දැන් ලංකාවේ තියෙන්නේ හයර් දුවන ත්‍රීවිල් නැතිනම් ටුක් ටුක් දෙජාතියයි. එක්කෝ මීටර් තියෙන, එහෙම නැතිනම් මීටර් නැති. මීටර් තියෙන ත්‍රීවිල් නම් නානාප්‍රකාරයි. හැබැයි ඒ හැම එකකම මීටර් තියෙනවාද නැද්ද කියන එක දැනගන්න පොඩ්ඩක් මීටරෙන් බලන්න වෙනවා. මොකද සමහර එව්වල මීටර් කියලා ගහලා තිබුණත් මීටර් නෑ. සමහර එව්වල මොකුත් ගහලා නැති වුනත් මීටර් තියෙනවා. හොඳම දේ තමයි අත දාලා ටුක් ටුක් එක නැවැත්තුවට පස්සේ ‘අයියා, මීටර්ද?’ කියලා අහන එක. එතකොට ටුක් ටුක් බුවා කිවුවොත් ‘මීටර් නෑනේ මල්ලි, ඔයත් ආදර්ශ කණිෂ්ට විද්‍යාලෙටද ගියේ?’ කියලා, පොරගේ ටුක් ටුක් එකේ මීටර් නෑ, ඌටත් මීටර් වැඩ නෑ. එහෙම නැතුව ‘මීටර්, නගින්න’ කිවුවොත් අන්න බයක් නෑ. කොහොම වුනත් ලංකාවේ ටුක් ටුක් එකක් තමන්ගේ හිතේ කරදරේකුත් නැතුව, ටුක් ටුක් අයියගේ හිතේ කරදරේකුත් නැතුව පාවිච්චි කරන්න නං පොඩි පොඩි ක්‍රම සහ විධි ටිකක් තියෙනවා. ආන්න ඒ ක්‍රම සහ විධි ගැන තමයි මේ කථා කරන්න යන්නේ.
1. ඇප් එකෙන් දැම්මත් කෝල් එකක් දෙන්න
ගොඩක් වෙලාවට අපි ඔය පික්මී, ඌබර් අනං මනං නම් වලින් තියෙන ඇප් එකකින් ටුක් ටුක් එකක් බුක් කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. එහෙම බුකින් එකක් දාලා ඉන් පස්සේ ඉතින් ටුක් ටුක් මහත්තයා ලඟට එනකල් මැප් එක දිහා බලාගෙන ඉන්නවා. ඔන්න සමහර වෙලාවට ටුක් ටුක් මහත්තයා අපි ඉන්න තැනට නොයා හෙන ඩොටේක යනව පේනවා. ඉන් පස්සේ අපිට යන්න තියෙන වැඩේටත් පරක්කු වෙලා, අපි පොරගේ පරම්පරාවම මතක් කරලා බණිනවා!
ඊට වඩා ලේසි නැද්ද, ඇප් එකකින් ටුක් ටුක් බුකින් එකක් දැම්මට පස්සේ ටුක් ගාලා කෝල් එකක් ගන්න එක? සමහරුන්ට මැප් එක වරදින්න පුළුවන්. අන්න ඒ නිසා කථා කරලා ඉන්න තැන අනුව එන්න ඕන විදිය දන්නවද කියලා ෂුවර් කරගන්න. දන්නෙ නෑ වගේ නම් පාර කියන්න.
2. ජී පී එස් ෂුවර් කරගන්න!
මේක සාමාන්‍යයෙන් ඇප් එකකින් ටුක් ටුක් එකක් දානකොට අපේ පැත්තෙන් වෙන වැරැද්දක්. සමහර වෙලාවට අපි ඉන්න තැන කොහේ හරි ජී.පී.එස්. හරියට වැඩ කරන්නේ නැති හද්ද ඩොටේක නං, ටුක් එකක් දානකොට වුනත් ජී.පී.එස් පිස්සු කෙලලා අපි ඉන්න ලොකේෂන් එක හරියට වැටෙන්නේ නැති අවුල් යනවා. අන්න ඒ නිසා පැන්න ගමන් ඔබාගෙන ඔබාගෙන යන්නෙ නැතුව පොඩ්ඩක් බලන්න මැප් එකේ පෙන්නන ලොකේෂන් එක හරිද කියලා. කොහේ හරි මගක ඉඳලා ඇප් එකෙන් ටුක් එකක් දානවා නං, ලේසියෙන් කියන්න පුළුවන් ලෑන්ඩ් මාක් එකක් ලඟ ඉන්න. “සිරිසේන අයියගේ කඩේ”, “ට්‍රාන්ස්පෝමරේ ගාව” වගේ එකක් වුනත් අවුලක් නෑ!
3. මීටර්ද, කීයද?
ඔය ඇප් වලින් නම් ගොඩක් වෙලාවට තමන් යන තැන දුන්නට පස්සේ අදාළ ගාණ මෙච්චරක් විතර වෙන්න පුළුවන් කියලා ඇස්තමේන්තු අගයක් වැටෙනවා ටුක් ටුක් එකක් බුක් කරන්න කලින්ම. හැබැයි පාරේ නිකං දුවන මීටර් ටැක්සි වල ඒ සීන් බෑ. ආන්න ඒ නිසා කරුණා කරලා මීටර් ටැක්සි එකක් නැවැත්තුවට පස්සේ ගාණ ගැන ෂුවර් එකක් නැති නම් අහලා බලන්න මෙතනට යන්න කීයක් වගේ වැටෙයිද කියලා. ගොඩක් ටුක් ටුක් ඩ්‍රයිවර්ලට යන තැන අනුව කීයක් වගේ යයිද කියන එක අනුමාන කරන්න පුළුවන්.
ඒ වගේම, පාරේ යන මීටර් ටුක් ටුක් වල පටන් ගන්න ගාණ, කිලෝමීටරේට ගාණ පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. හැබැයි රුපියල් පහක් එහා මෙහා වුනත් දුර හයර් එකකට නං ඒක ලොකු වෙනසක් සිද්ධ කරන නිසා හොඳම දේ තමයි නගින්න කලින් පටන් ගන්න ගාණ සහ කිලෝමීටරේට ගාණත් පොඩ්ඩක් අහලා දැනගන්න එක! ඒක ටුක් ටුක් අයියගේ හිතටත් හොඳයි, අපේ හිතටත් හොඳයි.
4. ටුක් ටුක් අයියා ඇණ වෙනවද?
සමහර ටුක් ටුක් අයියලා ඉන්නවා ඓතිහාසික ඇණ පැකට් වෙන. නරකකටම නෙවෙයි, සමහරු කථා කරන්න ආස නිසා, සමහරු පොඩි ෂෝර්ට් සර්කිට් ගතියක් තියෙන නිසා, එහෙමත් නැතිනම් සමහරු ප්‍රමාණයත් ඉක්මවලා මිත්‍රශීලී නිසා. හැබැයි ඉතින් ටුක් එකට නැග්ග වෙලේ ඉඳලා අපෙන් ප්‍රශ්න අහන එක, අපිට ධර්මයෙන් අර්ථයෙන් දේශනා පවත්වන එක, කැඩිච්ච රේඩියෝ එකක් වගේ අපිත් එක්ක කියෝන එක අපිට ඇණ වෙනවනේ. ආන්න ඒ වගේ වෙලාවට පොඩි පොඩි සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට කථාව මැද්දකින් නවත්තලා කියන්න පුළුවන් පොඩි නෝට් එකක් බලාගන්න තියෙනවා කියලා, නැත්තං පොඩ්ඩක් නින්දක් දාන්න තියෙනවා කියලා. ඔය එකක්වත් හරියන්නෙ නැත්තං කරන්න තියෙන්නේ පොඩි මහන්සි පාට් එකක් දාලා, මනුස්සයට හූ මිටි තියන එක, ප්‍රශ්න වලට උත්තර දෙන එක නවත්තන එක. නෑහුනා වගේ ඉන්න එක. ආන්න එතකොට මනුස්සයටම තේරෙනවා කරදර කරන්න හරි නෑ කියලා.
5. මාරු සල්ලි නැද්ද මල්ලි?
මේක නම් ගොඩක් වෙලාවට අපිට නොහිතා, අමතක වෙලා වෙන දෙයක්. සමහර වෙලාවට සමහරු තියෙන මැටිමෝල් කුප්ප කමට කරන දෙයක්. ඒ තමයි මාරු සල්ලි නැතුව ටුක් එකේ යන එක. ටුක් ටුක් එකක් ගන්නකොට බස් එකක වගේ දෙකේ කාසි, පහේ කාසි අතේ තියෙන්න ඕන නෑ. හැබැයි හැම වෙලාවෙම පොඩ්ඩක් මීටරෙන් ඉන්න අදාළ ගාණට ආසන්න ගාණක් හරි මාරු වලින් තියෙනවද කියලා. ඒ කියන්නේ රුපියල් එකසිය පණහක් වෙන හයර් එකට සීයේ කොළ දෙකක් දෙන එක අවුලක් නෑ. ගමනාන්තයට ගිහිල්ලා සීයෙ කොළ දෙකක් දුන්නහම පණහක් නෑ කියලා ටුක් ටුක් ඩ්‍රයිවර් කියනවා නම් ඒක පොරගේ අවුලක්. එහෙම මොහොතක මනුස්සයාට මීටරේ ඕෆ් කරන්න කියලා ඒක මාරු කරගන්න ට්‍රයි එකක් දෙන්න කොහෙන් හරි. හැබැයි අපි එකසිය පණහේ හයර් එකට පන්දාහේ කොළයක් හරි දාහේ කොළයක් හරි දික් කරනවා නම් ඒක අපේ අවුලක්. ආන්න ඒ නිසා කරුණාකරලා ටුක් එකට නගින්න කලින් බලන්න අතේ මාරු සල්ලි තියෙනවද කියලා. නැග්ගට පස්සේ මාරු සල්ලි නැහැයි කියලා මතක් වුනොත් ටුක් ටුක් අයියට සීන් එක කියලා, අතරමග ෂෙඩ් එකකින් හරි කඩේකින් හරි සල්ලි මාරු කරගන්න ස්මාට් වෙන්න ඕන.
6. අතර මග නැවතුම්
අපිට සමහර වෙලාවට ටුක් එකට නගින තැන ඉඳලා කෙලින්ම යන තැනට වෙනකල් නවතින්න සීන් නැහැ. හැබැයි සමහර වෙලාවට අපිට තැන් කීපෙක නවතින්න වෙන්න පුළුවන්. ඒ තැන් වල විනාඩි දහය පහළොව විතරක් නෙවෙයි, පැය බාගයක් වුනත් පරක්කු වෙන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ආන්න එහෙම අවස්ථාවකදී නම් කරුණාකරලා ටුක් ටුක් එකේ අයියගෙන් ටුක් ටුක් එකට නගින්න කලින් අහන්න පොඩි රවුමක් යන්න තියෙනවා, වැඩ වගේකුත් කරගන්න තියෙනවා පුළුවන්ද කියලා. එහෙම නැතුව යන ගමන් ‘අතන පොඩ්ඩක් නවත්තන්න’ කියලා, ‘මම විනාඩියෙන් එනවා’ කියලා පැය බාගෙකින් එන එක සෑහෙන්න අවුල්. සමහරු ඔය ඇප් එකෙන් දාන ටුක් ටුක් එකකට එහෙම ඔහොම කරන්නේ, මම බුක් කරපු ටුක් එක මට ඕන වෙලාවට තමයි රිලීස් කරන්නේ, ඉන්න වෙලාවටත් ගාණ කවර් වෙනවනේ වගේ ආත්මාර්ථකාමී සිතිවිලි එක්ක තමයි. හැබැයි අපි මතක තියාගන්න ඕන දේ තමයි, ඇප් එකෙන් ටුක් එකක් දානකොට වුනත් අපිට යන්න ඕන තැන මිසක් නවතින තැන්, නැවතිලා ඉන්න වෙලාවක් දාන්න බැහැයි කියන එක. එතකොට ටුක් ටුක් ඩ්‍රයිවර්ට වෙන යන්න වෙන හයර් එකක් තියෙන්න පුළුවන්, පුද්ගලික වැඩක් තියෙන්න පුළුවන්. එතකොට අපිත් එක්ක තැන් තැන් වල පැය බාගේ කෑලි නැවතිලා ඉන්න එක පොරට පාඩුයි.
ආන්න ඒ නිසා ඇප් එකෙන් දාපු ටුක් එකකට එන්න කලින් කෝල් එක දෙනකොට වුනත්, පාරෙන් ගන්න මීටර් ටුක් එකකට නගින්න කලින් වුනත් තමන්ගේ ප්ලෑන් එක කියන්න. නවතින්න වෙන තැන්වල අපිට ඉන්න සිද්ධ වෙන හරි වෙලාවත් කියන්න. අන්න එතකොට එයාට ඒක ප්‍රශ්නයක් නැති නම් එයා එක්ක වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැතිනම් වෙන ටුක් එකක් ගන්න පුළුවන්.
7. ලෝබ නැතුව රේටින් එක දෙන්න!
මේක ගොඩක් ගෑණු ළමයි සහ සමහරක් පිරිමි ළමයි කරන වැඩක්. ටුක් ටුක් ඩ්‍රයිවර් කෙනෙක්ට ඇප් එකෙන් මලාට හොඳ රේටින් එකක් දෙන්නෙ නෑ. සමහර වෙලාවට ටුක් ටුක් ඩ්‍රයිවර් කෙනෙක් නසරානි විදියට හැසිරුණහම අපිටවත් හිතෙන්නෙ නෑ හොඳ රේටින් එකක් දෙන්න. ඒත් පොරට පාර පොඩ්ඩක් පැටලිලා විනාඩියක් පරක්කු වුණු නිසා, ත්‍රීවිල් එකේ සීට් එක හරියටම හයි වෙලා නැති නිසා, ටුක් ටුක් ඩ්‍රයිවර් බුලත් විට කන නිසා වගේ හේතු හින්දා එක තරුවක් දෙන එක අසාධාරණයි. ඇත්තටම බලන්න ඕන මනුස්සයාගේ ඩ්‍රයිවින්, සුහදශීලී කම, වෙලාව, ඇණ නොවීම වගේ දේවල්. ඒ වගේ දේවල් වලින් ලොකුවට ප්‍රශ්න නැතිනම් ලෝබ නැතුව රේටින් එකක් දෙන එක මනුස්සකම. මොකද ඔය රේටින් බලපානවා ඒ මනුස්සයාගේ ඉදිරි හයර් වලටත්.
අන්න ඒ නිසා ටුක් ටුක් ඩ්‍රයිවර්ගේ කිසිම වැරැද්දක් නැති කොටත් තරු පහක් දෙන්න බෑ බෑ වගේ නිසා තරු තුනක් එහෙම දෙන්න යන්න එපා. රේටින් ලබාදීමේදී සාධාරණ වෙන්න!
Leave a Reply