90 දශකයේ කොල්ලෝ වුණු අපේ නෙත් සිත් සොරාගත් ඒ හොලිවුඩ් කුමරියන්!

දැන් වෙනකොට අවුරුදු තිහ පැනලා ඉන්න තරුණයෝ පොඩි කොල්ලෝ වෙලා හිටියේ අසූව අනූව දශක වලදිනේ. අසූව කාලේ තමයි ලංකාවට ටෙලිවිෂන් ආවේ. අනූව දශකය වෙනකොට ලංකාවේ ගොඩක් ගෙවල් වල ටෙලිවිෂන් පැලපදියම් වෙලා. ඒ එක්කම ඔය ඩෙක් පීස් දාන්න පුළුවන් VCR එහෙමත් ආපු නිසා අපිට 80 දශකය අග, 90 දශකය වෙනකොට තවදුරටත් හොලිවුඩ් පිචර් එහෙම ආගන්තුක වුනේ නෑ. ඊට පස්සේ 90 අග භාගය වෙනකොට ටෙලිවිෂන් එකේ මියුසික් ටීවී එහෙමත් පෙන්නන්න පටන් ගත්තු නිසා ඉංග්‍රීසි සිංදුත් අපිට ආගන්තුක වුනේ නෑ. හැබැයි මේ මොණරගේ ඉඳලා කථාව කියාගෙන එන්නේ එක විශේෂ දෙයක් කියන්න. ඒ තමයි ඔය කාලේ අපේ හිත් වල සිහින කුමාරියෝ වෙලා හිටපු හොලිවුඩ් තරු! බොලිවුඩ් තරුත් අපේ හිත් වල රජ කළාට, මේ කියන්න යන්නේ අපි හිතින් ප්‍රේම කරපු, පෝස්ටර් එහෙමත් බිත්ති වල ගහගෙන හිටපු හොලිවුඩ් තරු ගැන!

 

1. මොනිකා බෙල්ලුචි

ඉතාලි ජාතික මොඩ්ල් කෙනෙක් සහ නිළියක් වුණු මොනිකා බෙල්ලුචි අනූව මුල ඉඳලම එක එක ෆිල්ම් වල රඟ පාලා තිබුණට අපිට ඒ තරම් නෝට් වෙලා තිබුණෙ නෑ. හැබැයි අපි කොල්ලෝ කාලේ අපිව පිස්සු වට්ටපු එකම එක ෆිල්ම් එකක මොනිකා කරපු රංගනයෙන් මොනිකා අපේ සිහින කුමරිය විදියට හැමදාටම අපේ හිත් වල නවාතැන් ගත්තා. ඒ ෆිල්ම් එක තමයි මෙලීනා! මෙලීනගේ සැමියා දෙවන ලෝක යුද්ධයට ගිහින් මෙලීනා තනියම ජීවත් වෙන්නේ. සරාගී මෙලීනා, ටවුමේ හැම පිරිමියෙක්ගේම ශෘංගාරයේ වස්තුව වුණු අතර, ටවුමේ හැම ගැහැණියකගේම වෛරයේ නිමිත්ත වුණා. හැබැයි රෙනාතෝ කියන එක පොඩි කොල්ලෙක් මෙලීනට පිස්සු වැටීලා ආදරේ කරනවා. රෙනාතෝ දන්නෙත් නෑ ඒක රාගයක්ද ආදරයක්ද කියලා. හැබැයි කථාව යන අතරෙදී අපිට ඒකට උත්තර හම්බුවෙනවා. අපිත් මොහොතකට රෙනාතෝ වෙනවා!

අන්න ඒ නිසා වෙන්න ඇති අදටත් මොනිකා බෙල්ලුචිව දකින කොට අපේ හිත් මෙව්වා වෙලා යන්නේ.

 

2. පැමලා ඇන්ඩර්සන්

අපිට ඒ කාලේ පවුලේ සැමට එකට නැරඹිය හැකි එව්වා වගේම පවුලේ සැම හලලා තනියෙන්ම නරඹන්න වුණු එව්වාත් තිබුණා. ඒ කාලේ වරද්දන්නෙ නැති එහෙම ඇඩම්ස් ඔන්ලි ලේබලෙන් බලපු එකක් තමයි බේවොච්! ඔය ලයිෆ් සේවින්ග් කරන උන්දැලගේ නාටකේ පටන් ගන්නකල් අපි හරි බරි ගැහිලා බලාගෙන හිටියේ හරියට අවුරුදු නැකතට රතිඤ්ඤා දාන්න බලන් ඉන්නව වගේ. ඉතින් බේවොච් පටන් ගත්තට පස්සේ ඔන්න පටන් ගන්නවා ලයිෆ් ගාඩ් සෙට් එක එහෙට මෙහෙට දුවන්න. එතනින් එක විශේෂ කෙනෙක් දුවනවා බලන එක තමයි අපේ පරම සතුට වුනේ. ඒ තමයි සීජේ අක්කි. වෙන විදියකට කියනවා නම් පැමලා ඇන්ඩර්සන්! මේ කාලේ බේ වොච් බලපු උන්දැලා දන්නවා අපි මොකෝ මෙච්චර පැමලා අක්කි බීච් එකේ දුවනවා බලන්න ආස කියලා. කොහොමින් කොහොම වුනත් පැමලා අක්කි අපේ හිත් පුරවපු තරම් සතුටකින් පුරවන්න ඔය පස්සෙ කාලෙක ආපු හල්මිල්ල පිට ලෑලි වලට පුළුවන් වුනේ නෑ!

 

3. කේට් වින්ස්ලෙට්

ටයිටැනික් නැවට රෝස් නැග්ග වෙලාවේ ඉඳලා අපි රෝස්ට වශී වෙලා නෙවෙයිද හිටියේ? රෝස් බඳින්න හිටපු එකත් එක්ක කොහොමත් මලෙන් හිටපු අපේ සෙට් එකට, රෝස්ට කොච්චරවාත් උකුළු මුකුළු පාන ජැක්වත් ඒ තරං ඇල්ලුවෙ නෑ. හැබැයි එහෙමයි කියලා අපි ජැක්ගෙයි රෝස්ගෙයි ලව් එකට බාල්දි පෙරලන්න ගියෙ නෑ. ඒත් ඉතින් අහිංසක විදියට හිනා වෙලා රෝස් අපි දිහා බලනකොට හිතුණෙම ටයිටැනික් නැව වරායට ආවට පස්සේ ගෙවල් වලට කියලා කේට්ට මංගල යෝජනාවක් යවන්න බැරි වෙයිද කියලා තමයි. ඉන් පස්සේ අච්චර අකරතැබ්බයක් වෙලා ජැක්ට බඩු බනිස් වුනාට පස්සෙත් ඉතින් අපේ හිත් වල හිටියේ කේට්ම තමයි. තාමත් ඒ කේට් ඒ විදියටම සුරංගාවි වගේ ඉන්නවා. අපේ හිතෙත් කේට් ඒ විදියටම ඉන්නවා!

 

4. සෙලීන් ඩියෝන්

ටයිටැනික් ෆිල්ම් එකේ මියුසික් වලට ආස වෙලා හිටියා මතකද? ඊට පස්සේ ඒකේ අර “එව්රි නයිට් ඉන් මයි ඩ්‍රීම්ස්” සිංදුව අහලා පිස්සු හැදිලා හිටියා මතකද? ටයිටැනික් ෆිල්ම් එකේ තිබුණු මෙව්වා එකත් එක්ක එකතු වෙලා, අර සිංදුවේ තියෙන ලස්සන වගේම ඒ සිංදුව කියන කටහඬේ තියෙන මධුර මනෝහරත්වය එක්ක අපි වශී වෙලා හිටියේ. ඕන්න ඉන් පස්සේ එක දවසක දැක්කා ඇත්තටම මේ සිංදුව කියන කෙනා. සුන්දර දිගටි මූණක් එක්ක සුන්දර ශරීරයක් තිබුණු එයා සෙලීන් ඩියෝන්. එයා අර අත් දෙපැත්තට කරලා, ගෙදර තියෙන වීදුරු කෝප්පත් දෙදරණ තරමේ තීව්‍රතාවයකින් “Near…Far…Wherever you are…” කියලා කියනකොට අපේ හිත් වලට දැනුනේ එයා ඒ සිංදුව කියන්නේ අපි වෙනුවෙන්ම විතරයි කියලා!

 

5. සල්මා හයෙක්

සල්මා හයෙක් ගේ තියෙන ස්පාඤ්ඤ සුන්දරත්වයට වශී වුණේ එයත් එක්ක එකට වැඩ කරපු නළුවෝ විතරක් නෙවෙයි. අපිත් කට ඇරගෙන බලාගෙන හිටියේ, අර ඩෙස්පරාඩෝ ෆිල්ම් එකේ එහෙම කොට ස්කර්ට් එකකුත් ඇඳගෙන එහාට මෙහාට යනකොට. ඉස්පාඤ්ඤ කිව්වට සල්මා මෙක්සිකන්. නියම දුඹුරු හම තියෙන, ලොකු ඇස් තියෙන සුන්දරියක්. ඉන් පස්සේ අන්තෝනියෝ බන්දේරාස් අයියා සල්මාව එක්ක එව්වා මෙව්වා කරනකොට අපි පොරව කන්න තරහෙන් හිටියේ. අහල පහලක හිටියා නම් බන්දේරාස් අයියව මරන්න හොයපු ඩොන්ට කලින් අපි තමයි උන්දැට වෙඩි තියලා සල්මාව උස්සගෙන එන්නේ, එහේනං!

 

6. ඇන්ජලීනා ජොලි

ඇන්ජලීනා අපේ හිත් වල පදිංචි වුණේ Cyborg, Hackers වගේ ෆිල්ම්ස් ආපු අනූ ගණන් වල මුල් භාගෙම තමයි. ඒ කාලේ ඇන්ජලීනාට තිබුණේ තරුණ ඇට්ටර කෙල්ලෙකුගේ ෆීචර්ස්. හැබැයි අර සරාගී තොල් දෙක නම් ඒ විදියටම ඒ කාලෙත් තිබුණා. ඉතින් අපි ඇන්ජලිනාට පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද? කොහොම හරි කාලේ ගතවෙනකොට ඇන්ජලීනාට බොහොම මුහුකුරා ගියපු, අතිශයින්ම සරාගී පෙනුමක් ලැබුනා. ඒ විතරක්ද, ආයි ඇන්ජලීනාගේ ඇක්ටින්, මානව හිතවාදී වැඩකටයුතු නිසාත් අපේ හිත්වල ඇන්ජලිනාට තිබුණු ආදරේ වැඩිවුණා. බ්‍රැඩ් පිට් එක්ක ඇන්ජලීනා සෙට් වෙලා දෙන්නා බ්‍රැන්ජලීනා කියලා කපල් නම් දාගන්නකොටත් අපි හිතුවා ඇන්ජලීනා මොකට මේ නරියාට කැමති වුනාද කියලා!

 

7. ජෙනිෆර් ලොපේස්

ජෙනිෆර් ලෝපෙස් අනූව දශකයේ චිත්‍රපටි වල අපිට එහෙන් මෙහෙන් දකින්න ලැබුණට, ජේ-ලෝ අක්කියා අපේ හිත් කුල්මත් කරන්න සමත් වුණේ එයාගේ සිංදු වලට ගහපු මියුසික් වීඩියෝ වලින් තමයි. එතනිනුත් එක සිංදුවකට කරපු මියුසික් වීඩියෝ එකක් තියෙනවා අපි පිස්සු වැටුණු. ඒ තමයි Ain’t It Funny සිංදුව. මේ සිංදුවේදී ජේ-ලෝ යන්නේ ජිප්සි කෑම්ප් එකකට. ඔන්න එතන ඉන්න ජිප්සි කෙල්ලෝ ටික ජේ-ලෝව ඇදගෙන ගිහිල්ලා එයාවත් ජිප්සි කෙල්ලෙක් විදියටම අන්දලා ගන්නවා. ආන්න සහෝදරවරුනි අපේ හදවත් නතර වෙන තැන. අපේ සංදේශ කාව්‍ය වල කිව්ව විදියටම ‘ඉඟ සුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රිය සක යුරු තිසර තන’ ටයිප් කෙල්ලෙක් වෙච්ච ජේ-ලෝ ජිප්සි කෙල්ලෝ අඳින විදියේ නැබෙන් අඟල් ගාණක් පහළට ස්කර්ට් එකකුයි, යන්තම් තිසර තන වැහෙන හැට්ටෙකුයි ඇඳලා ඉන්නකොට කොහොමද අපි වශී නොවී ඉන්නේ!!

හැබැයි අපි ඔය වීඩියෝ එකේ ඩිරෙක්ටර් වුනා නං, අනිවාර්‍යයෙන්ම අර ජේ-ලෝ එක්ක නටන්න ඇවිත් සෙට් වෙන උස ජිප්සි කොල්ලව අස් කරලම දානවා! 

 

8. සැන්ඩ්‍රා බුලොක්

සැන්ඩ්‍රා අක්කිව අපි එහෙන් මෙහෙන් දැකලා තිබුණත්, හරියටම අපේ හිතට වැදුනේ අර Speed ෆිල්ම් එකෙන් තමයි. ඒකේ බස් එකේ බෝම්බයක් සෙට් කරලා. බස් එක පැයට කිලෝමීටර් පණහට වඩා වේගේ අඩු වුණොත් බෝම්බේ පුපුරනවා. බස් එක එලවන්න වෙන්නෙත් අන්තිමට සැන්ඩ්‍රා අක්කිට. සැන්ඩ්‍රා අක්කි කොට ස්කර්ට් එකකුත් ඇඳගෙන බස් එක හැටට හැටේ එලවනවා එලවිල්ලක්, සයිඩ් කණ්ණාඩි කැලේ! ඉතින් ඔය සැන්ඩ්‍රා අක්කිගේ වීර වික්‍රමාන්විත නිර්භීත කමටයි, අර පුම්බගත්තු මූණේ වුනත්, හිනා මූණේ වුනත් එක වගේ තියෙන කියුට් කමටයි වැටිලා හිටියේ බස් එකේ හිටපු පොලිස් ඩයල් එක වුණු කීනු රීව්ස් විතරක් නෙවෙයි. අපිත් වැටුණා බ්‍රෝ, අපිත් වැටුණා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *