ක්‍රිකට් ලෝකය ඇතුළේ පැවැත්වෙන බොහොම ගරු ගාම්භීර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් තමයි එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන තරඟාවලිය. සමහර විට එක්දින ලෝක කුසලානයට පස්සේ ක්‍රිකට් ලෝකයේ දෙවැනි තැන තියන්න පුළුවන් තරඟාවලිය වෙන්න පුළුවන් මේක. මේ පාර අළුබඳුන තරඟාවලිය අගෝස්තු මුල් සතියේ ඇරඹෙන්න නියමිතයි. ඒ නිසා මේ කියන්න හදන්නේ අළුබඳුනේ ඉතිහාසය එක්ක බැඳිච්ච රසවත් තොරතුරු කීපයකුයි.
1. අළු බඳුන පටන් ගත්ත හැටි
ක්‍රිකට් හොයාගත්ත අප්පුච්චා වෙච්ච එංගලන්තෙ සහ එයාලව අනුගමනය කරලා දෙවැනි තැන හිටපු ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් මැච් එක පවත්වන්නෙ 1870 ගණන් වලදි. නමුත් ඕස්ට්‍රේලියාවට පළවෙනි පාරට එංගලන්තෙදි ටෙස්ට් එකක් දිනන්න හම්බවෙන්නෙ 1882දි. මේ තරඟයෙන් එංගලන්තය ලද පරාජය නිසා එංගලන්ත ප්රේක්ෂකයො කුපිත වෙනවා. විශේෂයෙන් එංගලන්ත මාධ්‍යය උපහාසාත්මක පුවත්පත් දැන්වීමකුත් පළ කරනවා එංගන්ත ක්‍රිකට් මිය ගියාය, මළ සිරුර පුළුස්සලා අලු ටික ඕස්ට්‍රේලියාවට ගෙනියන්න නියමිතය’ කියලා.
මේ කියමන සංකේතවත් වෙන්න පැරදිච්ච ටෙස්ට් මැච් එකේ බේල්ස් පුච්චලා ඒ අලු දාපු කුඩා බඳුනක් එංගලන්ත ක්‍රිකට් නායකයට තෑගි කළාය කියලා කතාවකුත් තියනවා.
බේල්ස් අලු කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඒ තෑගි කරපු කුඩා කුසලානය හින්දා තමයි අලු බඳුන තරඟාවලිය බිහිවෙන්නෙ. ඊළඟ අවුරුද්දේදි එංගලන්ත නායකයා මේ අලු නැවත රැගෙන එනවාය කියලා පොරොන්දු වෙලා ඕස්ට්‍රේලියාවට ගිහින් ඒ අයව ටෙස්ට් තරඟාවලියකින් පරද්දලා එන්න සමත් වෙනවා. ඒ ගමනෙන් ඇරඹුණු අළු බඳුන තරඟාවලිය තමයි සිය වසකටත් අධික කාලයක් තිස්සේ තවමත් පැවැත්වෙමින් යන්නේ.
2. ලොකුම ටෙස්ට් ජයග්‍රහණ වාර්තාව
ලෝක ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් තරඟයකදී කණ්ඩායමක් ලබපු ලොකුම ජයග්‍රහණයත් වාර්තා වෙලා තියෙන්නේ අළුබඳුන තරඟාවලියකදී. ඒ තමයි ඉනිමකින් සහ ලකුණු 579කින් ඕස්ට්‍රේලියාව පරද්දලා එංගලන්තය ලබපු ජය. 1938 වර්ෂයෙදි පවත්වපු මේ තරඟෙදි මුලින්ම පන්දුවට පහරදෙන එංගන්තය කඩුලු 7කට ලකුණු 903ක් රැස් කරනවා. මේ ඉනිමෙදි ලෙන් හට්න් ලකුණු 364ක් ලබා ගන්නවා. ඕස්ට්‍රේලියාවට ඉනිම දෙකේදීම රැස් කරන්නට ලැබෙන්නේ ලකුණු තුන්සිය ගණනක් විතරයි. මේ තරඟෙට ක්‍රීඩා කරපු ඩොන් බ්‍රැඩ්මන්ට ආබාධයක් නිසා ඉනිම දෙකම පිතිකරණයේ යෙදෙන්න නොහැකි වූ බවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ කාරණයක්.
3. නැවත හඹා ගිහින් (ෆොලෝ ඔන් කරල) දිනපු ටෙස්ට් තරඟම දෙකක්
පළමු ඉනිමේ එක් කණ්ඩායමක් රැස් කරපු ලකුණු ගණනට වඩා විශාල පරතරයක් සහිත අඩු ලකුණු ප්‍රමාණයක් ප්‍රතිවාදීන් රැස් කරපු අවස්ථාවක ඒ අයට ආයෙමත් ‘ෆොලෝ ඔන්’ කරලා බැට් කරන්න අවස්ථාව ලබා දෙන අවස්ථා ඔයාල දැකල ඇති. එහෙම පිට පිට දෙපාරක් බැට් කරන කණ්ඩායම ඉන්නේ බොහොම අසීරු තැනකයි. ගොඩක් වෙලාවට ඒ අයට සිදු වෙනවා ඉනිමකින් හරි වැඩි කඩුලු ගණනකින් හරි පරාජය ලබන්න. ලෝක ටෙස්ට් ඉතිහාසයෙත් ෆොලෝ ඕන් කරපු කණ්ඩායමක් තරඟයක් දිනලා තියෙන්නෙ අවස්ථා තුනකදී විතරයි. ඒ අවස්ථා තුනෙනුත් දෙකක්ම අළු බඳුන තරඟාවලි වලදී සිද්ධ වීම විශේෂයි. ඒ ජයග්‍රහණ දෙකම වාර්තා කර තියෙන්නේත් එංගලන්තයයි. මේ තරඟ දෙකට අමතරව මෙවැනි ජයග්‍රහණයක් වාර්තා කරන්න සමත්ව තිබෙන්නේ ඉන්දියාව විතරයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව.
4. කුප්‍රකට බොඩිලයින් සීරීස් එක
අළු බඳුන ඉතිහාසයේ ආන්දෝලනාත්මකම තරඟාවලිය හැටියට අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන් 1932-33 පැවැත්වුණු බොඩි ලයින් සීරීස් එක. මේ තරඟාවලියෙදි ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණියේ ශක්තිය බිඳින්න එංගලන්න නායක ඩග්ලස් ජාඩින් යොදන එක භයානක උපක්‍රමයක් තමයි පිතිකරුවාගේ ශරීරය ඉලක්ක කරමින් පන්දු යැවීමේ බොඩිලයින් ක්‍රමවේදය. මේ උපක්‍රමය අති සාර්ථක වුණත් ඒ මගින් එංගලන්ත කණ්ඩායම ලබපු ජයග්‍රහණවල වටිනාකම හෑල්ලුවට ලක්වුණේ මෙම බොඩිලයින් පන්දු යැවීමේ අමානුෂික ස්වභාවය හේතුවෙනුයි. මෙම සිදුවීම දෙරටේ ක්‍රිකට් ආයතන අතර දැඩි ගැටුම් ඇති කරවන්නත්, ඕස්ට්‍රේලියා එංගලන්ත ඉදිරි සටන් උණුසුම් කරන්නත් සමත් වුණා.
5. අළුබඳුනේ වැඩකාරයෝ
අලුබඳුන තරඟාවලි වල වැඩිම ලකුණු ලාභියා වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨ ඩොන් බ්රැඩ්මනුයි. ඔහු ඉනිමක සාමාන්‍ය ලකුණු ප්‍රමාණය ලකුණු 89.78ක් සහිතව මුලු ලකුණු 5028ක් රැස් කරලා තියනවා. මෙයට ත්‍රිත්ව ශතක 4කුත් ඇතුළත්. වැඩිම කඩුලු ලාභියා වෙන්නේ කඩුලු 172ක් දවාගත්ත ෂේන් වෝන්. ඉනිමකදී පිතිකරුවෙක් රැස් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව අපි කලින් සඳහන් කරපු ලෙන් හට්න් ඕස්ට්‍රේලියාවට එරෙහිව රැස් කරපු ලකුණු 364යි. එංගලන්තයේ ජිම් ලේකර් ලකුණු 90ට ලබාගත්ත කඩුලු 19 තරඟයකදී සිදුකරන ලද හොඳම පන්දු යැවීම හැටියට වාර්තා පොත් අතරට එක්වෙලා තියෙනවා (මෙය අදටත් ඉනිමක සහ ටෙස්ට් තරඟයක සිදු කරන ලද ලෝකයේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා පොත් වල වැජඹෙනවා).
6. ජය පරාජය විසඳුණු හැටි
අළුබඳුන තරඟාවලි කොයි තරම් උණුසුම්ව පැවැත්වෙනවද කියල ඔබට අදහසක් ගන්න පුළුවන් එතෙක් මෙතෙක් අලුබඳුන තරඟාවලිවල තීරණය විසඳිලා තියන හැටි ගැන දැනගත්තම. ගණන් හිලවු වශයෙන් කියනවනම් මෙතෙක් පැවති අලුබඳුන තරඟාවලි 70න් 33ක් ඕස්ට්‍රේලියාවත්, 32ක් එංගලන්තයත් ජය ලබල තියනව. තරඟාවලි 5ක් ජය පරාජයෙන් තොරව නිමා වෙලා තියනවා. සාමාන්‍යයෙන් එහෙම ජය පරාජයෙන් තොරව නිමාවුණු තරඟාවලියකදී අලු බඳුනේ හිමිකාරයා වෙන්නේ කලින් තරඟාවලිය ජය ගත්ත රටමයි. අලු බඳුන තරඟාවලි වල විසඳුම් ඉතාම ආසන්නයෙන් ගියාට අලු බඳුන වෙන වෙනම ටෙස්ට් තරඟ හැටියට ගත්තහම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණ අතින් කැපී පෙනෙන ඉදිරියකින් ඉන්නවා. ඒ තරඟ 134ක් ජය ගනිමින්. එංගලන්තයට ජයගන්න වරම් ලැබී තිබෙන්නේ තරඟ 106ක් පමණයි.
7. කවුරු දින්නත් කප් එක එංගලන්තේ
අලු බඳුන තරඟාවලියේ ජයග්‍රහණයේදි පිරිනැමුවට සැබෑ අලු බඳුන කුසලානය දිනලා තමන්ගේ රටට අරන් යන්න ඕස්ට්‍රේලියාවට හැකිවෙන්නේ නැහැ. ඒක සදහටම ක්‍රිකට් මහගෙදර වන ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ තමයි තැන්පත් කරල තියෙන්නෙ. සැබෑ කුසලානය වෙනුවට ජයග්‍රාහී කණ්ඩායමට පිරිනමන්නේ එම කුසලානයේ ආකාරයටම හැදූ අනුරූ කුසලානයක් පමණයි.
Leave a Reply