බල්ලෝ ඇතිකරනවා කියන්නේ හොඳ සරු විනෝදාංශයක්. විවේකෙන් ඉන්න වෙලාවක බල්ලෙක් එක්ක ඔට්ටු වෙනවා කියන්නේ දවසෙම ස්ට්‍රෙස් එක නැතිවෙන්න හේතුවක්. ඒ වගේම ගෙදරට වෙලා කාත් කවුරුත් නැතිව තනියෙන් ඉන්න වෙන අයටත් බල්ලෙක් දෙන්නෙක් ඇතිකරගත්තොත් දවස ගෙවෙනවා තේරෙන්නේ නැහැ. ඉතින් මේ බල්ලෝ හැදීම කියන්නේ අද වෙනකොට ෆැෂන් එකක් වෙන මට්ටමකට ඇවිත්. සමහර වැඩිහිටි අය එකතු වුනාම තමුනගේ ගෙවල් වල ළමුන්ගේ ලොකු කම් කියෝනවා. දැන් තරුණ අය එකතු වෙන තැන්වල තමුන්ගේ ගෙවල ඉන්න බල්ලෝ ගැනත් ඒ විදියට උජාරුවෙන් කතා කරනවා.
1. වල් බල්ලෙක් ගැනීම
හොඳ බල්ලෙක් ගන්න සල්ලි ගොඩක් යනවා. පැටවා පොඩි උනත් උගේ වංශය ලොකු නම් ඌ රටින් ගෙන ආපු එකෙක් නම් අපිට ලොකු මිලක් දෙන්න වෙනවා බලු පැටියෙක්ව ගන්න. ඒත් වල් බල්ලෙක් හොයාගන්න එක ලොකු අමාරුවක් නැහැ. ටිකක් ආරංචි කරලා බැලුවොත් ලඟපාත පංසලෙන් ලඟ ගෙදරකින් වුනත් වල් බල්ලෙක් අපිට හොයාගන්න පුළුවන්. පසුගිය කාලේ ඔටාරා මැතිණියත් වල් බල්ලෝ බෙදීමේ සද්කාර්යයක් තැන් තැන්වල කළා. වල් බල්ලෙක් ගන්න අපිට මිලක් යන්නේම නැති තරම්.
2. ලේසියෙන් නඩත්තු කරන්න හැකි වීම
රටින් බල්ලෝ ගෙනාවම උන් නඩත්තු කරන්න අමාරුයි. විශේෂයෙන් යුරෝපීය සතුන් මෙහෙ තියෙන නිවර්තන වටපිටාවේ හදන්න මහන්සි වෙන්න වෙනවා. උන්ට මේ පරිසරයේදී හැදෙන ලෙඩ රෝග එහෙමත් වැඩියි. ඒත් වල් බල්ලෝ නඩත්තු කරන්න ලොකුවට වියදමක් යන්නේ නැහැ. නිය කපන්න තියෙනවා, ලෝම හරියට පීරලා නඩත්තු කරන්න තියෙනවා.ඒ වගේ හොඳ බල්ලන් වෙනුවෙන් කරන්න ඕනි වතාවත් තියෙනවා.
3. වෛද්‍යාධාර අඩුවීම
වංශවත් බලු සුරතලුන් පෙනුමෙන් නම් බොහොම ආකර්ෂණීයයි. ඒත් ඔවුන්ට බෙහෙත් කරන්න විටමින් ආදී පෝෂණ ද්‍රව්‍ය ආදිය වෙලාවට ලබා දෙන්න ඕනා. අපේ පාරවල් වල හැදෙන වල් බල්ලන්ට ලංකාවේ අපේ ආහාර රටාවට අනුගත වෙලා ඉන්නේ. උන්ට අපේ කෑම ජාති එහෙම කන්නත් පුළුවන්. ගොඩක් බල්ලන්ට වැළඳෙන රෝග ආදියේදිත් වල් බල්ලන් හොඳ ප්‍රතිශක්තියක් දක්වනවා.
4. සමාජ සද්කාර්යයකට දායක වීම
දැන් ඉස්සර වගේ බලු වෑන් වලින් ඇවිල්ලා පාරේ යන බල්ලෝ මරණයට පත් කිරීමක් සිදු වෙන් නැහැ. මොකද පාරේ යන බල්ලෝ මැරීම නීතියෙන් තහනම්. ඒත් ලංකාවේ බල්ලන් පාලනයක් නිසි පරිදි වෙන්නෙත් නැහැ. ඒ නිසා මගහැරෙන බල්ලන් දරුණු මිනිස්සුන්ගේ ගල් පාරවල් කාගෙන පාරවල් ගාණේ දුක් විඳිනවා. අපිට මේ සතෙක් අරගෙන නිසි පරිදි වඳ කිරීම් කරලා ඇතිකරන්න පුළුවන් නම් ඒ සතාට සැනසීමක්. ඒ වගේම සමාජය වෙනුවෙන් කරන ලොකු කැපකිරීමක්ද වෙනවා.
5. ඕනා තත්ත්වයකට හුරු කරවාගන්න හැකි වීම
අපි හැමෝම බල්ලෝ ඇතිකරන්න කැමති එකම විදියට නෙමෙයි. සමහර අය බල්ලන්ට ආදරේ වුනත් ගෙවල් ඇතුලට බල්ලෝ ගන්න කැමති නැහැ. තවත් අය බල්ලන් ගෙවල් ඇතුලේ ඇතිකළත් දරුවන් සමග ඇතිකරන්න කැමති නැහැ. ඒ වගේම බල්ලා යනු ගෙදර ආරක්ෂාවට සිටින මුරකාරයාය කියලා බල්ලෝ ඇතිදැඩි කරන අයත් ඉන්නවා. ඉතින් රට බල්ලො ගත්තාම ඒ ඒ බලු ජාතියට අදාළ ආවේණික ගති සිරිත් තියෙනවා. අපිටත් ඒ බල්ලාගේ ආවේණික ස්වරූපයන්ට පුරුදුවෙන්න වෙනවා. ඒත් වල් බල්ලා ඇවිල්ලා අපිට ඕනි විදියට අපිට ඕනි ආකාරයට පොඩි කාලෙදිම පුරුදු පුහුණු කරගන්න ලේසියෙන්ම පුළුවන්කම ලැබෙනවා.
6. නිවසේ ආරක්ෂාව සහතික වීම
නිවෙස් ආරක්ෂාවට දැන් නම් සීසීටීවී වගේ තාක්ෂණික උපකරණ යොදනවා. ඒත් ඉතින් සීසීටීවී වලින් සර්පයෙක්, මුගටියෙක් ඉත්තෑවෙක් වගේ එකෙක් ආවොත් බලාගන්න අමාරුයි. හොරෙක් ආවත් සීසීටීවි එකෙන් පුළුවන් වෙන්නේ හොරා ආව බවට සනාථ කරගන්න විතරයි. බල්ලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ මුර වැඩේටම හුරු වුන ඩයල් එකක්. මිනිසාට වඩා සංවේදන තියෙන බල්ලා අපට ඇස් නොපෙනන රාත්‍රියේදී ඉවෙන් මෙන් අනතුරු හඳුනාගන්නවා. ඉන් පසු බුරලා අපිව දැනුවත් කරනවා. ඉතින් අපි පාරෙ යන බලු පැට්ටෙක්ව අරගෙන හොඳට ආදරෙන් කන්න බොන්න දීල හැදුවොත් අපිට මුර වැඩෙත් වඩාත් හොඳින් ඌ කරලා දෙනවා. මොකද ඌට අපේ පරිසරයේ තියෙන උවදුරු ගැන මනා අවබෝධයක් තියෙනවා.
7. අපි ගෙදර නැතිවිට
අපේ ගෙදර ඉන්න ඔක්කොන්ටම විනෝද චාරිකාවට රට යන්න වුනාය කියලා හිතමු. එතකොට අපිට ඒකට බල්ලා සහභාගි කරගන්න එක බොහොම අමාරුයි. බල්ලෙක් ගුවනින් ගෙනයෑම මුදල් ඇති අයට පවා ටිකක් වියදම් අධික කරදරකාරී වැඩක්. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට බල්ලාව බලාගන්න තැනකට බාරදෙන්න පුළුවනි. ඒත් ඉතින් වල් බල්ලෙක් නම්, ලඟපාත ගෙදර කෙනෙකුට වුනත් හරිම ලේසියෙන් අපේ බලු සුරතලාව බලාගන්න වගකීම පවරලා යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අවශ්‍යතාවයන් අඩු ඒ අපේ වල් බලු සුරතලාව රැකබලාගන්න ඕනි කෙනෙක්ට හරිම පහසුයි.
සත්තු ගත්තාම අපේ පරිසරයේ අවුරුදු දාස් ගාණක් තිස්සේ ඉන්න සත්තු අපිට ඇතිකරන්න ලේසියි. ඉතින් වල් බල්ලෝ කියන්නේ එහෙම වඩාත් හොඳින් පරිණාමයට ලක් වෙලා මේ අපේ පරිසරයට පයිත්තියන් වුන ජාතියක්. ඉතින් බල්ලො අතර වල් බල්ලෝ ඇතිකිරීමේ වාසි ගොඩක් අපිට සරලවම පේනවා. හැබැයි ඉතින් බල්ලා වල්ය කියලා ඌට නිදහසේ නිදැල්ලෙ යන්න දුන්නොත් ඌත් ගිහින් අනික් උන්ගෙන් රටේ නැති ලෙඩ හදාගෙන ඒවි. වල් බල්ලන් කියලා උන්ට ඉන්ද්‍රජාලික බලයක් නැහැ. ඒ නිසා උන්ට උනත් ලෙඩ දුක් හැදෙනවා. ඒ වගේ තැන්වලදි හොඳින් සලකලා හොඳට ආදරෙන් හැදුවොත් වල් බල්ලා කියන්නෙත් ලස්සන ටිකක් අඩු වුනත් ඔබට ආදරණීය සුරතලෙකු බවට පත් වේවි.
Leave a Reply