තේ වෙලාවට, පුංචි සාදයකට ගැලපෙන වෙනස්ම සැන්ඩ්විච් රෙසිපි 8ක්

සැන්ඩ්විච් කිව්වම හුඟක් වෙලාවට මතක් වෙන්නෙ ටින්මාළු මිශ්‍රණය නැත්නම් බිත්තර පොඩි කරල හදාගන්න සැන්ඩ්විච් එකක්. හැබැයි සැන්ඩ්විච් කියන්නෙ සැරට වගේම පැණි රසටත් හදාගන්න පුළුවන් අපූරු කෙටි කෑමක්. තේ වෙලාවකට අමුත්තන්ට දෙන්න විතරක් නෙවෙයි, පුංචි පැංචන්ගෙ උපන්දින සාද වලටත් පහසුවෙන් හදාගන්න පුළුවන් සැන්ඩ්විච් රෙසිපි ටිකක් තමයි අපි අද අරන් ආවෙ.

 

1. කියුකම්බර් විත් චීස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සිහින් පෙති කපාගත් සැලඩ් කියුකම්බර් (කොළපාට පිපිඤ්ඤා)
  2. චීස් වෙජස් 4
  3. බටර් පුරවාගත් මේස හැඳි 1
  4. ගම්මිරිස් කුඩු රස අනුව
  5. අවශ්‍ය නම් ලුණු
  6. පෙති පාන්

 

  • චීස් වලට බටර් ටිකක් සහ ගම්මිරිස් කුඩු එක් කර ක්‍රීම් ගතියට එන තුරු හොඳින් මිශ්‍ර කරගන්න. එය පාන් පෙති වල තවරාගන්න.
  • චීස් තවරාගත් පාන් පෙත්තක් මත පිපිඤ්ඤා පෙති අතුරා ඒ මත තවත් චීස් තවරාගත් පාන් පෙත්තක් තබා සැන්ඩ්විච් කර වාටි කපා ඉවත් කර පාන් පෙති දෙක කැමති ආකාරයට හතරට කපාගන්න.

 

2. හනී ඇන්ඩ් බනානා සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මී පැණි හෝ ගෝල්ඩන් සිරප්
  2. පෙති කපාගත් ඉදුණු කෙසෙල්
  3. බටර්
  4. පෙති පාන්
  • පාන් පෙති වල බටර් තවරාගෙන එක් පෙත්තක් මත කෙසෙල් පෙති අතුරාගන්න. ඒ මත මීපැණි වත්කර බටර් තවරාගත් තවත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්විච් කරගන්න.
  • කැමති නම් ටෝස්ටරයක ටෝස්ට් කරගන්න. නැත්නම් පාන් වලට වාටි කපා ඉවත් කර කැමති ආකාරයට දෙකට හෝ හතරට කපාගන්න.

 

3. ස්ට්‍රෝබෙරි ඇන්ඩ් ක්‍රීම් චීස්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පෙති කපාගත් ස්ට්‍රෝබෙරි
  2. ක්‍රීම් චීස්
  3. බටර්
  4. පෙති පාන්
  • පාන් පෙති වල බටර් තවරාගෙන ඒ මත ක්‍රීම් චීස් තවරාගන්න. එයට උඩින් පෙති කපාගත් ස්ට්‍රෝබෙරි තබා බටර් තවරා ගත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කර වාටි කපා ඉවත් කරගන්න. පාන් පෙත්ත හතරට කපා පිළිගන්වන්න.

 

4. හවායන් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හැම් පෙති ටිකක්
  2. සිහින්ව කපාගත් අන්නාසි පෙති ටිකක්
  3. බටර්
  4. ලුණු
  5. ගම්මිරිස්
  6. පෙති පාන්
  • පාන් මත බටර් ත​වරාගන්න. අන්නසි පෙති වලට ලුණු ගම්මිරිස් ඉසගන්න. හැම් පෙති ටික පාන් පෙතිමත තබා ඒ මත අන්නසි පෙති අතුරා බටර් තවරාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්ව්ච් කරගන්න.
  • වාටි කපා ඉවත් කරගෙන ත්‍රිකෝණාකාර කොටස් හතරකට සැන්ඩ්විච් එක කපාගන්න.

 

5. චීස් විත් පොල් සම්බල්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තෙම්පරාදු කර සකසාගත් පොල් සම්බෝල
  2. චීස් ස්ලයිසස්
  3. බටර්
  4. පෙති පාන්
  • පාන් පෙති වල බටර් තවරාගෙන ඒ මත පොල්සම්බෝල අතුරාගන්න. එයට උඩින් චීස් පෙත්ත තබා බටර් තවරාගත් පාන් පෙත්තකින් වසා සැන්ඩ්විච් කරගන්න.
  • මේක ටෝස්ට් කරගන්නවා නම් වඩාත් රසවත්. එහෙම නැත්නම් වාටි කපා ඉවත් කර නන්ස්ටික් පෑන් එකක සැන්ඩ්විච් එක ග්‍රිල් කරගන්න.

 

6. කැරමලයිස්ඩ් ඇපල් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පෙති කපාගත් රතු ඇපල්
  2. දුඹුරු සීනි
  3. දෙහි යු​ෂ ටිකක්
  4. බටර්
  5. ලුණු
  6. පෙති පාන්
  • සීනි ටික භාජනයකට දමා එයට වතුර ස්වල්පයක්, ලුණු සහ දෙහි යු​ෂ එක් කර කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වේගෙන එන කොටම ඇපල් පෙති ටික එක් කර විනාඩි දෙකක් පමණ පිසගෙන ලිපෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.
  • පාන් පෙති වල බටර් තවරාගෙන නිවාගත් ඇපල් පෙති ඒ මත තබා බටර් තවරාගත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කර වාටි කපාගන්න. කැමති ආකාරයට කපා පිළිගන්වන්න.

 

7. ජගරි ඇන්ඩ් පයිනැපල්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ගාගත් කිතුල් හකුරු
  2. සිහින් පෙති කපාගත් අන්නාසි
  3. බටර්
  4. පෙති පාන්
  • අන්නාසි පෙති ටික තැටියක දමා දෙපැත්ත රන්වන් පැහැ වනතුරු පුළුස්සාගන්න.
  • පාන් පෙති වල බටර් තවරා ඒ මත අන්නසි පෙති තබා එයට උඩින් ගාගත් හකුරු දමාගන්න.
  • බටර් තවරා ගත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කර නන්ටික් පෑන් එකක ග්‍රිල් කරගන්න. කැමති නම් ටෝස්ට් කරන්නත් පුළුවන්.

 

8. චික්පී ඇන්ඩ් ඇවකාඩො සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය

  1. තම්බාගත් කඩල
  2. ඉදුණු අලිගැටපේර
  3. ලුණු සහ ගම්මිරිස් රස අනුව
  4. බටර්
  5. චොප් කරගත් ළූණු
  6. පෙති පාන්
  • කඩල සහ අලිගැටපේර වෙන වෙනම පොඩි කරගන්න. ඒ දෙකම එක බෝල් එකකට දමා එයට ලුණු සහ ගම්මිරිස් සමඟ චොප් කරගත් ළූණු සහ බටර් එක් කර හොඳින් කලවම් කරගන්න.
  • සාදාගත් මිශ්‍රණය පාන් පෙත්තක ත​වරා ත​වත් පාන් පෙත්තකින් සැන්ඩ්විච් කරගෙන වාටි කපා ඉවත් කර කැමති ආකාරයකට කපා පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *