90 දශකයේ පොඩි කොල්ලෝ වෙලා හිටපු අපිට තිබුණු පිස්සු මේවා තමයි!

දැන් වෙනකොට අවුරුදු තිස් ගණන් වල ඉන්න අය හැමෝම තමන්ගේ ළමා කාලේ ගෙව්වේ 90 දශකයේ තමයි. ඒ කාලේ අපි අතේ ස්මාට්ෆෝන් තිබුණෙ නෑ. ගෙවල් වල කම්පියුටර් එකක් තිබුණේ එහෙමත් එකෙක් ගාව විතරයි. ඒත් 90 දශකයේ අන්තිම හරිය වෙනකොට. හැබැයි ඒ කාලේ අපිටත් එක එක පිස්සු තිබුණා. ඔය සමහර පිස්සු ගැන නම් දැන් හිතනකොටත් හිනා යනවා. කොහොම හරි මේ කියන්න යන්නේ ඒ කාලේ පොඩි කොල්ලෝ වුණු අපිට තිබුණු පිස්සු ගැන!

 

1. ගිටාර් පිස්සුව

ඔව් මිත්‍රවරුනි. ඒ කාලේ අපිට බොහෝම තද උණක් තිබුණා ගිටාර් ගහන්න ඉගෙන ගන්න. හැබැයි ඉතින් ඕක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒ කාලේ බොහොම සාමාන්‍ය ගිටාර් එකක් වුනත් රුපියල් පන්දාහක් විතර වුණා. දැන් ඔය ගාණ අමාරුවෙන් එකතු කරලා ගිටාර් එක ගත්තු ගමන් හරියට රටක් රාජ්ජයක් දින්නා වගේ. ඊට පස්සේ ඔන්න ගිටාර් එක අතට අරගෙන ගහන්න පටන් ගන්නවා. ගිටාර් එක අතට ගත්තු ගමන් කාර්ලෝස් සැන්ටානා කියලා හිතාගත්තට නිකං ටං ටුං සද්ද ටිකක් විතරයි එන්නේ. ඔන්න ඒ පාර ගිටාර් ක්ලාස් හොයනවා යන්න. 

සමහරු සෑහෙන්න කැපවීමෙන් වැඩ කරලා ලස්සනට ගිටාර් ගහන්න ඉගෙන ගන්නවා. හැබැයි සමහරුන්ට ඕන කරන්නේ ඊට වඩා සරල දෙයක්. ඒ තමයි ගිටාර් එක කරේ එල්ලගෙන කෙල්ලොන්ට පේන්න පාරේ යන එක!

 

2. කරාටි පිස්සුව

මේ පිස්සුව පටන් ගත්තේ සමහරුන්ට නම් ඩෙක් පීස් වලින් බෘස් ලීගේ, ජැකී චෑන්ගේ ෆිල්ම් බලලා. කොහොම වුනත් ඒ කාලේ කොල්ලෝ ගොඩක් දෙනෙක්ට කරාටි ඉගෙන ගන්න වුවමනාව තිබුණා. හැබැයි අපි ඒ කාලේ පොදුවේ කරාටි කියලා කිව්වේ හැම ආකාරෙම මාෂල් ආට්ස් වලට තමයි. කුංෆූ උගන්නන ක්ලාස් එකත් කරාටි ක්ලාස් එකක්. වූෂු උගන්නන ක්ලාස් එකත් කරාටි ක්ලාස් එකක්. ටයිකොන්ඩෝ උගන්නන ක්ලාස් එකත් කරාටි ක්ලාස් එකක්! ජිට් කුන් ඩෝ උගන්නන ක්ලාස් එකත් කරාටි ක්ලාස් එකක්. මේ ක්ලාස් හොයාගන්න එක නම් සිම්පල් වැඩක්. මොකද ඒ කාලේ හැම තරුණ බෞද්ධ සමිති ගොඩනැගිල්ලකම, ඕනම ටවුමක කරාටි ක්ලාස් දෙක තුනක්වත් තිබුණු නිසා.

ඉතින් හැමෝම හොඳයි කියන මාස්ටර් කෙනෙක් හොයාගෙන පංති යන්න පටන් ගත්තා කියමුකෝ. පළවෙනි දෙවෙනි පංති දවස් වලදී කරාටි ඉගෙන ගන්න උනන්දුවෙන් යන බාගයක්වත් හැලෙනවා. මොකද ෆිල්ම් වල උඩ පැනලා දෙන ෆ්ලයින් කික් වලට වඩා සෑහෙන්න අමාරුයි පංතිය පටන් ගන්නකොට කරන ශාරීරික ව්‍යායාම. ඉන් පස්සේ ජෙට් ලී වගේ තායි චී ලෙවල් එකට කැරකිලා කරාටි ගහන්න ඉගෙන ගන්න හිතාගෙන පංති යන ඈයොත් දවස් දෙකක් තුනක් යනකොට හැලෙනවා. ඇයි, පංතියේ උගන්නන්නෙම “හයි”, “හුහ්” වගේ සද්ද දදා ඉස්සරහට පන්ච් කරන්න විතරයිනේ!

 

3. බෝයි බෑන්ඩ්!

ඒ කාලේ තරම් බෝයි බෑන්ඩ්ස් එන්න නෑ කොයි කාලෙකවත්. ආයි බැක් ස්ට්‍රීට් බෝයිස්ලගෙන් පටන් ගත්තහම කීයක් කියලද. ඉතින් 90 දශකයේ කොල්ලෝ වුණු අපිටත් ඉතාම ඉක්මනටම මේ බෝයි බෑන්ඩ් උණ ඔලුවට ගැහුවා. ආයෙ ඒ කාලේ හිතාගෙන හිටපු විදියට අපිත් කවදා හරි බෝයි බෑන්ඩ් පටන් අරගෙන ඉන්ටර්නැෂනල් තාරකා වෙලා  තමයි පස්ස බැලුවේ.

කොහොමත් බැක් ස්ට්‍රීට් බෝයිස්, බෝයිසෝන් වගේ බෝයි බෑන්ඩ්ස් වල පෝස්ටර්, කැසට් එකතු කරලා පටන් ගත්තු උණ හොඳටම වැඩි වෙනකොට අපිටත් ඕන වුනා බෝයි බෑන්ඩ් එකක් පටන් ගන්න. බැක් ස්‍ට්‍රීට් බැක් කියලා බැරි නම් සමගි රෝඩ් ගායිස් කියලා හරි නම දාගත්තට පස්සේ අමාරුම වැඩේ එනවා. ඒ තමයි සිංදුවක් ලියන එක. සිංහලෙන් නම් මොකක් හරි අටෝ ගන්න පුලුවන්. ඒත් බෝයි බෑන්ඩ්ස් වල සිංදු ඉංග්ලිෂ් නෙ බ්‍රෝ! පංතියේ හිටපු කඩ්ඩ් හොඳ එකෙක්ව අල්ලගෙන සිංදුවකුත් ලිව්වට පස්සේ ඔන්න පංතියේ ෆ්‍රී පීරියඩ් එකක ඕක ගිටාර් එකට තට්ටු දදා කියන්නත් පුලුවන්. හැබැයි ඊට පස්සේ වාර විබාගේ ආවා. බෝයි බෑන්ඩ් එක ඉවරයි!

 

4. රොක්!!!

මේ කිව්වේ දැන් කාලේ ෆේස්බුක් එකවුන්ට් හදනකොට වගේ සිරිපාල රොක්ස් කියලා නම හදාගත්තු ඒවා ගැන නෙවෙයි. මේ කියන්නේ ඒ කාලේ අපිට පිස්සුවක් වෙලා තිබුණු රියල්ම රියල් රොක් ගැන. රොක් මියුසික් ගැන! මේකත් එක එක උන්දැලට එක එක විදියට බලපෑවේ. සමහරුන් හිටියේ ෆුල් ගොතික් රොක්, පන්ක් රොක් සීන් එකේ. උන් නිවාඩු කාල වලදී පන්ක් ස්ටයිල්ස් වලට කොණ්ඩේ හදන්න ගිහින් ගෙවල් වලින් ගුටිත් කාලා ඇති. අපි ගොඩක් එවුන් බ්ලැක් මෙට්ල්, ඩෙත් මෙට්ල් වගේ මෙට්ල් සීන් වල හිටියේ. ඉතින් ඔන්න කොළඹ ක්ලාස් එන දවසට පිටකොටුවේ ලෝක වෙළෙඳපොළේ හතර කොන් වල බඩගානවා මෙට්ල් වලට හරියන විදියේ රූපයක්, වැකියක් ගහලා තියෙන කළු ටී ෂර්ට් හොය හොය. වැරදිලාවත් මෝටර් හෙඩ් ලෝගෝ එක ගහපු කළු ටී ෂර්ට් එකක් හම්බුණා නම් අවුරුදු තමයි. එහෙම නැති වෙලාවක මිනී ඔලුවක් ගහපු කළු ටී ෂර්ට් එකකිනුත් වැඩේ ෂේප් කරගන්න පුලුවන් වුනා. ඒ කාලේ අපිට රොක් කොන්සර්ට් නම් බලන්න තිබුණෙ නෑ. ගෙදර කවුරුත් නැති වෙලාවක මෙට්ල් මියුසික් වහලේ උළු උඩයන්න දාගෙන තනියම හෙඩ් බෑන්ග් කරපු එක තමයි කළේ!

 

5. චිත්‍රකථා/කොමික්ස්

මෙන්න ඒ කාලේ අපේ තවත් විනොදාස්වාද මාර්ගයක්. කොමික්ස්! ඇත්තටම අනූව දශකයේ පොඩි කොල්ලන්ට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ලේසියෙන් කොමික්ස් හොයාගන්න පුලුවන් කමක් තිබුණෙ නෑ. හැබැයි එහෙමයි කියලා අපි කොමික්ස් නොකියවා හිටියෙත් නෑ. කොහෙන් කොහෙන් හරි සෙට් වුනා. ඉන් පස්සේ අපිත් හිතාගෙන හිටියේ අපිටත් කවදා හරි සුපර් පවර්ස් හම්බුවෙලා ‘අම්මට සිරි මෑන්’ වගේ නමක් දාගෙන අසරණයන්ට උදවු කරන්න. 

ඒ අතරේ අපිට සිංහල චිත්‍ර කථාත් තිබුණා. ඔව්වා කියවන එක ගෙවල් වලින් තහනම් කරලා තිබුණු නිසාම අපි සිත්තර පත්තර වගේ චිත්‍ර කථා පත්තර හොරෙන් හොරෙන් කියෙව්වා. එතකොට අපිට හිතුණා, සුපර් මෑන් වෙන්න ඕන නැහැය, හොඳ කඩුවකුයි කොටි හම් කෑල්ලකුයි හොයාගත්තොත් ටෝගා වගේ ඩයල් එකක් වුනත් වෙන්න ඇහැකිය කියලා!

 

6. තග් ලයිෆ්!

දැන් ඔය ඉන්න සිඟිති පාතාලේ එවුන්ට බැන්නට, අපිටත් එහෙම තග් ලයිෆ් කාලයක් තිබ්බා බ්‍රෝ! අපිට ඉතින් රඟන්න ෆේස්බුක් අනං මනං තිබ්බේ නැතත්, වලි නම් එකෙන්ම වලි කියලා තමයි ඒ කාලේ හිටියේ. අපි සමහරුන්ට රම්බෝ පිහි හොයාගන්න ඕන වුනා. රම්බෝ පිහි නැති තැන අර පිටකොටුවේ ඒ කාලේ පාර අයිනේ විකුණන්න තිබුණු නවන්න පුලුවන් දුනු පිහියක් සල්ලි දීලා අරගෙන, ඒක සාක්කුවේ දාගෙන ඉස්කෝලේ ගියපු අයියලත් හිටියා. ඒ කාලේ ආයි කකා හිටපු මාලු බනිසේ දිහා බලලා තව එකෙක් කෙළ ගිල්ලත් අපි ඌත් එක්ක ෆුල් ගේම. හැබැයි හොඳ කියන්නේ ඒ වෙලේ ගහගන්නෙ නෑ. චාන්ස් එකක් දෙනවා ගැන්සිය එක්කගෙන එන්න. එහෙම එන්න කියපු දවසට අපිත් ගැන්සිය එක්කගෙන, හොකී පිති, එල්ලේ බැට් හොයාගන්න බැරි නම් ඇඳ පොල්ලක්, පුටු කකුලක් හරි අරගෙන යනවා ගේමට. ගොඩක් ඒ විදියේ වලි කෙළවර වෙන්නේ දෙපැත්තම තග් ටෝක්ස් දාගෙන, ආයෙ අහුවෙන්න එපා කියලා මාරු වෙලා ගිහින් තමයි. හැබැයි කෑලි ගැලවෙන්න ගහගෙන, පොලිසිය ඇවිත් කුදලගෙන ගියපු වලි එහෙමත් නොතිබුණා නෙවෙයි!

 

7. බැගී දාපු පිස්සුව!

ඒ කාලේ අපිට එක එක ෆැෂන් පිස්සු තිබුණා. හැබැයි ඉස්කෝලෙ යනකොටත් දරුණුවට තිබුණු ෆැෂන් පිස්සුවක් තමයි මේක. බැගී දාන එක. ඕක කරන්නේ මෙහෙමයි. ඔන්න කලිසම ඇඳලා ෂර්ට් එක කලිසමට යට කරනවා. දැන් ෂර්ට් එක ටික ටික උඩට අරගෙන කලිසමේ උඩ දාරෙට උඩින් පහලට වැටෙන්න හදනවා. ඕක කොහොමත් කලිසමක් ෂර්ට් එකක් ඇන්දහම කරන දේනේ. හැබැයි අපේ බැගී ෆැෂන් එකට අනුව එහෙම සූටියට දාන බැගී පාරක් නෙවෙයි තියෙන්නේ. ෂර්ට් එක දැන් එලියට එයි, දැන් එලියට එයි කියලා හිතෙන තරමටම බැගී දානවා. දැන් ගාණට ඉස්සරහයි පිටිපස්සයි හදාගෙන හෙනම අයියලා වගේ යනවා. හැබැයි ඉස්කෝලේ ගේට්ටුව ගාවට එනකොට ඕක ෂේප් එකේ ආයෙමත් යට කරගන්නවා. නැත්තං ප්‍රිෆෙක්ට් අයියලාගෙන් පෝරියල් හම්බුවෙනවනේ. ඉන් පස්සේ ආයෙමත් පංතිය ඇතුළට යනකොට දාගන්නවා බැගී!

 

ඔය වගේ තව සෑහෙන්න පිස්සු අපිට තිබුණා. අපි කොල්ලන්ට විතරක් නෙවෙයි, කෙල්ලන්ටත් තිබුණා. එහෙම ඉස්සර තිබුණු පිස්සු මතක නම් මෙහෙම්මම කමෙන්ට් කරගෙන යන්නයි  තියෙන්නේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *