නළු නිළියෝ කියන්නේ ඉතින් කොහොමත් ආන්දෝලනාත්මක චරිත. හැබැයි අද වෙනකොට නම් බොහෝ ආන්දෝලන මතුව එන්නේ ඔවුන්ගේ රඟපෑම නිසා නම් නෙමෙයි, ඒ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසා. මේ නිසා අපි අද හිතුවා තමන් රඟපාපු චරිත නිසා රට තුළ ආන්දෝලනයක් ඇති කරන්න සමත් වෙච්ච අපේ රටේ නළු නිළියන් කිහිපදෙනෙක් ගැන කතා කරන්න.
1. රුක්මණී දේවි
රුක්මණී දේවිය කියන්නේ අපේ රටේ නිළි රැජන. අපේ රටේ පරම්පරා භේදයකින් තොරව සෑම දෙනාගේම ගෞරවාදරයට ලක් වන තැනැත්තියක් ඇය. නමුත් 1960 වර්ෂයේ දී ඇය රඟපෑ චිත්‍රපටයක් නිසා ලංකාව තුළ සුවිශේෂී ආන්දෝලනයක් ඇති වුණා. ඒ ඇය ජීන්ස් කලිසම් ඇඳ සමාජ ශාලාවක නාට්‍ය අංගනාවක් ලෙස චරිත නිරූපණය කළ “නළඟන” චිත්‍රපටය නිසායි. බොහෝ දෙනා ඊට තමන්ගේ විරෝධය පළ කළා. ඒ අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද වුණා. ප්‍රතිඵලය වුණේ නළගන චිත්‍රපටය තහනමට ලක් වීමයි. නමුත් එවකට සංස්කෘතික ඇමැතිවරයා වුණු බර්නාඩ් අලුවිහාරේ මහතා චිත්‍රපටය නරඹා චිත්‍රපටයේ එක් දර්ශනයක් පමණක් ඉවත් කර ප්‍රදර්ශනයට නිකුත් කරන ලෙස නියම කරනු ලැබුවා.
2. අජිත් ජිනදාස
අජිත් ජිනදාස සිනමා නළුවෙක් විදිහට සුවිශාල ජනප්‍රසාදයක් ලබා ගන්නේ ගැහැනු ළමයි චිත්‍රපටයේ නිමල් හතුරුසිංහගේ චරිතය රඟපෑම නිසා. ඊට පෙර මඩොල් දූව චිත්‍රපටයේ උපාලි ගිනිවැල්ල ගේ චරිතය රඟපෑම නිසා ක්ෂේත්රය තුළ නමක් දිනාගෙන තිබුණා. නමුත් 1982 වර්ෂයේදී ඔහු පෙරළිකාර චිත්‍රපටයකට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒ සම ලිංගික සේවනයට අදාළ තිර පිටපතක් සහිතව ප්‍රදර්ශනය වුණු ‘මලට නොඑන බඹරු’ චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය ලබාදීම මගින්. මෙම චිත්‍රපටය විචාරකයන්ගේ ප්‍රසාදයට ලක් වුණත් සාමාන්‍ය ජනතාව අතර එම චිත්‍රපටය යම් ආන්දෝලනයක් ඇති කළා.
3. අයිරාංගනී සේරසිංහ
අද වෙනකොට සිංහල සිනමාවේ ආදරණීය මිත්තනිය බවට පත් වෙලා තියෙන්නෙ අයිරාංගනී සේරසිංහ මහත්මිය. ඇය තමන්ගේ සිනමා ජීවිතය ආරම්භයේ පටන්ම මවගේ චරිතය සාර්ථකව නිරූපණය කරනු ලැබුවා. මේ නිසාම තමන්ට හැමදාම ලැබුණේ මවගේ චරිතය කියලත් අයිරාංගනී සේරසිංහ මහත්මිය පවසා තියෙනවා. නමුත් කිනිහිරියා මල් චිත්‍රපටයේ ඇය ගණිකා නිවාසයක් පාලනය කරන තැනැත්තියකගේ චරිතයක් රඟපෑවා. පසුව ඇය ප්‍රකාශ කළේ කළේ ඇතැම් ප්‍රේක්ෂකයන් ඇයට ලිපි මඟිනුත් තමන්ගේ විරෝධය පළකර බවක්.
4. අනෝමා ජනාදරී
අනෝමා ජනාදරී කියන්නේ කාලෙන් කාලෙට අපේ රටේ පුවත් මවන නිළියක්.”තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටයේ දී ඇය සම්පූර්ණයෙන්ම නිරුවත්ව ඇවිද යාමේ දර්ශනයකට පෙනී සිටියා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එවක ඇගේ සැමියා වන අශෝක හඳගම වීම තවත් විශේෂත්වයක් වුණා. නමුත් පසු කාලයකදී ඇය ඒ එම දර්ශනය තමන්ගේ කැමැත්තට වඩා තමන්ගේ සැමියාගේ වුවමනාව නිසා රඟපෑ දර්ශනයක් බවට ප්‍රකාශ කරනු ලැබුවා. මෑතක දී ඇය තවත් ආන්දෝලනාත්මක චරිතයක් රඟපෑවා. ඒ දැවෙන විහගුන් චිත්‍රපටය සඳහා. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමග ගැටුමක් ඇති කර ගත් ඇය ප්‍රකාශ කළේ තමන් රඟපෑ ඇතැම් දර්ශන ඉන් ඉවත් කර ඇති බවත් ඒ නිසා තමන්ගේ චරිත නිරූපණයට අසාධාරණයක් වුනු බවත්. එම චිත්‍රපටය වෙනුවෙන් ඇය දේශීයව හා විදේශීයව සම්මානයට පාත්‍ර වුණා.
5. ජයසේකර අපොන්සු
ජයසේකර අපෝන්සු මහතා හාස්‍යෝත්පාදක මෙන්ම සංකීර්ණ චරිත රඟපෑම පිළිබඳව නිපුණත්වයක් ලබා සිටින නළුවෙක්. ඔහුගේ බොහෝ වේදිකා සහ ටෙලි නිර්මාණ මෙරට ජනතාව ඉතා ආදරයෙන් වැළඳ ගනු ලැබුවා. ඔහු විසින් අධ්‍යක්ෂණය කර රඟ පෑ “සීතා මං ආවා” චිත්‍රපටය මෙරට යම් ආන්දෝලනයක් ඇති කළා. ඒ ඔහු එම චිත්‍රපටයේ රඟපෑ රාවණා චරිතය මගින් ඓතිහාසික රාවණා චරිතයට යම් අපහාසයක් සිදුවන බවට රාවණා බලය සංවිධානයේ භික්ෂුන් වහන්සේ චෝදනා කිරීමත් සමගින්.
6. ගීතා කුමාරසිංහ
අද වෙනකොට දේශපාලන වේදිකාව තුළ රස කථා මවන්නියක් වෙලා ඉන්න ගීතා කුමාරසිංහ මැතිනිය අපේ රටේ සිනමාවට නැතුවම බැරි නිළියක්. ඇය ජනප්‍රිය මෙන්ම සම්භාව්‍ය සිනමාවෙත් එකසේ චරිත නිරූපණයට දක්ෂ තැනැත්තියක්. මේ රඟපෑම් අතරින් ඇය චිත්‍රපට දෙකක් නිසා ආන්දෝලනයට ලක්වුණා. එසේ ආන්දෝලනයට ලක් වුණු පළවෙනි චිත්‍රපටය වන්නේ කරුමක්කාරයෝ චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ පියා සහ පුතා යන දෙදෙනා සමඟම ලිංගිකව එක්වන තැනැත්තියකගේ චරිතයක් ඇය නිරූපණය කළා. ඒ වගේම පාලම යට චිත්‍රපටයේ ඩොටීගේ චරිතය නිරූපණය කළ අන්දමත් මෙරට තුළ යම් කතා බහකට ලක් වුණා.
7. සමන්ති ඈපාසිංහ
මේ ලැයිස්තුවට ඇතුළත් කරන මාතෘකාවට සෘජුව අදාළ නොවන එකම නිළිය වෙන්නේ සමන්තී ඈපාසිංහ. හේතුව තමයි ඇය පෙනී සිටි මුද්‍රිත වෙළඳ දැන්වීමක් හේතුවෙන් රටේ ආන්දෝලනයක් ඇතිවීම. එක්තරා සුප්‍රකට සමාගමක බීම වර්ගයක් ප්‍රවර්ධනය කරන දැන්වීමක් වෙනුවෙන් ඇය අඩනිරුවත් බඳු ඡායාරූපයකට පෙනී සිටියා. මේ නිසා සමාජයෙන් එල්ල වුණු දැඩි විරෝධය හමුවේ ඇය ගොඩ නගාගෙන ආ ටෙලිනාට්‍ය සහ සිනමා ප්‍රතිරූපයට දැඩි හානියක් සිදු වුණා. ඒ නිසා තාවකාලිකව කලා ජීවිතයෙන් සමුගෙන විදේශගත වීමට ගතවීමට පවා ඇයට සිදුවුණා.
එහෙමනම් මේ ආටිකල් එක පිළිබඳව ඔබේ අදහස් කමෙන්ට් කරන්න. විශේෂයෙන්ම ඔබේ හිතට එන මේ වගේ ආන්දෝලනාත්මක චරිත රඟපාපු නළු නිළියෝ ගැන කමෙන්ට් කරන්න. ඒ වගේම ඉතින් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply