දන්න සිංහලෙන් කියනවනම් මේ කියන්නෙ Suspense Thriller චිත්‍රපටි ගැනයි. මුල සිට අගට යනකන් ඔයාව පුටුවට අලවලා, ඇස් දෙක චිත්‍රපටයෙන් අහකට ගන්න ඉඩ දෙන්නේ නැති වර්ගේ එව්වා ටිකක්. මේ හැම එකක්ම දමිළ චිත්‍රපටි තමයි. දමිළ වුණාට ඉතින් හොලිවුඩ් සිනමාවට වුණත් අභියෝග කරන මට්ටමේ කුතුහලාත්මක චිත්‍රපට සෙට් එකක් තමයි මේ. මේ ලැයිස්තුවට ඇතුළත් වෙලා නැති, ඔයා බලපු හොඳම දමිළ Suspense Thriller චිත්‍රපට ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා.
1. Ratsasan (2018)
රාක්ෂයා කියන තේරුමෙන් තමයි චිත්‍රපටයේ නම සෙට්වෙලා තියෙන්නෙ. මෑත කාලයේ දමිළ සිනමාවේ බිහිවෙච්ච සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක ආයෙ දෙකක් නෑ. ඉන්දියානු චිත්‍රපටවල මෙතෙක් නොදුටු විදිහේ අමුතු සීරියල් කිලර් කෙනෙක් පසු පස්සේ හඹායන පොලිස් නිලධාරියෙක් වටා තමයි මේ කතාව හැදෙන්නෙ. මේ පොලිස් නිලධාරියත් දන්න කාලේ ඉඳන් සීරියල් කිලර්ස්ලා ගැන හොඳ අධ්‍යයනයකින් හිටපු කෙනෙක් නිසා දෙන්නා අතරේ සෙල්ලම බොහොම උණුසුම් වෙනවා. අවසානය වෙනකන් මොකකින් මොකක් වෙයිද කියලා නියපොතු හප හප ඉන්න වෙන චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ.
2. Dhuruvangal Pathinaaru (2016)
ට්විස්ට් පිට ට්විස්ට් පිරුණු මිනීමැරුම් අභිරහසක් රැගත් චිත්‍රපටයක්. මේකෙ තිර පිටපත ලියලා අධ්‍යක්ෂණය කරපු කාර්තික් නරේන්ට චිත්‍රපටය එළිදක්වද්දි වයස අවුරුදු 21යි. හැබැයි කිසිම ආධුනික බවක් ගෑවෙන්නෙවත් නැතිව චිත්‍රපටය හදල ඉවර කරන්න නරේන් සමත් වෙලා තියනවා. අවුරුදු ගණනාවකට උඩදි සිද්ධ වෙච්ච නොවිසඳුණු මිනී මැරුමක් ගැන විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් සහ තරුණයෙක් කරන කතාබහක් සමගින් තමයි මේ කුතුහලාත්මක චිත්‍රපටය ඇදී යන්නේ. අන්තිමට හිතන්නෙවත් නැති විදිහේ අවසානයක් එක්ක මේ චිත්‍රපටය ඔයාව කරකවලා අත අරීවි.
3. Thadam (2018)
මේ අවුරුද්දෙ උණු උණුවෙන් ආපු සුපිරි චිත්‍රපටයක් තමයි මේ. පටන් ගත්ත වෙලේ පටන් ඔයාව අවුල් ජාලයකින් අවුල් ජාලයකට ඇදල දාන්න තරම් කුතුහලය සහ අභිරහස් මිශ්‍ර වෙච්ච කතාවක් මේක. මෙහෙම හිතන්නකො, ඔන්න මීනී මැරුමක් සිද්ධ වෙනවා. ඒ මිනීමැරුම කරන කෙනාව අහම්බෙන් තව කෙනෙක්ගෙ ඡායාරූපයකට අහුවෙනවා. ඒ ඔස්සේ යන පොලීසිය ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. හැබැයි වැඩේ කියන්නෙ මෙයා වගේ තව කෙනෙකුත් ඉන්නවා. මේ දෙන්නම කියන්නෙ තමන් නෙමෙයි මිනී මැරුවේ කියලයි.
මේ කියපු දේවල් වලට වඩා තවත් පටලැවිලි ගොඩක් තියනවා මේ ෆිල්ම් එකේ. ඒ නිසා නොවරදවා බලන්න.
4. Thupparivaalan (2017)
දමිළ අධ්‍යක්ෂක මිස්කින්ගේ චිත්‍රපටි හැම එකක්ම වගේ බොහොම අඳුරු තේමාවල් තියන කුතුහලාත්මක චිත්‍රපට තමයි. ඒ අතරින් කුතුහලය උපරිමයෙන් තියෙන චිත්‍රපට දෙකක් හැටියට අපිට දක්වන්න පුළුවන් ‘yutham sei’ සහ ‘Onaayum Aattukkuttiyum’ කියන චිත්‍රපට දෙක. ඒ වුණත් අපි මේ ලිපියෙන් කතා කරන්නෙ බොහොම මෑත කාලයේ දමිළ චිත්‍රපට නිසා අපි තෝරාගත්තෙ ඔහුගේ තුප්පරිවාලන් චිත්‍රපටය. මේක ටිකක් ෂර්ලොක් හෝම්ස් සිහිගන්වන විදිහේ රහස් පරීක්ෂක කතාවක්. පොඩි ළමයෙක් තමන්ගේ සුරතල් බලු පැටියාව මරල දාපු මිනීමරුවාව හොයන්න අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රහස් පරීක්ෂකයට භාර දෙනවා. මේ අභිරහස් ඔස්සේ ගිහින් ඔහු නවතින්නේ අපි හිතන්නේවත් නැති තරම් තවත් අපරාධ ගොන්නක. කතාව වෙලාවකට බලන් ඉන්න අපිටත් වෙහෙසක් දැනෙන තරමටම පැටලීගෙන යනවා. හැබැයි පැටලුම් ලිහීගෙන එද්දී නියම ත්‍රිල් එකක් මතු කරන්න මිස්කින් සමත් වෙනවා.
5. Imaikkaa Nodigal (2018)
නයනතරා ප්‍රධාන චරිත රංගනයේ යෙදෙන මේ චිත්‍රපටයේ තවත් සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සුප්‍රකට බොලිවුඩ් අධ්‍යක්ෂක අනුරාග් කාශ්‍යප්. කාශ්‍යප් තමන්ගෙ රංගන හැකියාවත් උපරිමයට විදහා දක්වනව මේ චිත්රපටේදි. සීරියල් කිලර් කෙනෙක්ව හඹායන කාන්තා පොලිස් නිලධාරිනියක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ දරුවන්ව පැහැරගෙන මරා දාන මේ සීරියල් කිලර් පිටුපස පොලිස් නිලධාරිනිය හඹායද්දී හිතපු නැති විදිහේ ට්විස්ට් ටිකකුත් කතාව ඇතුළේ සිද්ධ වෙනවා. ඒ මොනවාද කියලා චිත්‍රපටය බලලාම දැනගන්න…
6. Puriyaadha Pudhir (2017)
ජනතාවගේ නළුවා විජේ සේදුපති රඟපාන මේ චිත්‍රපටයට ඒ තරම් රේටින්ග් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වුණත් හොඳ බ්ලැක්මේල් කතාවක් සහිත අවසානය වෙනකන් ප්‍රහේලිකා විසඳන්න අපිව යොමු කරන චිත්‍රපටයක්. ආදරයෙන් බැඳෙන පෙම් යුවලකගේ ආදර කතාවට නොසිතූ විදිහේ හෙණ ගෙඩියක් කඩා පාත් වෙන්නේ පෙම්වතියට හොරෙන් ඇයව වීඩියෝ කරන පුද්ගලයෙක්ගෙන් එන තර්ජනයක් නිසා. සැරින් සැරේ ඇගේ පෞද්ගලික ජීවිතය වීඩියෝ කරමින් එවන මේ පුද්ගලයාව හොයාගන්න එක හිතන්න බැරි තරම් අමාරු කාර්යයක් වෙනවා. කවුද මේ වැඩේ කරන්නෙ? සමහරවිට අවසානෙදි ප්‍රහේලිකාව ලිහා දැමෙනකම් ඔබට ඒ ගැන හිතෙන එකක් නෑ.
7. Lens (2015)
වැඩි දෙනෙක් මේ චිත්‍රපටය බලලා නැතුව ඇති. ඒ වුණත් ඉතාම කුතුහලය මුසු කතාවක් සහිත මේ චිත්‍රපටය ඔබ නැරඹිය යුතුමයි. කතාවෙ එක ප්‍රධාන චරිතයක් වෙන්නේ අන්තර්ජාලය හරහා ලිංගික සතුට සොයායන අර්වින්ද් කියන හාදයා. අන්තර්ජාලයෙන් කාන්තා ඇසුරක් හොයමින් ඉන්න අවස්ථාවකදී අර්වින්ද්ව වැටෙන්නේ අමුතුම උගුලක. වෙබ් කැම් එකක් හරහා ඔහුත් එක්ක සම්බන්ධ වෙන අද්භූත පුද්ගලයෙක් අර්වින්ද්ට කියනවා තමන් සියදිවි නසාගන්නවා බලන් ඉන්න කියලා. ඒකට බැහැයි කියන්න බැරි වෙන්න කටයුතුත් ඒ පුද්ගලයා විසින් සලස්සලයි තියෙන්නේ… ඇයි මේ විදිහේ ඉල්ලීමක් ඔහු ඉල්ලන්නේ? මොකක්ද ඔහුගේ අරමුණ?
Leave a Reply