2019 ලෝක කුසලානය කියන තරම් චොර ද? එහෙම නොවෙන්න මේ ටිකම ඇති

ටොස් එක දින්නට පස්සේ බැට් කරන්න නෙවෙයි බෝට්ටු පදින්න හිතෙන විදියේ කාලගුණ විපරියාස, හරිහමන් විදියට ග්‍රවුන්ඩ් එකක් වැස්ස වෙලාවක වහගන්න බැරි සුදු මහතුන්ගේ වැඩ වගේ ම සුවහසක් ඉත්තෑවන්ට දුන්නු වේදනාව නිසා ම මේ පාර ක්‍රිකට් ලෝක කුසලානය මෙලෝ රහක් නෑ කියලා හිතෙනවා. හැබැයි මේ අවුරුද්දේ කුසලානේ අස්සේ වෙච්ච සමහර දේවල් කිසිදු ලෝක කුසලානයක නොවුණ තරමේ විශිෂ්ට දේවල් වුණා. මේ එහෙම අවස්ථා කීපයක්.



1. මාලිංගගේ නික්ම යෑමේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රතිචාරය


ලසිත් මාලිංග කියන්නේ අපේ රටේ ලොකු ලොකු තානාන්තර දරන අයට අගයක් නැති කෙනෙක් වුණාට මුළු ලෝකයක් ආදරය කරන වටිනා පුද්ගලයෙක්. ඉන්දියාවයි ලංකාවයි අතර තිබුණ තරඟයෙන් ලංකාව පරාජය වුණ නිසා ඒක මාලිංග ලෝක කුසලානයක අවසන් වරට තරඟ කරපු තරඟය කියලා තීන්දු වුණා. මේ මොහොතේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ඉතා ගෞරව සම්ප්‍රයුක්ත සමුගැනීමක් ඔහුට දීම කැපී පෙනුණා. ග්‍රවුන්ඩ් එකේ දී තමන්ගේ ම කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට තරම් ආදරයක් පෙන්නුවා වගේ ම ඒ පිටත සෝෂල් මීඩියාවලත් ඒ ආදරේ වෑහුණා. බුම්රා ඉන්ස්ටා දාපු පොටෝ එකක කැප්ෂන් එක වුණෙ ඔබ සමඟත් ඔබට එදිරිවත් ක්‍රීඩා කිරීමට සිදු වීම ගෞරවයක් කියලයි.



2. ඉන්දීය-නවසීලන්ත අවසන් පූර්ව වටය සහ දෝණිගේ නික්මීම


අයි සී සී ඇතුළු ව බොහෝ දෙනා හිතාන හිටියා කප් එක ඉන්දියාව සතු වේවි කියලා. දෙයිහාන්දුරුපල්ලා මේ ලියන මාත් එහෙම හිතාන හිටියා. ඒත් හදවතින් ම නවසීලාංකික අපේ ජය මැද්දේ සිද්ධ වුණේ කවුරුත් නොහිතපු දෙයක්. වෙනදට දොඹෙන් යන්න ගහන ඉන්දියාවට යන එන මං නැති වුණා. ගප්ටිල්ගේ අපූරු ඩිරෙක්ට් හිට් එක දෝණිට තමන්ගේ අවසන් ක්‍රිකට් තරඟය පරාජය හිමි කර දුන්නා. ඒ ගැන හදවතින් ම නවසීලාංකික බොහෝ දෙනා ඇතුළු ලෝක ප්‍රජාවට රිදිලා තිබුණා. ඒක කවුරුවත් ම නොහිතපු මැච් එකක් වුණා. අර දියාරු ගතියක් තිබුණු වර්ල්ඩ් කප් හොද්ද සුප් එක කරන්න මේ මැච් එක සමත් වුණා.



3. අලුත් ජයග්‍රාහකයෙක්… අමතක නොවන අවසන් තරඟයක්

මේ පාර කුසලානය හිමි වු​ණේ මීට පෙර කවදාවත් ඒක හිමි නොවුණ කණ්ඩායමකට. ඒ කියන්නේ ක්‍රිකට් අප්පොච්චි වෙච්චි එංගලන්තය ඉතිහාසයේ කවදාවත් කුසලානයට හිමිකම් කියලා තිබ්​බෙ නැහැ. එහෙම දෙයක් වුණ පළවෙනි පාරදිම ඒක සිද්ධ වුණේ බලන අයට හාට් ඇටෑක් දෙන ලෙවල් එකේ මැච් එකකින්. ලෝක කුසලාන ඉතිහාසයේ විතරක් නෙමෙයි, සමහර විට එක්දින ක්‍රිකට් ඉතිහාසයේත් හොඳම එක්දින මැච් එක වෙන්න තරම් සුදුසු සුපිරි තරඟකාරී මැච් එකක් බලන්න පුළුවන් වුණා මෙදා පාර. ‘අපෝ මළ ගේ වගේ කම්මැලි මැච් එකක්​’ය කියලා මුලදි නෝන්ඩි දාපු අපේ අයියලා අන්තිමට හාට් ඇටෑක් නොහැදී බේරුණේ නූලෙන්. 



4. අවසන් තරඟයේ ලාංකික නියෝජනය


අකුලගෙන යන්න වුණා තමයි ඉතින් අපිට. ඒ වුණාට අපිට සතුටු වෙන්න පුළුවන් අපේ කොල්ලෙක් කොහෝම හරි අවසන් තරඟයේ දී පිට්ටනියේ ඉන්න නිසා. ඒ කවුද කියනවා නම් නමින් කුමාර ධර්මසේන. අවසන් තරඟයේ අම්පයර් යුගලයෙන් එක් කෙනෙක් විදියට කුමාර ධර්මසේන ව නම් කරලා තියනවා. මේ තියෙන්නේ ධර්මසේනගේ දෙවෙනි ලෝක කුසලාන අවසන් තරඟ විනිශ්චය. අවුරුදු 2012 සහ 2018 දී වසරේ අම්පයර් කිරුළ අයි සී සී එකෙන් ම ඔහුට ලැබිලා තියනවා.



5. බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ශෝකය


නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර මෙවර ලෝක කුසලානයේ තිබුණ තරඟය හදවත් අමාරු ඇති කරවන විදියේ තරඟයක් වුණා. අවසන් මොහොත වෙනකන් ම ජයග්‍රාහකයා කවුද කියන එක තීරණය වෙලා තිබුණේ නැහැ. බ්‍රත්වේගේ එක පහරකින් හැබැයි ඒ බව තීන්දු වුණා. හයේ පාරකින් ගේම ඉවර කරන්න හිතපු ඔහු හැබැයි කරලා තිබුණේ නවසීලන්ත ක්‍රීඩකයෙකුගේ ම අතට බෝලය දුන්න එකයි. මේ අවස්ථාවේ බ්‍රත්වේට් ඉතා ම හැඟීම්බර වෙලා පිටියේ දණ ගහගෙන ඉන්නකොට නවසීලන්ත ක්‍රීඩකයන් ඇවිල්ලා ඔහුව අස්වසනවා. මහත්වරුන්ගේ ක්‍රීඩාව මොනවට පැහැදිලි කරපු අවස්ථාවක් තමයි ඒ.



6. නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා


මේ පාර අපිට දිනුම පැරදුම කෙසේ වෙතත් රටවල අලුත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා දැකගන්න පුළුවන් වුණා. අපේ රට ගැන කතා කරොත් අවිෂ්ක ප්‍රනාන්දු ගේමක් ගොඩ දාපු ඒ වගේ එළ කොල්ලෙක්. පකිස්ථානය පැත්තෙන් ඉන්නවා ෂරීන් අෆ්රිඩි. ඉන්දියාවෙ ඉන්නවා කේ. එල්. රාහුල්. ඉන්දියාව එක්ක ලංකාව ගහපු මැච් එකේ රෝහිත් ෂර්මා එක්ක එකතු වෙලා අපිට පොරි හැලෙන්න නෙළුවට අගය කරන්න ඕනි කොල්ලෙක්.



7. ශ්‍රී ලාංකේය ඉත්තෑවා


අපි පොඩි කාලේ ඉඳන් ආසා කරපු, අපිට සතුට දුන්නු දෙයක් තියනවා නම් ආන්න ඒ දෙයින් මිදෙන්න අපිට හරි අමාරුයි. මේ ඉත්තෑවා කතාවත් එහෙමයි. පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් එක්ක වැඩුණු ජාතියක් විදියට අපිට එතනින් මිදෙන්න අමාරුයි. ඉන්දියාවත් එක්ක ගහපු මැච් එකේ දී වුණත් අන්තිමට ගහන්න තිබුණ ලකුණු 12 අතරතුරත් ඉන්දීය පිළේ විකට් ටික පෝලිමට යයි කියලා අපේ ඉත්තෑවා අපිට කියන්නේ ඒකයි. ජාතියක් වශයෙන් ඉවසීම ප්‍රගුණ කරවපු මේ සතා මේ තරම් ඉස්මතු වුණේ ලෝක කුසලානය නිසයි. ඒකෙත් අමුතු ම ලල් එකක් තියනවා. මීම් පේජ්වලට බඩේ බත් නැති වෙනවා ඉත්තෑවා නැති වුණා නම් එහෙම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *