කොළඹ බත්තරමුල්ල මෙ​ට්‍රෝ එකෙන් පස්සේ අපිට ට්‍රැෆික් නැතිවෙයිද?

කොළඹ නගරයේ සීමාව තුල වාහන වල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 12-17ක් බව සොයාගෙන තිබේ. එනම් කොළඹ නගරය තුල ධාවනය වන මොන්ටේරෝ, අවුඩි, බී එම් ඩබ් ආදී නවීන රථවාහන කෙතෙක් තිබුනත් ඔවුන්ට යාමට සිදුව ඇත්තේ බයිසිකල් එකක් ධාවනය වන තරම් ඉතා අඩු වේගයකිනි. මෙය අද ඊයේ සිට කොළඹ මුහු​ණ දෙන ගැටළුවක් ​නොවන අතර මෙය ලොව කො​ළඹ නගරය පමණක් මුහු​ණ දෙන ගැටළුවක්ද නොවේ. කොළඹ ට්‍රැෆික් අප දන්නා කාලේ සිට මෙහෙමය. එය විස​ඳන්නට කතාබහද දන්නා කාලයක සිට සිදු කෙරෙයි.

 

1. කෝට්ටේ යෑමේ ගැටලුව 

කොළඹ කොටුවේ සිට කෝට්ටේට 1505 දී පෘතුගිසින්ට යන්නට උවමනා විය. එහිදී වටේ පාරකින් පෘතුගීසි එක්කරාන ගිය නිසා ඔවුන්ට කෝට්ටේ යෑමට මහ විසාල කාලයක් ගත විය. අද කොටුවේ සිට කෝට්ටේ කරා යන අයෙක්ටද ඒ ස​ඳහා පැයක දෙකක කාලයක් ගත වේ. කොළඹ කොටුව වාණිජමය කටයුතු අතින් මුල් තැන ගනී.  ආගමන විගමන දෙපාර්​තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්​තමේන්තුව, සෙත්සිරිපාය ඇතුලු රාජ්‍ය කාර්යාල කිහිපයක් කෝට්ටේ බත්තරමුල්ල දිහාවේ පිහිටා ඇත. එහෙත් පිටකොටුවේ සිට කෝට්ටේ යෑමට පැය ගා​ණක් ගත වීම කලක සිට ගැටළුවක් විය. මේ ස​ඳහා අලුත් මෙට්‍රො දුම්රිය සේවාවක් හඳුන්වා දී ඇත. 

 

පෙට්ටි හතරකින් සමන්විත මේ නව මෙට්‍රො දුම්රිය හරහා වරකට මගීන් අටසීයක්ද විනාඩි තුනකට වරක් එක් දුම්රියක්ද බැගින් ගමනේ යෙදවිය හැකිය. මේ සීමාවන් ඉදිරියේදි තවත් නවීකරණය ක​ළ හැකි යැයි පැවසේ. ඒ ව්‍යාපෘතිය ස​ඳහා දැනට ජපානය එකගතාවය පල කර ඇති අතර සහනදායී ණය වැඩපිලිවෙලක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙ​ය ඉදිවූ පසු බත්තරමුල්ල සහ කොටුව අතර ප්‍රවාහන පහසුකම් වේගවත් වේ යැයි අපේක්ෂා කෙරේ… 

 

2. අලුත් ලයිට් රේල් එකේ විස්තර 

මෙම මෙට්‍රො දුම්රිය සේවාවේම තවත් ව්‍යාපෘති කිහිපයක් තිබෙන අතර ඒවා ද ඉදිවීමට නියමිත ලැයිස්තුවේ තිබේ. එහෙත් දැනට වැඩ පටන් අරන් ඇත්තේ කොටුව බත්තරමුල්ල දක්වා වූ කොටස පමණි. ඉතිරි ඒවා අනා​ගතයේදී ඉදිකිරීමට නියමිතය. මේ සැහැල්ලු දුම්රිය සේවාව විදුලියෙන් ප​ණගැන්වෙන අතර පරිසරයට ඩීසල් දුම්රිය තරම් හානියක් නැත. මේ මාර්ග සියල්ලම පාහේ පොළව​ට ඉහළ මට්ටමකින් ධාවනය වේ. උමං ඉදිකිරීමට වඩා ඉහළින් දුම්රිය යැවීම වඩාත් ලා​භදායීය. පො​ළවේ ඉදිකරනු ලබන කණු මත කොන්ක්‍රීට් වලින් නව මාර්ගය ඉදිකරයි. ඉන් පසු ඒ උඩින් පීලි එලා පීලි මතින් දුම්රිය ගමන් කරයි. දැනට මෙම ක්‍රමය බොහෝ රටවල නාගරික දුම්රිය සේවාවන් සදහා පාවිච්චි වේ. 

 

3. කොයි කාලේ වගේ හරියයිද? 

කටුනායකට අධිවේගී මාර්ගයක් සැලසුම් කර දශක ග​ණනාවක් ගත විය. ඒ මුලින් සැලසුම ක​ළ අධිවේගී මාර්ගයේ පාලමක් පෑලියගොඩ දී නව මාර්ගයටද යොදා ගන්නා ලදී. එනම් ලංකාවේ තිබෙන තත්ත්වය අනුව ඇතැම් ව්‍යාපෘති නිමවීම​ට සිතනවාට වඩා කාලයක් ගත වේ. දැනට සැලසුම් කොට ඇති බත්තරමුල්ල කොටුව මාර්ගය ස​ඳහා ඉඩම් අත්පත්කර ගැනීම් ආදිය සිදුවුවද අනෙක් මාර්ග ගැන තවමත් අවධානයක් යොමු වී නැත. 

 

4. කොළඹ නගරයේ නිදහසේ යන්න ලැබෙන්නේ කවදාද?

මේ මෙට්‍රො දුම්රිය පද්ධතියේ බත්තරමුල්ල කොටුව කොටස තැනුනත් අනෙක් මාර්ග වන හයිලෙවල් පාර, මීගමු නුවර පාර, බේස්ලයින් පාර, ලෝලෙවල් පාර, ගාලු පාර ආදිය පෙර පරිදිම ට්‍රැෆික් පවතිනු ඇත. එනම් සිතන පරිදි නව ලයිට් රේල් මග ඉදිවුවහොත් කෝට්ටේ පාරේ ට්‍රැෆික් අඩු විය හැකි මුත් ඉතිරි කොටස් වලට පෙර තත්ත්වයේ ම වසර ග​ණනාවක් බලා සිටීමට සිදු වනු ඇත. මෙම ව්‍යාපෘතිය මේ යන වේගයෙන්ම ගියහොත් වසර 2035 වන විට කොළඹ ට්‍රැෆික් වෙනුවට විකල්පයක් විය හැකිය. එහෙත් 2018 අවසානයේදී හදිසි ආණ්ඩු මාරුව සමග මේ ව්‍යාපෘතිය වසරකට ආසන්න කාලයකින් කල්ගියේය. ඒ ආකාරයට රජයන් ඇමතිවරුන් මාරු වන විට ව්‍යාපෘති වේගය ගැන ලංකාව වැනි රටකදී විශ්වාසය තැබීම අපහසුය. 

 

5. දුම්රිය සේවාව 

වර්​ෂයකට වරක් දුම්රිය වර්ජනයක් නොතිබුන කාලයක් අපිට මතක නැත. දුම්රිය වර්ජන යනු එතරම්ම සුලබ දෙයක් බවට පත් ව තිබේ. අපේ දුම්රිය සේවාව වේගවත් කිරීම, පහසුකම් වැඩි කිරීම පසෙක තැබුවත් දුම්රිය සේවාව තිබෙන පරිදි පවත්වාගෙන යන්නටද අපේ පාලකයෝ අසමත් වී සිටිති. මානව සම්පත් කළමනාකර​ණ දුර්වලතා සෑම කාලයකම තිබෙන දුම්රිය සේවාවේ යූනියන් පමණක් පනහකට වැඩි ග​ණනක් තිබේ. සේවාවක් ලෙස දුම්රිය වැඩිදියුණු කිරීමට රටින් එන්ජින් මැදිරි ගෙන්වීමට මිලියන ග​ණන් වියදම් ක​ළද අපේ පාලකයෝ දුම්රිය සේවාවේ සේවක ප්‍රශ්​න විසදීමට අපොහොසත්ව තිබේ. 

 

6. දුම්රියේ තත්ත්වය 

අපේ රටේ මගී දුම්රිය වායුසමන කොට නැත. එහි තෙරපීගෙන එන ජනයාට  උණුසුමෙන් මහත් පීඩා සිදුවේ. දැනට තිබෙන සිග්නල් සහ මාර්ග තත්ත්වයන් අනුව මගී ජනතාවට අවශ්‍ය තරම් දුම්රිය ධාවනය කිරීමට අපහසු වී තිබේ. එම නිසා මගීන් උදේ හවස යන කාර්යාල දුම්රිය වල පාපුවරුවේ ගමන් කිරීම සුලබ දසුනක් වී තිබේ. දැනට කොළඹ ගාලුපාර, ගම්පහ දෙසට සහ මීගමුව දෙසට මෙන්ම කොළඹ ජනාකීර්ණම මහරගම නුගේගොඩ හරහාද දුම්රිය මාර්ග තිබේ. ඊට අමතරව කො​ළොන්නාව සහ තොටළග ප්‍රදේශවල​ට යන වරාය දුම්රිය මාර්ගයක්ද තිබේ. මේවායේ ධාරිතාව වැඩිකොට මගීන්ට පහසුකම් සලසන්නේ නම් ඉතා ඉක්මනින්ම පාරේ රස්තියාදු වන ජනතාවගෙන් කොටසක් දුම්රිය කරා ඇදෙනු ඇත. 

 

7. ඔරු පාරු බෝට්ටු විකල්ප 

කැළණි ග​ඟ දිගේ බෝට්ටු සේවාවක් ​තවමත් නැත. එහෙත් කැළණි ග​ඟට හමුවන කඩුවෙල තොටළ​ඟ, පෑලියගොඩ ආදී කලාපයන් රථවාහන තදබද වැඩිම කලාප වෙති. තායිලන්තයේ බැ​ංකොක් හි චායෝ ප්‍රායා නදියේ නිතර මගී බෝට්ටු එහා මෙහා යති. ගංවතුර ගලන සැඩපහර වැඩිම දවස් කිහිපයක් අවුරුද්දකට වරක් දෙකක් පැමිණිය හැකි මුත් අනෙක් සෑම කාලයකටම ග​ඟ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාවිච්චි ක​ළ හැකිය. තායිලන්තයේ ඇල මාර්ග වලද බෝට්ටු ධාවනය වේ. ලන්දේසින් විසින් ඉදික​ළ තවමත් භාවිතා ක​ළ හැකි මට්ටටමේ ඇලමාර්ග කොළඹට තිබුනත් ඒවායේ බෝට්ටු දැමීම පුවත්පත් ලිපි වලටපමණක් සීමා වී තිබේ. 

 

8. සැප බස් සේවාවන් 

අපේ බස් සේවාව නවීකරණය වන බවක් මෑතකදී ඇසේ. එහෙත් ඒ ගෙන්වන නව බස් දුරගමන් ස​ඳහා සුදුසු උසැති බස්ය. කොළඹ නගරය තුල ධාවනයට සැපපහසු වායුසමනය ක​ළ බස් රිය කිහිපයක් ගමනාගමන මණ්ඩලය මගින් යෙදවුවත් ඒවා කිහිපයකට පමණක් සීමා විය. සාමාන්‍ය තිබෙන ලොරි චැසි ඉන්දීය බස් වෙනුවට කොළඹ නගරය තුල ජනප්‍රියම මාර්ග වන 138,100,101,154 ආදී මාර්ගවලට සැප පහසු වායුසමනය ක​ළ නාගරික බස සේවාවක් එකතු වන්නේ නම් එය මගීන්ට පහසුවකි. එවිට නාගරික මධ්‍ය​ම පාන්තිකයින්ට ටැක්සි හෝ තමුන්ගේ වාහන නැතිව එම බස් සේවාවන් භාවිතා ක​ළ හැකිය. 

 

9. තාක්ෂණය භාවිතය 

කොළඹට වැඩිපුරම මගීන් එන මාර්ග, ඔවුන් එන කාරණා, වැඩිපුරම යොදාගන්නා මාධ්‍ය ආදිය අද වනවිට පරිගණක පද්ධති මගින් හොඳින් අධ්‍යනය ක​ළ හැකිය.  අනාගත නාගරික සැලසුම් වලදීද ප්‍රවාහන ගැටුම් අවම වන පරිදි නගරය සැලසුම් කිරීමද බලධාරීන්ගේ වගකීමකි. ලංකාවේ මගීන්ට අවශ්‍ය විස්තර මෑතකදී ගූගල් ට්‍රාන්සිට් හරහා වැඩිදියුණු කිරීමටද කටයුතු යෙදුනි. ඒ තොරතුරුද රජයේ ඉදිරි මගී ප්‍රවාහන සැලසුම් ස​ඳහා සාර්​ථකව පාවිච්චි ක​ළ හැකිය. 

 

පසුගිය වසරේ රාජගිරියේ ගුවන් පාලමක් රජය මගින් ඉදික​ළේ රාජගිරියේ ට්‍රැෆික් අඩු කිරීමටය. එහෙත් එයින් වුණු වැඩි සෙතක් නැත. ඉදිරියේදී එක් මෙට්‍රො දුම්රිය මාර්ගයක් පමණක් කෝට්ටේට ඉදි කිරීමෙන් පමණක් කොළඹ කැරකෙන මගී ජනතාවට ලොකු සෙතක් වන්නේ නැත. එයද තවත් එක රාජගිරියේ ගුවන් පාලමක් වෙයිදැයි ජනයාට ඇත්තේ සැකයකි. අලුතින් මෙට්‍රො දුම්රිය ඉදිකිරීම ක​ළ යුතුම වැඩකි. තිබෙන මගී ප්‍රවාහන මාධ්‍යය වන බස් සහ දුම්රිය සේවා නවීකරණය විය යුතුය. හැකිනම් බෝට්ටු සහ පාරු වැනි සේවාවන් ගැනද ප්‍රායෝගිකව සොයා බැලිය යුතුය. එසේ නොමැතිව එක් ව්‍යාපෘතියක එක් ​කොටසක් කෙරේ පමණක් විශ්වාසය තැබීමෙන් කොළඹ ට්‍රැෆික් නැතිකිරීම යනු දේශපාලකයින් ර​ඟදක්වා අපිට පෙන්වන තවත් එක  සිහිනයක් පමණක් වනු ඇත. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *