කට්ට කාල ගත්තු වාහනේ ලංකාව වගේ රටක පාරට දාන්න කලින් අපිට ගොඩක් දේවල් හිතන්න වෙනවා. ඒකට ඕන තරම් හේතු තිබුනත් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන නෙමෙයි. අපි කැමති උනත් නැති උනත් ඕනම වාහනයක් පාරට දාන්න කලින් තමන් ගාව තියෙන්න ඕන මුලික බලපත්‍ර/ සහතික තුනක් තියෙනවා. සමහර වාහන වලට ඊට වඩා තියෙන්න පුළුවන්. ඕව අතරින් රක්ෂණ සහතිකය කියන්නේ විශේෂම සහ මූලිකම දෙයක්. එකට හේතුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මෝටර් රථ (සංශෝධන) පනතින් අනිවාර්‍ය කරලා තියෙන එක විතරක්ම නෙමෙයි. කරුණු කාරණා කොයි හැටි උනත් ඔන්න ඔය කියාපු ඉන්ෂුවරන්ස් කියන දේ කරන්න කලින් ගොඩක් දේවල් හිතන්න, හොයල බලන්න තියෙනවා. මෙච්චර කල් නොහිතා ඉන්ෂුවරන්ස් කරපු අයත් අලුතින්ම කරන්න ඉන්න අයත් තමන්ගේ වාහනේ ඉන්ෂුවරන්ස් කරන්න කලින් මෙන්න මේ දේවල් ගැන හිතල බැලුවොත් හොඳයි.
1. ෆුල් ද තර්ඩ් පාටි ද?
ලොකු පොඩි ඕන කෙනෙක් ෆුල්, තර්ඩ් පාටි කියපු ගමන් දන්නවා මොකක්ද සීන් එක කියල. හැබැයි ටක්කෙටම දන්නේ නෑ ගොඩක් අය. කොහොම උනත් වාහනේට ඉන්ෂුවරන්ස් එකක් දානවනම් මුලින්ම හිතන්න ඕන කාරණාව තමයි මේක. කාලෙකට කලින් ෆුල්, තර්ඩ් පාටි දෙකට අමතරව තව කැටගරි එකක් හෝ දෙකක් තිබ්බ ඒත් දැන් නැහැ. මේ ගැන කියන්න කලින් නීතිමය කාරණාවක් පැහැදිලි කරලා ඉන්න වෙනවා. රක්ෂණයේදී පාර්ශ්ව තුනක් ඉන්නවා. පළමු පාර්ශ්වය කියල කියන්නේ රක්ෂිතයා. දෙවන පාර්ශ්වය කියන්නේ රක්ෂණ ආයතනය. තුන්වන පාර්ශ්වය කියන්නේ රක්ෂණ ගිවිසුමෙන් බලපෑමක් වෙන අනෙක් සියලු දේ සහ දෙනා. (වාහන ඉන්ෂුවරන්ස් වලදී නම් පාරේ යන අය සහ තියෙන සියලු දේපළ) දැන් ටිකක් තේරෙනවා නේද තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් කියන්නේ මොකක්ද කියල. ඒ කියන්නේ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් දැම්මොත්, ඔයාගේ වාහනේවත් වාහනේ ඇතුලේ ඉන්න අයව වත් ආවරණය වෙන්නෙ නෑ. හැබැයි තුන්වන පාර්ශ්වය ආවරණය වෙනවා. ඒත් ෆුල් (Comprehensive) ඉන්ෂුවරන්ස් එකකදී එහෙම නෙමෙයි. ඔයාගේ වාහනෙත්, වාහනේ යන අයවත්, තුන්වන පාර්ශවයේ ජීවිත සහ දේපළත් කවර් වෙනවා. ඒ නිසා ගන්න ඕනෙ කරන මුලිකම තීන්දුව මේක තමයි. ඔයාට ඇති තරම් සල්ලි තියෙනවනම් ඕන අලාභයක් අතින් හදාගන්න, තර්ඩ් පාටි එකක් හොඳටම ඇති.
2. වාහනේ පාවිච්චිය
වාහනේ මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ කියන එකත් ඉන්ෂුවරන්ස් කරන්න කලින් හිතන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට වාහනේ තමන්ගේ පුද්ගලික ගමන් වලට විතරක්ද පාවිච්චි කරන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. තව අවස්ථා දෙකක් තියෙනවා. ඊලඟ එක තමයි හයර් කිරීම කියන එක. තුන් වෙනි විදිහ එතනිනුත් එහාට ගිහින් රෙන්ට් කිරීම කියන අවස්ථාව. ඉතින් ඉන්ෂුවරන්ස් එකක් දාන්න කලින් හිතන්න තමන්ට ඔය අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද ගැලපෙන්නේ සහ අවශ්‍ය වෙන්නෙ කියල. නිකන් පුද්ගලික රක්ෂණයක් අරගෙන හයර් කරලා ක්ලේම් රිජෙක්ට් උනාම ඉන්ෂුවරන්ස් එකේ උන්ගේ අම්ම මුත්තා මතක් කරලා වැඩක් නෑ. අනිත් දේ තමයි හයරින් ඉන්ෂුවරන්ස් එකක් දැම්මොත් පුද්ගලික පාවිච්චිය බෑ කියල දෙයක් නෑ. රෙන්ට් දැම්මොත් පුද්ගලික පාවිච්චියත් පුළුවන් හයර් කරන්නත් පුළුවන්. ඒ වගේ. හැබැයි ගණන් නම් ගොඩක් වැඩියි පුද්ගලික එකට සාපේක්ෂව.
3. එක පාර ගෙවන්න ඕනෙ ද?
සමහර ඉන්ෂුවරන්ස් කොම්පැනි තියෙනවා එක පාර අවුරුද්දෙම ගාණ ගෙවන්න ඕනෙ. සමහර ඒවා තියෙනවා ගෙවන්න යම් කාලයක් දෙනවා. ඉතින් ඉන්ෂුවරන්ස් එකක් කියන්නේ ටිකක් වියදම් වැඩක් නිසා ගෙවන්න සහන කාලයක් දෙන තැනක් නම් කෝකටත් හොඳයිනේ. ඒ එක්කම හොයල බලන්න සහන කාලය ඇතුලත ගෙවන්න බැරි උනොත් මොකද වෙන්නෙ කියලත්. සමහර වෙලාවට ඔයා කීයක්හරි ගෙවලනම් ඒ ගාණ එක්කම කැන්සල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට සහන කාලය කරපු හරියක් කියල හිතෙයි.
4. කොන්දේසි සහිතයි (ද?)
ගොඩක් ඉන්ෂුවරන්ස් කොම්පැනි ලොකුවට ඇඩ්ස් දාලා පේන්නේ නැති ගාණට දානවා *කොන්දේසි සහිතයි* කියල. ඉතින් ඔයාට වාහනේ ඉන්ෂුවරන්ස් කරන්න කලින් අන්න ඒ කොන්දේසි මොනාද කියලත් හොයල බලන්න සිද්ද වෙනවා. වාහනේට වාහනයක් දෙනවා කිව්වට ඒ දෙන්නේ බයිසිකලයක් ද කියල දන්නේ නැහැනේ. මොකද බයිසිකලෙත් වාහනයක් නෙ. ගොඩක් වෙලාවට කොන්දේසි අස්සේ ගහල තමයි අපිට වැඩේ දෙන්නේ. ඒකයි හැම කොන්දේසියක්ම හොයල බලල වැඩේ කරන්න ඕනෙ.
5. ක්ලේම් කරන හැටි
වාහනේට ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන ඕන කෙනෙක්ගේ උත්තම අරමුණ තමයි අනතුරක් උනාම අතින් සතයක් වත් නොගෙවා ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලෙම් කරගන්න එක. ඒ නිසා අනතුරක් උන තැන ඉඳල ක්ලේම් එක ගන්න තැනට වෙනකන් තියෙන ක්‍රියාපටිපාටිය ගැන ගොඩක් හොඳට හොයල බලන්න ඕනෙ. ඒවා තමන්ට සෙට් වෙනවනම් ගැටළුවක් නෑ. සමහරු හිතනවා කීයක් හරි කපල හරි කමක් නෑ ඉක්මනට ගෙවනවනම් කියල. තව සමහරු හිතනවා ගෙවන්න පරක්කු උනත් කමක් නෑ මුළු ගාණම ගෙවනවනම් කියල. ඉතින් ඔය මොන පැත්තේද කියල හිතල බලල එකට හරියන තැනක් හොයාගන්න.
6. අතිරේක ආවරණ
ඉන්ෂුවරන්ස් එකක් දාපු පලියට හැමදේම කවර් වෙන්නෙ නෑ. ඉන්ෂුවරන්ස් එකක තියෙනවා බේසික් කවර් කියල එකක්. ඒකෙන් බොහෝවිට ආවරණය වෙන්නෙ පාරේදී සිද්දවෙන, වාහන ගැටීමක් හෝ වෙනත් ගැටීමක් නිසා වෙන අනතුරු විතරයි. එත් තව අමතර ආවරණ තියෙනවා තමන්ට ඕන විදිහට එකතු කරගන්න පුළුවන්. උදාහරණ විදිහට ස්වභාවික අපදා ආවරණය, කැරළි කෝලාහල ආවරණය, විශේෂ වින්ඩ්ස්ක්‍රීන් ආවරණය, ඇදගෙන යාමේ ගාස්තු ආවරණය, රිය පුහුණු ආවරණය වගේ. එක එක කොම්පැනි වල එක එක නම් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඉන්ෂුවරන්ස් කරන්න කලින්.
7. අතිරේක සේවාවන්
ඔය ඔක්කොම ගැන හිතල බැලුවට පස්සේ අන්තිමට හිතන්න තියෙන කාරණාව තමයි මේ. මෙතනින් අදහස් කරන්නේ අදාළ ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් ඔයාට කියල විශේෂයෙන් දෙන සේවාවන් මොනාද කියන එක. අපි කව්රුත් දන්න විදිහට කිව්වොත් ඒජන්ට්ල ගැන. ඒජන්ට් කිව්වම සමහරුන්ට වහ කදුරු වගේ. එත් සමහරු ඒජන්ට්ල මාර්ගයෙන් ගෙවන්න බෑ කියල රිජෙක්ට් වුන ක්ලේම් පවා අරගන්නවා. එක තියෙන්නේ තමන්ට ලැබෙන හෝ තමන් තෝරාගන්න ඒජන්ට් මත. ඕනෑම ඉන්ෂුවරන්ස් කොම්පැනියක හොරු ඉන්න පුළුවන්. ඒ වගේම අවංකව සේවයක් කරන අය ඉන්නත් පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවන්ගේ හෝ ඥාතින් මාර්ගයෙන් හොයල බලන්න ඒ අය රෙකමදාරු කරන ඒජන්ට් මහත්තුරු එහෙම ඉන්නවද කියල.
ඔය ඔක්කොම ගැන හිතල බලල හොයල බලල ඉවර උනාට පස්සේ ඉන්ෂුවරන්ස් එකත් දැම්මා කියමුකෝ. ඊට පස්සේ වැඩේ ඉවරයි කියල පැත්තකට වෙලා ඉන්නේ නැතුව ඉදල හිටලා හරි ගිහින් තමන්ට ලඟ තියෙන අදාළ ආයතනයේ ශාඛාවේ ඇතුලේ වැඩ කරන කෙනෙක් එක්ක පොඩි හිතවත්කමක් එහෙම හදාගන්න. සිංහලෙන් කියන්නේ Rapport එකක් කියල. ඒක අනාගතයේ කවදාහරි දවසක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන් ක්ලේම් හැන්ඩ්ල් කරන කෙනා වගේ කෙනෙක්. අනිත් එක ඉන්ෂුවරන්ස් එක දාද්දි ඒ ආයතනයේ තියෙන කොන්දේසි අරව මේවා හැම එකම ලිඛිතව ඉල්ලගන්න. ඒ ලියවිල්ලට කියන්නේ POLICY DOCUMENT කියල. එක නොදී ඉන්න බෑ කිසිම ආයතනයකට. ඊට පස්සේ ගෙදර ගිහින් අකුරක් නෑර කියවල බලන්න තමන්ට දාන්න කලින් කියපුවමද ලියල තියෙන්නේ කියල.
Leave a Reply