕන නම් ටිප් එකක් දෙන්න පුළුවන් තව වැඩිපුර ගාණක. ඕන නම් රුපියල් දහයක විස්සක ඉතුරු ගන්න තියෙනවා නම් ඒක තියාගන්න කියන්නත් පුළුවන්. හැබැයි ඒක තනිකරම තමන්ගේ කැමැත්ත. කිසිසේත්ම අනිවාර්‍ය දෙයක් නෙවෙයි.

 

5. ප්‍රොමෝෂන්!

ඌබර් ඊට්ස් කියන්නෙත් බිස්නස් එකක්නෙ. ඉතින් ඒකට පාරිභෝගිකයෝ අද්ද ගන්න ඒ අයත් ඔය සූටි සූටි වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. ඒ කියන්නේ ඔය ඩිස්කවුන්ට් දෙනවා වගේ සීන්. සමහර වෙලාවට සමහර රෙස්ටුරන්ට් වලින් ගන්න සමහර ආහාර වලට ඩිස්කවුන්ට් එකක් වැටෙනවා. එහෙම නැතිනම් මොකක් හරි රෙස්ටුරන්ට් එකක සෙට් මෙනු එකකින් හවස 3 ත් රෑ  10 ත් අතර ගන්න කෑම වලට රුපියල් 50 ක් අඩුවෙන් අය කරන්නේ කියලා ප්‍රොමෝෂන් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ රෙකමන්ඩේෂන් එකෙන් තව යාලුවෙක් ඌබර් ඊට්ස් සෙට් වුනොත් අපිට ඊලඟ ඕඩර් එකෙන් රුපියල් සීයක් අඩු වෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රොමෝෂන් තියෙන ඒවා ඇප් එකේ උඩම බැනර් වල පෙන්නනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න එක වාසියක් වෙයි. 

 

6. සැඟවුණු ගාස්තු!

සැඟවුණු ගාස්තු නම් ඔය සමහර රෙස්ටුරන්ට් වලිනුත් කරනවා පුතෝ. උදාහරණයක් විදියට ගත්තොත් “චිකන් චීස් සබ්මෙරීන්” කියලා ගහලා තියෙන එක පෙන්නන්නේ රුපියල් දෙසීයයි කියලා. අපිත් ඔන්න ෂහ් ලාබයිනේ කියලා ඕක ඕඩර් කරන්න යනවා. අන්න පිංවතුනි එතකොට පෙන්නනවා සබ්මැරීන් එකට ඇතුළත් වෙන්න ඕන ජාති ලිස්ට් එකක් ටික් කරන්න. ඒකේ චිකන් ටික් කළොත් සීයක් ඇඩ් වෙනවා, චීස් ඇඩ් කළොත් තව පණහක් ඇඩ් වෙනවා. අන්තිමට අපිට ඕන විදියට සබ්මැරීන් එක හදාගන්නකොට රුපියල් පන්සීයක් විතර වෙලා!

ඊලඟට සමහර රෙස්ටුරන්ට් වල පෙන්නන ගාණට අමතරව තව ටැක්ස් එකකුත් එකතු කරනවා චෙකවුට් එකේදී!

 

7. කොහොමද ගෙවන්නේ?

ඌබර් ඊට්ස් වල ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. ඩෙබිට් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. කෑෂ් ගෙවන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අන්තිමට ගෙවපු විදිය තමයි ඊලඟ වතාවෙත් පෙන්නන්නේ. හැබැයි චෙක් අවුට් එකේදී අපිට ඔන නම් ගෙවන විදිය වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඌබර් ඊට්ස් එකට ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කරලා තියෙන එක මාරම ලේසියි.

 

8. ෆේවරිට් කෑම ආයෙමත් ඕඩර් කරන්න නම්!

අපිට ඌබර් ඊට්ස් එකෙන් රස නහර පිනා යන කෑම වේලක් ලබාගන්න ඉඩ ලැබුණට පස්සේ තවත් දවසක ඒකම ඕඩර් කරන්න ඕන වුනා කියලා හිතමු. එතකොට අර රෙස්ටුරන්ට් ලිස්ට් එක අස්සේ, කෑම කැටගරි අස්සේ පිණුම් ගහ ගහා ඒක හොයන්න ඕන නෑ. යන්න ඇප් එකේ අපේ පරණ ඕඩර්ස් සහ දැන් සිදුවෙමින් තියෙන ඕඩර්ස් පෙන්නන තුන් වෙනි ටැබ් එකට. ඒකේ තියෙන අපේ පරණ ඕඩර්ස් වලින් අපිට ඕන ඕඩර් එක හොයාගන්න. දැන් ඒක ක්ලික් කරලා ඒකම ආයෙමත් ගෙන්න ගන්න.

 

9. රයිඩර්ව ෂුවර්ද?

An Uber Eats driver in Lisbon, Portugal. (Horacio Villalobos via Getty Images)

දැන් අපි සමහර වෙලාවට රෑ දොළහටත් ඌබර් ඊට්ස් වලින් කෑම ගෙන්න ගන්නවා. එතකොට අපි ෆ්ලැට් එකක එහෙම ඉන්නවා නම් අපි රයිඩර්ව කෙලින්ම අපේ කාමරේ දොර ගාවටම ගෙන්න ගන්නවා. එතකොට මතුවෙනවා ප්‍රශ්නයක්. ඔය රයිඩර්ස්ලාව ෂුවර්ද? උන්ගෙන් වෙන වෙන ප්‍රශ්න එන එකක් නැද්ද? ඒකට අපිට දෙන්න තියෙන්නේ බොහොම සරල උත්තරයක්. උනුත් අපි වගේම මිනිස්සු. ගොඩක් වෙලාවට සාධාරණ විදියට ගාණක් හම්බුකරලා තමන්ගේ හීන හැබෑ කරගන්න කට්ට කන හොඳ කොල්ලෝ. ඉතින් මෙච්චර තාක් කාලෙකට නම් ඌබර් ඊට්ස් වල ඩිලිවරි යන රයිඩර් ඩයල් එකකින් කරදරයක් වුනා කියලා කොහේවත් සඳහන් වෙලා නෑ. ඒ වගේම උන් අපිව වාත කරන්නෙත් නැති තරම්.

අන්න ඒ නිසා ඕඩර් එක ආවට පස්සේ රයිඩර්ව අල්ලලා ගියා නම් පොරට ප්ලස් මාක් එකක් දීලා රේට් කරන එක පාරිභෝගිකයෝ විදියට අපේ යුතුකමක්! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *