පොඩි කාලේ වැරදියට දැකපු සිරා සිද්ධි

පොඩි උන්ගේ හිත් හරි මෙලෙකයි. ඕනි දෙයක් වෙන්න පුළුවන් මේ විදියටයි කියලා එහෙම හිතුණොත් හිතුණා ම තමයි. එහෙම සිතීමේ නිදහස උපරිමේට ම තිබුණ නිසා වෙන්න ඕනි පොඩි කාලේ අපි මිනිස්සු විදියට පට්ට නිර්මාණශීලි වෙන්නේ. ඒකට හරියන්න වයසට යද්දී මහා දියාරු මිනිස්සු ටිකක් වෙන්නෙත් ඒ නිසා ම වෙන්නත් ඇති. අපි ඉතින් ඒ කාලේ සමහර සිදුවීම්වලට දුන්න අර්ථ දැක්වීම් රුසියානු කතන්දරවලවත් තිබ්බේ නැති ඒවා. විද්‍යාවත් අද තිබිලා හෙට වෙනස් වෙන එකේ මෙහෙම කතාවක් තිබ්බත් මොකෝ.


1. හඳ අපේ පස්සෙන් එනවෝ… ගහ කොළ පස්සට යනවෝ


වාහනේක ගමනක් යද්දී ඒ දවස්වල ගත්ත සුපිරිම ආතල් එකක් තමයි මේක. පාරේ ඉන්න බල්ලා, පූසා, මිනිස්සු, ගස්, ගෙවල් ඔක්කෝ ම පහුකරගෙන අපි ඉස්සරහට යනවා. ඒ අස්සේ හඳ පස්සෙන් එනවා. මේවා ඇස් දෙකට දැකලා ඒ දැකපු දේ වින්දා මිසක් දැනුම මේ දේවලට බාධකයක් කරගත්තේ නෑ ඉතින්. ඊට පස්සේ සාපේක්ෂ චලිතය වගේ පාඩම් ඉගෙනගන්න වුණානේ. ඊට පස්සේ ඒ වෙනකන් දැකපු සුපිරි දර්ශනේ පට්ට බොරුවක් බවට පත් වෙනවා. හඳ නැතුව පාරේ දකින අනික්වා පස්සට යනවා අපි දකින්නේ ඒ හැමකක් ම එක ම ඒකකයක් විදියට ඇත්තට ම පස්සට යන නිසා. නමුත් හඳ ඒ දේවලට වඩා අපිට බොහෝ දුරකින් තමයි තියෙන්නේ. ඒ දුරයි අපේ ඇසට ආලෝකය එන දිශාවයි වෙනස් වෙන්නේ නැති නිසා අපිට හඳත් අපිත් එක්ක ම යනවා වගේ පේනවා. ඒ පැහැදිලි කිරීමට වඩා අපි පොඩි කාලේ ඉඳන් දන්න කතාව තමයි රහ.



2. ළමයි ඉපදෙන හැටි


රස කතා ගොඩයි. සමහරු හිතුවා රෝස කැලේකින් ආවා කියලා. තවත් අය හිතුවා පියුම් මාමා ලියුම් බෙදනවා වගේ කොක්කු රෑනක් අපි ව ගෙයින් ගෙට ගෙනත් ඇරලුවා කියලා. තව ටිකක් බහ තෝරනකොට දෙන්නෙක් බදාගෙන හිටිය ම ළමයි ලැබෙනවා කියලා හිතාගත්තා. පස්සෙන් පහු එක පාරට මේ දේවල් ඔලුගෙඩිවලට ආපු නිසා අන්තිමේ ජීවිතයක උපත කුණුහරුපයක් දක්වා වර්ධනය වුණා. ඒක නම් ඉතින් ලිංගික අධ්‍යාපනයක් නැති රටක ඉපදීමේ ඛේදාන්තය. ප්‍රජනන සෛල සංසේචනය වෙලා යුක්තානුවක් හැදෙනවා ය. ඒ යුක්තානුව වෙනස්කම්වලට භාජනය වෙලා ජීවියා හැදෙනවා ය. සමහරුන්ගේ ඔය මොකක්වත් වෙන්නේ නැති ය. වාක්‍ය දෙකකින් කියවපු එක සෑහෙන පරිස්සම් වැඩක් ය කියන දේට හිනා වෙනවා නම් ඊට වඩා අර පරණ කතාවක් හිතාගන්න එක හොඳයි.



3. ඒ ඒ එළදෙනගෙන් ඒ ඒ පාට කිරි


කිරි පැකට් අතීතෙක ගිලුණු ජාතියක් විදියට, එව් කිව්වේ ඩේලි පොඩි පැකට් එක එහෙම ජාතික පානය විදියට ඒ දවස්වල ඉඳන් ම සලකපු උදවිය දන්නවා ඇති නොවැ නා නා ප්‍රකාර රසයන් තිබුණ බව. ඇයි වදේ ඒක අමතක නම් කල්කිරි වුණත් වැනිලා කියයි චොකලට් කියයි. ඉතින් චොකලට් කිරි දුඹුරු පාට එළදෙනුන්ගෙන් එන බවත් වැනිලා කිරි සුදු පාට එළදෙනුන්ගෙන් එන බවත් විශ්වාස කරලා තිබ්බා. හැබැයි ඒ කියන්නේ එතකොට අනික් පාටවල එළදෙනුන්ගෙන් කිරි දොවන්නේ නැති බව වෙන්න ඕනි. මොකද අපි කලු පාට කිරි දැකලා තිබ්බේ නෑනේ. පස්සෙන් පහු තමයි මේ චොකලට් සිරප් නැත්නම් පවුඩර් එක දාලා පාට කතන්දරේ කරනවා කියලා දැනගත්තේ.



4. අතීතය කියන්නේ කලු සුදු ලෝකයකි


පරණ චිත්‍රපටි තියෙන්නෙත් සුදුවට නම් කලුවට නම්, ඒ කාලේ පත්තර කෑල්ලක් පොටෝ කෑල්ලක් ගත්තත් තිබ්බේ ඒ පාට දෙක විතර ම නම් ඉතින් අතීතය කියන්නේ ඒ පාට දෙක විතරක් තිබුණ කාලයක් වෙන්න ඕනි. ඒ වුණාට ඉතිහාසය කියන විදියට පාට පාටින් විනෝදය සපයන එක මහන්සිය වගේ ම මුදල් කියන දේවල් අතින් නොවැදගත් දෙයක් විදියට සලකලා තියනවා. තාක්ෂණය නැතිකම කියලා ලඝු කරන්න ඇත්තට ම බැරි වර්ණ තාක්ෂණය ඒ කාලේ ඉඳන් ම තිබුණ බවට දැන් හොයාගෙන තියන නිසා. ඉස්සර මිනිස්සුන්ට මහා ලොකු ආටෝප තිබුණේ නැති එකත් හේතු වෙන්න ඇති.



5. හදවතේ හැඩය


හදවත කියලා ඉන්ද්‍රියක් අපේ ඇඟේ තියෙනවා. ඒකෙන් මොකක් කරනවද කියන්න දන්නෙත් නෑ හරියකට. හැබැයි හැඩේ නම් මෙන්න මේ <3 වගෙයි කියලා හිතුවා. අනේ ඊට පස්සේ තාක්ෂණික යුගෙත් එක්ක ❤️ ආවා. මේ සිද්ධි දෙක අතරමැද වුණත් හදවත කියන එකට අපි හදාගත්ත රූපයක් දීලයි තිබ්බේ. දවසක් දා නැණස පාදන්න හිතාගෙන විද්‍යාව ටීචර් පන්තියට උස්සගෙන ආවේ නැතෑ හදවතක ආකෘතියක්. ඒකේ ඇති තරම් ලස්සනක් නෑ මාර ම අජූවයි. කුටීර හතරක් තියෙනවා. ස්නායු තියනවා. මුලු සිරුරට ම රුධිරය පොම්ප කරනවා. අනේ ඒත් ඉතින් ඇත්ත ස්වාභාවය තමයි නොහිතපු ම දේ වුණේ.



6. පළතුරු ඇට ගිලුණොත් ගහක් වෙන්න වෙනවා


මොකක් හරි පළතුරක් කාලා වැරදීමකින් ඇටයක් ගිලුණොත් විශ්වාස කරේ ඒක පැලවෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා. නිකන් ම නෙවෙයි නාස් කුහරවලිනුත් අතු මතු වෙලා යන්න. පස්සේ මිනිස් සිරුරේ ජීර්ණ ක්‍රියාවලිය ගැන යම් අවබෝධයක් ලබාගන්නවා. අන්න එදා ඉඳන් ඇට පිටින් තමයි කන්නේ.


7. ලොකු වෙන්න වෙන්න ප්‍රශ්න අඩුයි


හිතවතුනි, මේ වැදගත් ම එක. පොඩි කාලේ විශ්වාස කරපු බරපතල මායාව තමයි මේ. වයසින් වැඩෙන්න වැඩෙන්න ප්‍රශ්න වැඩියි. ආපහු හැරෙන්න පුළුවන් නම් පොඩි කාලෙට අපි යන්නේ මේම මේම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *