ඔබත් BTS රසිකාවියක් නම් මේ ලියැවිල්ල ඔබ ගැනයි ඔබ කන කටු ගැනයි විතරමයි

BTS කියන්නේ ලෝකේ ඉන්න අංක එකේ බෝයි බෑන්ඩ් එක. කොරියන් ජාතික තරුණයන් හත් දෙනෙකුගේ එකතුවෙන් නිර්මාණය වෙලා තියෙන BTS ගායනා කරන ගීත අයිති වෙන්නේ K-Pop කියන ශානරයටයි. මෙයාලා අංක එකේ බෝයි බෑන්ඩ් එක බවට පත් වෙන්නේ රියැලිටි ෂෝ ගානේ ගිහින් නම් නෙවෙයි ඇත්තට ම වැඩකාරයො නිසයි. සින්දුවල තියන අමුතු කික් එකත් එක්ක ම කැපී පෙනෙන අනෙක් විශේෂ ම කාරණය තමයි මෙයාලගේ නර්තන හැකියාව. ආය ඉතින් ඉලස්ටික් කෑලි වගේ බලන් ඉන්න ආසයි. කොහොම හරි ලෝකේ හඳුනා නොගත් රටවල පවා BTS රසිකාවියො ඉන්නවා. එහෙම කෙනෙක්ගේ දින චරියාව සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා සෑහෙන වෙනස්. විශේෂයෙන් ම හැමදාම දකින ෆෑන් ගර්ල් කෙනෙක්ට වඩා අම්බානෙක කටු වගයක් එයාට කන්න වෙනවා.



1. කතන්දර අසා ගැනීමට සිදු වීම


මොකක් කරත් අපිට කතා අහගන්න වෙනවා තමයි. ඒත් මේක ඊට වඩා ගොඩක් වෙනස්. ඒකට හේතුව තමයි ෆෑන් ගර්ල් කෙනෙක් වීම නිසා කතා අහගන්න සිද්ධ වෙන එක. කොරියන් කොල්ලෝ කිව්වම අපේ රටේ මනෝ විකාරයක් තියෙන්නේ හෙන ම සෝබන චරිත ටිකක් විදියට. BTS ගැන වුණත් එච්චරයි. එයාලා මොන තරම් දක්ෂ වුණත් ඒ හැමදේම යටපත් කරගෙන උඩට එන්නේ අර සම්මත මානසිකත්වයේ කතාව විතරයි. ඉතින් එහෙම පිරිසකගෙ ෆෑන් ගර්ල් කෙනෙක් වුණා ම මේ විවේචන සිද්ධ කරන අයගෙ එහෙටත් නැති මෙහෙටත් නැති කතන්දර අහගෙන ඉන්න වෙනවා.



2. ඇසින් දැකීමට වරම් නැතිකම


BTS ලොව පුරා කරන සංචාර ගොන්නට ලංකාව වැටෙන්න තියෙන සම්භාවිතාවට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනවා අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි කියන මාතෘකාවෙන් ගැලවෙන්න. ඒ තරම් ඉතින් වෙන්න බැරි වැඩක්. ඒ වුණාට අපේ ළඟ රටවලට එනවා. හැබැයි ඉතින් අතමිට සරුවට තියෙන්නත් එපැයි ඕකට. ටිකට් එකක ගාණ ඇහුවත් ඇඳිවතේ යනවා. ඉතින් අන්න එහෙම දුක් සීන් එකකින් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියනවා.



3. භාෂා ප්‍රශ්නය


BTS හාදයොන්ගෙන් ඉංග්‍රීසි කෙළ පැමිණි එක පුද්ගලයයි ඉන්නේ. අනික් අය ලයිව් එනකොට වගේ ම එයාලාගේ එදිනෙදා ජීවිතය පෙන්නන වීඩියෝස්, ටීවි ෂෝ මේ වගේ දේවල කට්ටිය දෙසා බාන්නේ කොරියන්වලින්. ඉතින් සබක් නැතුව බැලුවට තේරෙන්නේ නැහැ. සබ් බලන ගමන් එයාලා දිහත් බලන්න ඕනි. සින්දුවක් වුණත් පළවෙනි වතාවට ඇහෙනකොට කොරියන් වචන පවා නුහුරටයි ඇහෙන්නෙ. ඉතින් එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා.



4. අතමිට කාසි නැතිවීම


BTS කියන්නේ වෙන ම ලෝකයක්. ඒ ලෝකය තුළ ජීවත් වෙන්න එක එක ක්‍රම තියනවා. BTS මර්චන්ඩයිස් කියන්නේ එහෙම ජීවත් වෙන්න පුළුවන් එක විදියක්. හැබැයි ඒවා ඉතින් ඒ ජීවත්වීමේ ආසාව නිසාම ලැබෙන්නෙ නැහැනේ. වියදම් කරලා ගන්න ඕනි. ගණන් ඉතින්. ජීවන වියදම් එක්ක ඒවට දෙන්න තරම් සල්ලියක් නැති වුණාම කරන්නේ සයිට් එකකට ගිහිල්ලා ආස කරන දේවල් දිහා බල බලා උඩ පහළ යන එක තමයි. බලා වැළපෙමි නෙලා ගනු බැරි BTS සිහිනේ.



5. ඔබේ ආශාව කිසිවෙකු තේරුම් නොගැනීම


මෙන්න මේ කාරණේ නිසා ම වෙන්න ඕනි වෙන ම එකිනෙකා කෙරේ ආදරය දක්වන BTS Army එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. නිතර මේ සින්දු අහන එක, වීඩියෝ බලන එක, අනික් අයටත් බලන්න රෙකමදාරු කරන එක වගේ දේවල් කරනකොට ඒ පුද්ගලයා දිහා පිස්සෙක් වගේ බලන සමහරු ඉන්නවා. ඒ ඉතින් මනුස්ස රසඥතාව තේරුම්ගන්න බැරි හාදයො තමයි. එහෙම වුණාම තමන් තනි වෙලා වගේ හැඟීමක් පවා එනවා. ඒ වෙලාවට ඉතින් ෆෑන් ෆික්ෂන් පාරක් කියවලා හිත හදාගන්නවා.



6. එදිනෙදා ඇහෙන ප්‍රශ්න සමඟ ගනුදෙනුව


BTS කියන්නේ Behind the Scenes ද කියලා අහනවා. ඇයි මෙයාලා මේකප් කරන්නේ කියලා අහනවා. මේ තරම් ඇබ්බැහියක් හදාගෙන බලාපොරොත්තු වෙන්නේ මොනවද අහනවා. භාෂාව තේරෙනවද අහනවා. ලස්සන ගීත සාහිත්‍යයක් අපට තියෙද්දි මොන උලව්වට ඕවා අහන්නේ අහනවා. ඇයි අර විදියට එයාලා අඳින්නේ අහනවා. මේ දේවල් එක්ක ඉවසීම ප්‍රගුණ කරලා ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා.



7. ගැලරියේ සැබෑ ජීවිතයට ඉඩක් නැති වීම


BTS රසික ඔබට හැමදාම ෆෝන් එකේ පුරවගන්න දෙයක් ෆැන්ඩම් එක දායාද කරනවා. කොහෙන් හරි මොකක් ම හරි පැපරාසි ෂොටක් හරි තියනවා. ඉතින් මේ හැබෑ ජීවිතයේ ආශ්‍රය කරන මිනිස්සුන්ට වඩා ෆෝන් එකේ තියෙන්නේ තමන් ඉන්නවද කියලවත් දන්නැති කොළුවො හත් දෙනෙකුගේ ෆොටෝස්. ඒක දුක් වෙන්න දෙයක් නොවුනට හදිසියකට ෆොටෝ එකක් ගහගන්නවත් ඉස්ටෝරේජ් නැති වෙනවා. ඒ තරම් ම සීන් එකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *