දැන් ඔය එක එක රටවල තියෙනවනේ එක එක නීති රීති. ඒ සමහර නීති රීති ලෝක විකාරයි. උදාහරණයක් විදියට කිව්වොත් ඔස්ට්‍රේලියාවේ ඉරිදා දවල් 12 න් පස්සේ පොදු ස්ථාන වල රෝස පාට කලිසම් ඇඳගෙන ඉන්න බෑ. එතකොට ලංකාව ගත්තොත් එහෙම මෙහෙත් තියෙනවා ඔය වගේ අමුතු සම්ප්‍රදායන්, නීති එහෙම. හැබැයි ඒවා තියෙන්නේ කාන්තා පාර්ශවයට විතරයි ගොඩක් වෙලාවට. මේවා අපි විකාරයි කියලා කියන්නේ සරල හේතුවක් නිසා. ඇයි කාන්තාවන්ට විතරක් අමුතු වෙනසක්? එහෙම කාන්තාවන්ට අමුතු අමුතු සම්ප්‍රදායන්, නීති දාන එකට පදනමක් තියෙනවද? ඒගැන අපි අන්තිමට කථා කරනවා. ඊට කලින් ඔය කිව්ව කාන්තාවන්ට විතරක් වුණු ශ්‍රී ලංකාවේ අමුතු සම්ප්‍රදායන් සහ නීති මොනවද බලන්න වෙනවා. ඒවා තමයි මේ!
1. මත්පැන් මිලදී ගන්න තහනම්, බොන්නත් එපා ඉතින්!
ලංකාවේ පිරිමින්ට බාර් එකකින් මත් වෙන වතුර බෝතලයක් අරගෙන කුදාර් වෙන්න ගහන්න කිසිම බාධාවක් නීතියෙන් නෑ. සමාජේ සමහරු බොන එකට විරුද්ධයි, සමහරු බොන එක පුද්ගලික දෙයක් කියලා ගණන් ගන්නෙ නෑ, තවත් සමහරු බොන එකට එකෙන්ම පක්ෂයි. හැබැයි සාමාන්‍යයෙන් බොන එකට පක්ෂ මනුස්සයෙක් වුනත්, කාන්තාවක් බොනවා කිව්වහම විරුද්ධ වෙනවා. ඒ විතරක්ද, ලංකාවේ කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න එකත් නීතියෙන් තහනම්. බොන එක නරක නම් හැමෝටම නරකයි. හොඳ නම් හැමෝටම හොඳයි. ආයේ පිරිමින්ට හොඳයි ,ගෑණුන්ට නරකයි කියලා බෙදන එක අවුල්, හා නැද්ද? ඒ මදිවට නීතියකුත් තියෙනවා කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න තහනම් කියලා. ඔය නීතියට ලංකාවේ කාන්තාවෝ සෑහෙන පිරිසක් විරුද්ධ වුනාත් එක්ක.
2. සිගරට් බොන එකත් හරි නෑ!
සිගරට් බොන අය නම් සිගරට් වලට අකමැත්තක් නෑ. හැබැයි සිගරට් නොබොන බහුතරයක් නම් සිගරට් වලට සහ සිගරට් බොන අයට විරුද්ධයි . ලංකාවේ සිගරට් බොන එක අඩුකරන්න විවිධ පියවර වුනත් රජයෙන් අරගෙන තියෙනවා. හැබැයි ඉස්සර ඉඳලම කාන්තාවන් සිගරට් බොන එකට නම් ලංකාවේ සමාජයේ විශේෂ අකැමැත්තක් තිබුණා. අදටත් සිගරට් බොන පිරිමියෙක් දිහා කෙනෙක් අකමැත්තෙන් බැලුවත්, සිගරට් බොන ගැහැණියක් දිහා බලන්නේ ඊටත් වඩා පුදුමයෙන් සහ පිළිකුලෙන්. විශේෂයෙන්ම විදේශික කාන්තාවක් එහෙම ලංකාවේ තැනක සිගරට් බොනවා දැක්කහම ඒවට එන ලංකාවේ අයගේ ප්‍රතිචාර වලින් අපිට ඒක කියන්න පුළුවන් .
සිගරට් බොන එක පිරිමින් සම්බන්ධයෙන් නරකයි නම් කාන්තාවක් සම්බන්ධයෙනුත් ඒ විදිහටම නරකයි වෙන්න තමයි ඕන. කාන්තාවන් සම්බන්ධයෙන් ඒක ඊට වැඩියෙන් හෝ ඊට අඩුවෙන් නරක වෙන්න විදියක් නෑ.
3. ස්වයං වින්දනේ කරන එක හරිම නෑ!
මේක නම් මෙහෙම කියන එක හරි නෑ. මොකද ස්වයං වින්දනේ කියන්නේ මහා භයානක දෙයක් කියලා සැලකෙන්නේ ගෑණු ළමයි සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, පිරිමි ළමයි සම්බන්ධයෙනුත් ඒක එහෙමයි. ඒත් අපි දකිනවා ගෑණු ළමයි ස්වයං වින්දනය කරනවා කිව්වහම සමහර පිරිමි ළමයින්ගේ ඇස් ලොකු වෙන හැටි. එහෙම පිරිමි හිතන්නේ ස්වයං වින්දනය වගේ දෙයක් කරන්නේ ‘වල් ගෑණු’ කියලා තමයි. හැබැයි ස්වයං වින්දනය පොදුවේ නරක දෙයක් කියලා හිතුවත්, ස්වයං වින්දනය කරන පිරිමි ළමයි ‘වල් පිරිමි’ කියලා කවුරුවත් හිතන්නේවත් කියන්නේවත් නෑ. ආන්න ඒ නිසා අපි මේකත් අපේ ලිස්ට් එකට ගන්නවා!
4. බඳින්න කලින් සෙක්ස් කරන එක ආපෝ හොඳම නෑ!
මෙන්න කාන්තාවට බොහොම දැඩිවම වෙනස් විදියට සැලකෙන තැනක්. දැන් ලංකාවේ සංස්කෘතියේ හැටියට ලිංගික පාරිශුද්ධත්වය බොහොම ඉහළින් සැලකෙනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් බඳින්න කලින් සෙක්ස් කරලා නැහැයි කියන එක. හරියටම කියනවා නම් ඔය පරණ තාලේ ගොඩක් දෙනෙක් අදහස් කරන්නේ බඳින්න කලින් කිස් එකක්වත් දීලා නැහැයි කියන එක තමයි. හැබැයි ඉතින් මූලිකවම ඔතනදී සැලකෙන්නේ කුමර බඹසර සහ කුමරි බඹසර කියන එක කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒත් මෙතනදීත් කාන්තාවට වැඩි බරක් වැටෙනවා. අහල නැද්ද පරණ කියමනක් තියෙනවා “කොල්ලෙක් පිට ගියොත් නාවලා ගෙට ගන්න පුළුවන්, ඒත් කෙල්ලෙක් පිට ගියොත් ආයෙ ගෙදරට වැද්දගන්න බැහැයි” කියලා. මෙතනදී සරලවම කියන්නේ කාන්තාවකට කන්‍යා භාවය නැති කර ගැනීම ආනන්තරීය එකට පොඩ්ඩක් අඩු පාපකර්මයක්ය, පිරිමියෙක් එහෙම මුලින්ම සෙක්ස් කරන එහෙම අප්සට් එකක් තියෙන දෙයක් නෙවෙයිය කියන එක තමයි! ඕවලට ඉතින් කියන්න තියෙන්නේ හණමිටි අදහස් කියලා තමයි. වැරදි නම් දෙපාර්ශවයටම වැරදි වෙන්න එපායෑ!
5. ට්‍රිප් යන්න බෑ!
මේක නම් ඉතින් අම්මලා තාත්තලා ඕනෑවට වඩා තමන්ගේ ගෑණු දරුවෝ ගැන තියෙන බය නිසා හදාගත්තු දෙයක්. ඒකට සියේට සීයක් අම්මලා තාත්තලාට වැරැද්දක් කියන්නත් බෑ අද කාලේ රටේ තත්ත්වයත් එක්ක බලනකොට. දැකලා තියෙනවද ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි ඉන්න ගෙවල් වල වුනත්, එළියට පහළියට යන්න ගෑණු ළමයට අඩු නිදහසක් සහ පිරිමි ළමයට ඊට වඩා වැඩි නිදහසක් තියෙනවාය කියන එක? සාමාන්‍යයෙන් ඔය ඕලෙවල්, ඒලෙවල් කාල වල පිරිමි ළමයෙක්ට වුනත් දවසක් ගෙදරින් පිට ඉන්නවා කියන එක, යාලුවෝ එක්ක ට්‍රිප් එකක් එහෙම යනවා කියන එක ලේසියෙන් ගොඩදාගන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒත් අවුරුදු විසි එක, විසි දෙක වෙනකොට ඔය නීති රීති පිරිමි ළමයෙක්ට ලිහිල් වෙනවා. රස්සාවක් එහෙම කරන්න පටන් ගත්තහම කොහොමටවත් ඔය නීති පිරිමි ළමයෙක්ට බලපාන්නේ නෑ. හැබැයි ගෑණු ළමයෙක් වසය විසි හතක් විසි අටක් වුනත්, අම්මලා තාත්තලා ගෙදරින් රැයක් පිට ඉන්න දෙන්නෙ නෑ, ට්‍රිප් යන එක කෝක වුනත්. සමහර වෙලාවට ට්‍රිප් එකක් එහෙම යනවා නම් අම්මත් යනවා දුවත් එක්ක.
ඇත්තටම අපිට මේකට මොකුත් කියන්න බෑ. ඒත් එකක්, බබ්බු වගේ ගෙදර හිරකරගෙන කෙල්ලෙක්ව වුනත් කොල්ලෙක්ව වුනත් හදන දෙමාපියෝ දැනගන්න ඕන තමන් දරුවන්ට ඒ කරන්නේ වැරැද්දක්ය කියන එක. මොකද කවදා හරි උන්ට සමාජෙට බහින්න සිද්ධ වෙනවා. එදාට බබ්බු වගේ සමාජෙට බහිනවා කියන්නේ බඩුම තමයි!
6. ක්ලබ් යන්න, බීච් පාටීස් වලට යන්න බෑ!
ලංකාවේ ක්ලබ්ස් තියෙනවා, බීච් පාටීස් තියෙනවා. ඕවට කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලෝමත් සහභාගි වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් පොදු සමාජේ සම්මතයක් තියෙනවා ඕවලට යන කෙල්ලෝ ‘නරකය’ කියලා. හැබැයි ඕවලට යන කොල්ලෝ නරකයි කියලා කවුරුවත් කියන්නෙ නැති එක තමයි පුදුමේ.
මෙතනදී ඇත්තටම වැදගත් වෙන්නේ ඔය ක්ලබ් යන එක, පාටි වලට යන එක හරිද වැරදිද කියන එක නෙවෙයි. විශේෂයෙන්ම සමහර වෙලාවට ඔය පාටියක සිද්ධ වෙන්නේ නීතිගරුක දේවල්මයි කියලා අපිට කියන්නත් බෑ. දන්නවනේ මත්ද්‍රව්‍ය අනං මනං ගැන. හැබැයි ඇයි ක්ලබ් යන කෙල්ලෝ අමුතු කෙල්ලෝ විදියට හංවඩු ගැහෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. කවදාවත් ක්ලබ් යන කොල්ලෙක්ව අමුතුයි කියලා සැලකෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ!
7. වැරදි කරන එක අවුල්, කෙල්ලෝ වැරදි කරන ඊටත් වඩා අවුල්!
ඔය දැන් මත්ද්‍රව්‍ය එක්ක පැවැත්වුණු ෆේස්බුක් පාටි එහෙමත් පොලිසි වලින් අල්ලනවනේ. හැබැයි මේ හැම තැනකදීම ගැහැණු ළමයි මේ තැන්වලට යන එක විශේෂත්වයක් විදියට හුවා දැක්වෙනවා. අන්න එතන තමයි අවුල. පත්තර වල වුනත් මෙහෙම නිව්ස් යන්නේ “මත්ද්‍රව්‍ය එක්ක පැවැත්වුණු ෆේස්බුක් සාදයේ හිටි විස්සක් අල්ලයි, ඒ අතර ගැහැණු ළමුන් අටක්” කියලා. ඇයි එහෙම ගැහැණු ළමයි එතන හිටියා කියන එක විශේෂ කරලා පෙන්නන්නේ? ආන්න ඒ ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕන.
අනික මේක රටේ ලෝකේ වෙන හැම වැරැද්දකදීම දකින්න ලැබෙන දෙයක්. විශේෂයෙන්ම ඔය වගේ දේවල් පත්තර වල නිව්ස් විදියට දානකොටත් මේ විදියට කාන්තාවන් ඉන්න එක විශේෂයක් විදියට හෙඩ්ලයින් වලම පෙන්නනවා. හැබැයි කොහේවත් අපි දැකලා නැහැ නේද “බුරු ගැසූ දහයක් අල්ලයි, ඒ අතර පිරිමින් අටක්” කියලා හෙඩින්ග් යනවා? ආන්න ඒක තමයි ප්‍රශ්නේ. හරිනම් හෙඩින් එක යන්න ඕන “බූරු ගැසූ දහයක් අල්ලයි” කියලා තමයි, නැත්තං “මත්ද්‍රව්‍ය එක්ක පැවැත්වුණු ෆේස්බුක් සාදයේ හිටි විස්සක් අල්ලයි” කියලා තමයි. එච්චරයි!
දැන් මේ අපි කියන දේට විරුද්ධ වෙන අයගේ ජනප්‍රිය තර්කයක් තමයි කාන්තාව උතුම් මව් පදවිය ලබන නිසා එහෙම වැරදි කරන එක පිරිමි ඒ වැරදිම කරනවාට වඩා අවුල්ය කියන එක. ඇයි හත්තිලව්වේ පිය පදවිය එතකොට උතුම් නැද්ද? ළමයි තාත්තාව ආදර්ශෙට ගන්නෙ නැද්ද? ආන්න ඒකයි අපි කියන්නේ වැරදි දෙයක් නම් අම්මා කළත්, තාත්තා කළත්, පිරිමියෙක් කළත්, ගැහැණියක් කළත් වැරදියි කියලා. එහෙම නැතුව පිරිමියෙක් කරන එක වැරදියි, ගැහැණියෙක් කරන ඒ වැරැද්ද බුදු අම්මෝ මාරම වැරදියි වෙන්න බෑ!
Leave a Reply