ඉන්න හිතෙන ටවුන් එකක් හැමදාමත් ඉන්න තෝරාගන්නේ මෙහෙමයි!

අපි ගොඩක් දෙනෙක්​ට දවසක ගෙයක් හදන්න වුවමනාවක් ඇති වෙනවනේ. අම්මලා තාත්තලාගෙන් ගෙවල් දොරවල් උරුම වුණු අයට මෙහෙම වුවමනාවක් නැහැයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි එහෙම අම්මලා තාත්තලා හදපු ගෙවල් දොරවල් උරුම කරගත්තු අය වුනත් එක දවසකවත් හිතලා නැද්ද තමන්ගේම තැනක, තමන්ට ආස විදියට හදපු ගෙදරක ඉන්න එක කොයි තරම් ආකර්ෂණීය අදහසක්ද කියන එක ගැන? හරි, දැන් අපි ගමුකෝ තමන්ට කියලා ගෙයක් දොරක් හදාගන්න හරි, මිලදී ගන්න හරි, කුලියට ගන්න හරි වුවමනා අයව. එහෙම හිතන කෙනෙක්ට මූලිකවම එන ප්‍රශ්නය තමයි, කොයි ඉසව්වෙන්ද, කොයි ප්‍රදේශයෙන්ද කියන එක. හැබැයි ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි ගේ හදාගන්න ඉසව්ව අපිට ගැලපෙන්නේ නැතිනම් හරි ගේ හදාගන්න ඉසව්ව නිසා අපිට දුෂ්කරතා ඇතිවෙනවා නම්, අපි කොයි තරම් ලස්සනට ගෙයක් හදාගත්තත් වැඩක් නෑ!

 

1. ඔෆිස් එකට ලඟද?

මෙන්න මේ කාරණය ගොඩක් දෙනෙක් සැලකිල්ලට ගන්න, ඒත් ගොඩක් දුර දිග නොබලන කාරණයක්. හරි, දැන් රස්සාව කරන තැනට ලඟ ටවුමකින් තැනක් ගෙවල් හදලා එකලස් වෙන්න තෝරගන්න එක තාර්කිකයි තමයි. හැබැයි ඔය ගුරු වෘත්තිය, පොලිස් වෘත්තිය වගේ රජයේ රැකියාවල ඉන්න උදවිය කල්පනා කරන්න ඕන තමන්ට කොහේ කොතැනකට මාරු වෙන්න ලැබෙයිද කියන කාරණාවත්. එතකොට අපිට පුළුවන් තව අවුරුදු පහක් දහයක් යනකොට තමන්ට ඉන්න ඕන තැන ගැන හිතලම ටවුමක් තෝරගන්න. එතනදී පහළ කියවෙන කරුණු වලට වඩාත් ප්‍රමුඛස්ථානයක් දෙන්න පුළුවන්.

අනික තමයි ඔෆිස් එකට ලඟ ගැන හිතනකොට ප්‍රවාහන පහසුකම් ගැනත් හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, කඩවත කිරිල්ලවල වගේ පැත්තක ඉඳලා උදේට කොළඹ ඔෆිස් එනවාට වඩා වෙලාවක් යනවා කොට්ටාව, මහරගම වගේ පැත්තක ඉඳලා බස් එකේ කොළඹ ඔෆිස් එන්න!

 

2. ඉස්කෝලෙට ලඟද?

ඔව්, මේ කියන්නේ දරුමල්ලන්ගේ ඉස්කෝලෙ ගැන තමයි. දරුමල්ලෝ නැද්ද? ඒත් කවදාහරි හදන්න බලාපොරොත්තු වෙනවා නම්, තමන්ටම කියලා තැනක් ගන්න යනකොට ඉස්කෝල ගැන හිතන්න ඕන. මේ කියන්නේ ජනප්‍රිය පාසැල් ගැනම නෙවෙයි. ඒත් ගමේ ඉස්කෝලෙට හරි දරුවව එක වසරේ ඉඳලා යවන්න ඕනැනේ. අන්න ඒ නිසා ගමේ ඉස්කෝලයක් හරි ලඟ පාත තියෙනවා කියලා දන්න තැනකින් තමයි ඉඩම් කෑල්ලක් හරි, ගෙයක් හරි ගන්න ඕන. ඉස්කෝලේ හොඳ ඉස්කෝලයක් වෙන්නත් ඕන ඉතිං!

 

3. අවශ්‍ය අනික් තැන්වලට ලඟද?

මේ කියන්නේ මොනවද? සුපර් මාර්කට්, පෙට්‍රල් ෂෙඩ්, රීලෝඩ් දාන තැන්, බාර් එකක්, ග්‍රොසරි එකක් වගේ අපේ නානාප්‍රකාර අවශ්‍යතාවයන්ට සෙට් වෙන හැම දෙයක්ම තියෙන කඩමණ්ඩියට හූවයි බල්ටියයි දුරකින් තමයි ඉඩං කෑල්ලක් හෝ ගෙයක් ගන්ඩ ඕන. ඒ විතරක් මදි. ඉස්පිරිතාලයක් වගේ දේවල් වුනත් කරදරයක් නැතුව යන්න එන්න පුළුවන් දුරකින් තියෙන්න ඕන. ඒ කියන්නේ ගෙදරට අනික් පැත්තේ නෙවෙයි. හැබැයි අඩු තරමින් කිලෝමීටර් කීපයක දුරකින්වත්.

සමහරු නං දැන් ඉඩම් හොයනකොට කේ.එෆ්.සී එකක් ලඟද, පීසා හට් එකෙන් ගෙදරටම ඩිලිවරි තියෙනවද වගේ ඒවත් බලනවා. එව්වානං නැතත් කමක් නෑ උඩින් කියපු දේවල් ලඟ පාත තිබිලා.

 

4. ජනාකීර්ණ නගරය මැදද?

දැන් අපි උඩින් කියපු දේ අකුරටම පිළිපැදලා සමහරු නගරේ මැද්දෑවෙම තියෙන ගෙයක්, ඉඩම් කෑල්ලක් එහෙම ගන්න හිතන්නත් පුළුවන්. ආන්න ඒක තමයි කරන්න පුළුවන් මොට්ටම වැඩේ. ඔය ව්‍යාපාරෙකට වගේ නං නගරෙ මැද්දෑවේ තැනක් කමක් නෑ. හැබැයි ඉතින් හිතලා බලන්න ඕන තමන්ට ජනාකීර්ණ නගරයක් මැද්දේ නිස්කාංසුවේ, නිස්කලංකේ ඉන්න ලැබෙයිද කියලා. අන්න ඒ නිසා නගරෙන් පොඩ්ඩක් ඈත් වුනත් රෙසිඩෙන්ෂල් ඒරියා එකක -ඒ කිව්වේ මිනිස්සුන්ට පදිංචියට යෝග්‍ය හරියක තමයි තැනක් හොයන්න ඕන. ගොඩක් වෙලාවට නගරෙන් ඈත් වෙන්න ඈත් වෙන්න ඉඩම් ගණන් අඩු වෙන්නත් පුළුවන්, ප්‍රදේශයේ හැටියට.

 

5. ප්‍රධාන නගරයක්ද?

මෙන්න මේක ගොඩක් දෙනෙක් හිතලා බලන කාරණයක්. ඒ තමයි තමන් පදිංචි වෙන්න සූදානම් වෙන්නේ ප්‍රධාන නගරයක් ආසන්නයෙන්ද කියන එක. ඔය ප්‍රධාන නගර කියන්නේ කොළඹට කිට්ටු නුගේගොඩ, මහරගම, කොට්ටාව, බත්තරමුල්ල වගේ නගර, ගම්පහ, කිරිබත්ගොඩ වගේ නගර තමයි. හැබැයි ඉතින් ප්‍රධාන නගරයක් ආසන්නයෙන් ඉඩම් හරි ගෙවල් හරි ගන්න එක හඳේ ඉඩම් ගන්නවා වගේ තමයි, පට්ට ගණන්. ඒත් පුළුවන් නම් කමක් නෑ. හැබැයි එතනදීත් අර උඩින් කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න ඕන. ප්‍රධාන නගරයක් මැද්දේ ජීවත් වෙන එක පිස්සු හැදෙන තරම් අමාරු වැඩක්.

හැබැයි ප්‍රධාන නගරයක් නොවුණත් කමක් නෑ උඩින් කියපු කාරණා ඉෂ්ට සිද්ධ වෙනවා නම්. අප්‍රධාන නගරයක් අවට ඉඩම් ගණන් අඩුයි වගේම, නිස්කලංකව ජීවත් වෙන්න හොඳ පරිසරයක් ලැබෙන්නත් හැකියාව වැඩියි.

 

6. පාරවල් තියෙනවද?

මෙන්න ප්‍රධාන ප්‍රශ්නය. පාරවල් තියෙනවද? ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක් ආස වෙන්න පුළුවන් කුඹුරේ නියර මැදින් ගිහින් වැටෙන පොඩි තුරුගොමුවක පිහිටලා තියෙන පුංචි නිවාසෙකට. හැබැයි ඉතින් හැමදාටම ජීවත් වෙනවා නම් ගෙදරට එන මිනිස්සුන්ටත් හැමදාම නියර මැදින් ගෙදර වරෙන් කියන එක කරදරකාරීයි. අන්න ඒ නිසා ගෙදරට යන්න එන්න හොඳ මට්ටමේ පාරවල් තියෙන, අඩු තරමින් පාරක් හදාගන්න හරි ඉඩකඩ තියෙන තැනකින් ඉඩමක් ගන්න ඕන. විශේෂයෙන්ම වාහනයක් එහෙම තියෙන මනුස්සයෙක් නම් තමන්ගේ වාහනේ ගන්න පුළුවන් විදියේ පාරවල් තියෙන වටපිටාවකින්ද ඉඩම් ගන්නේ කියන එක හිතලා බලන්න ඕන.

 

7. පහසුකම් තියෙනවද?

මේ පහසුකම් කියලා ගොඩක් වෙලාවට කියන්නේ දේවල් දෙකකට. ඒ තමයි විදුලිය සහ ජලය. දැන් වතුර නම් ලිඳක් කපලා වුනත් ගන්න පුළුවන්. හැබැයි ඊට කලින් බලන්න වෙනවා ගන්න ඉඩමේ ලිඳක් කපන්න සුදුසු විදියේ දිය උල්පත් තියෙනවද කියලා. ඒ වගේම බලන්න ඕන තමන්ගේ ඉඩමට විදුලි බලය තියෙනවද, එහෙම නැතිනම් වද විඳින්නේ නැතුව විදුලිය ගන්න හැකියාව තියෙනවද කියලා. දැන් ගොඩක් වෙලාවට ඔය ඉඩම් විකුණන්නේ “පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය” කියලනේ. නල ජලය වුනත් අවුලක් නෑ සතියකට සැරයක් වතුර කපන්නේ නැතුව දෙනවා නං!

තව දෙයක්. ඔය පහසුකම් කියනකොට කුණු ඉවත් කරන්න පුළුවන් පහසුකම්, වතුර බැහැලා යන්න කාණු පද්ධති තියෙන හෝ කාණු පද්ධති හදාගන්න හෝ පුළුවන් පහසුකම් තියෙනවද කියලත් හිතන්න වෙනවා.

 

8. මිනිස්සු හොඳයිද?

මේක නම් බොහොම බරපතලෙට හිතලා බලන්න ඕන කාරණාවක්. ඒ තමයි තමන්ගේ අසල්වාසීන් මොන වගේ මිනිස්සුද කියන එක වගේම, තමන් ඉන්න ප්‍රදේශය මොන වගේ මිනිස්සු ඉන්න ප්‍රදේශයක්ද කියන එක. ඇත්තටම ඉතින් මිනිස්සු කියන්නේ කොහෙත් මිනිස්සු තමයි. උදාහරණයක් විදියට ගත්තොත් චණ්ඩි ඉන්නවා කියලා ප්‍රසිද්ධ ප්‍රදේශයක චණ්ඩි කියලා ඉන්නෙත් මිනිස්සුම තමයි. හොඳ එවුනුත් ඉන්නවා, නරක එවුනුත් ඉන්නවා. හැබැයි අපි ඉඩමක් හෝ ගෙයක් ගන්න හිතන ප්‍රදේශය නිතර කුණුහරුප ඇහෙන මුඩුක්කු පරිසරයක් හරි, ඒ වගේ පැත්තකට යාබදව හරි තියෙන ප්‍රදේශයක් නම් අපිට ඉඩම් ගැනිල්ල ගැන ආයෙ හිතන්න වෙනවා. කුඩුකාරයෝ, හොරු වැහිවැහැලා ඉන්න ප්‍රදේශයක් නම් ඒත් අපිට ඒ පැත්තෙන් ඉඩම් ගන්නවද කියලා හිතන්න වෙනවා. මේවා අනාගතේදී වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඉතින් මේ මොහොතේ තත්ත්ව​ය ගැන හිත යොමු කරන එක වඩාත් ප්‍රවේසම්!

 

9. අව්වට වේලෙනවද? වැස්සට ගංවතුරද? 

ඔව්, කාලගුණය සහ දේශගුණය ගැනත් හිතන්න වෙනවා අපි ඉඩමක් හරි ගෙයක් හරි අරගෙන සෙට්ල් වෙන්න හිතනවා නම්. මෙහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. සමහර ප්‍රධාන නගර ආසන්නයේ ඉඩම් තියෙනවා කුණු කොල්ලෙට යන. සමහරු වැඩිදුර හොයන්නෙ නැතුව පැනලා ගන්නවා. ඔන්න වැහි ඇල්ලක් යනකොට ගෙදර අඟල් දෙකක් උසට ගංවතුර! මෙව්වා ඇත්ත කථා. ආන්න ඒ නිසා තමන් ඉඩම්, ගෙවල් ගන්න පළාතේ දේශගුණය ගැන සහ කාලගුණික වෙනස්කම් වලට ඔරොත්තු දෙනවද කියන එක ගැනත් හිතන්න ඕන. ඒ වගේම තමන්ට එව්වා ඔරොත්තු දෙනවද කියලත් හිතන්න ඕන. රස්නේ දරන්න බැරි හාදයෙක්​ට තද රස්නේ අවුරුද්ද පුරාම තියෙන පැත්තකින් ඉඩම් අරගෙන ඉන්න ටිකක් අමාරු වෙයිනේ. හැබැයි ඉතින් මේ කාලේ හැටියට එව්වා ගැන ගොඩක් හිත හිතා ඉන්න බෑ. ඒ නිසා ප්‍රධාන වශයෙන් ගංවතුර, නායයෑම් වගේ ස්වභාවික අනතුරු නැති ප්‍රදේශයක් තෝරගත්තහම ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *