ඔබ දැකබලාගත යුතුම ලංකා​වේ එල්ලෙන පාලම්

එල්ලෙන පාලම් නැත්තන් සංගිලි පාලම් කියන්නෙ ගඟක් හරහා දාලා තියන පටු පාලමකටනේ. මේක වැලක් ස්වරූපයෙන් තියන නිසා එල්ලෙන පාලම් කිව්වට වරදක් නෑ. ඉස්සර නම් මේ පාලම් හැදුවෙ ලණු යොදාගෙන. ඒත් දැන් වානේ කේබල් යොදාගෙන තමයි හදන්නේ. යාන්තමට දෙන්නෙකුට මාරු වෙන්න පුළුවන් පළලකට තමයි මේ පාලම් හදලා තියෙන්නෙ. කේබල් හරහා ලෑලි දාලා හදලා තිබ්බත් නඩත්තුවෙ හොඳකම නිසා ගොඩක් පාලම්වල ලෑලි ගැලවිලා තියනවා. මේ පාලම් වලින් එගොඩ වෙන එක ත්‍රාසජනක අත්දැකීමක් වගේම මාරම ෆන් එකක්. අඩියක් තියනකොට හෙලවෙන මේ පාලමක අත්දැකීම ගන්න ඒකකින් යන්නම වෙනවා.

 

1. රුවන්වැල්ල එල්ලෙන පාලම

කැළණි ගඟ හරහා වැටිලා තියන රුවන්වැල්ල සංගිලි පාලම දැනට ලංකාවේ තියන දිගම එල්ලෙන පාලම විදියටයි හඳුනාගෙන තියෙන්නෙ. කැළණි ගඟේ අතු ගංගාවක් වෙන ගුරුගොඩ ඔය හා කැළණි ගඟ හමුවෙන හංදියේ තමා මේ සංගිලි පාලම පිහිටලා තියෙන්නේ. ගම් එකට යාකරමින් මිනිස්සුන්ගේ පහසුවට ලොකු රුකුලක් වෙලා තියන මේ පාලම අඩි 550ක් විතර දිගයි කියලයි අපිට ආරංචි උනේ. නිකවලමුල්ල, කුරුපැන්​න ගම් හා රුවන්වැල්ල ගම යාකරමින් හැදිලා තියන මේ පාලම ගොඩක් හොඳ තත්ත්වයෙන් තාම තියනවා. හැබැයි යන අය පාලමෙන් වෙන වෙන ෆන් නම් ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේමයි යන ගමන් ගඟට එක එක එව්වා විසි නොකරන්නත් වගබලාගන්න ඕනේ.

තැන මෙන්න

 

2. කොස්ගුලන එල්ලෙන පාලම

දැන් දැන් සංගිලි පාලම් යකඩින් හැදුවට ඉස්සර ගංගා හරහා එගොඩ වෙන්න හැදුවේ ලණු වලින් බැඳපු මේ වගේ එල්ලෙන පාලම්නේ. ඉස්සර වගේම ලෑලි දාලා හදන මේ පාලම් වල යනකොට දතකට පූට්ටු වෙන ෆීලින් එකක් එනවා නේද? ආන්න ඒ වගේ ෆීලින් එකක් ගන්න කොස්ගුලන සංගිලි පාලම බලන්න ගියොත් පුළුවන්. මේ පාලම මීටර් 65ක් දිගයි. හරහට කිතුල් ලෑලි තමා දාලා තියෙන්නෙ. මේ පාලමේ විශේ​ෂත්වයක් තියනවා. ඒ කියන්නෙ අනික් පාලම් වගේ නෙමෙයි, අපේ මේ පාලමට ගොඩවෙන්නෙ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙන්. ඒ වගේම බහින්න වෙන්නෙ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. හෑ… ඒ මොකද්ද බොලේ ඒක? ඔව් ඔව් මේ අපේ ලංකාවේ එකම තැන එහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයාලත් ගිහිල්ලම බලන්නකෝ.
මේ පාලම බුලත්සිංහල මෝල්කාව පාරේ ගිහින් මෝල්කාව හංදියෙන් කෙලින් කන්ද පාරෙ ගියාම වම් පැත්තේ තියෙන්නෙ. පාලමේ සමහර ලෑලි ගැලවිලා තියන නිසා වැටුනොත් කෑල්ලක්වත් හොයාගන්න බැරිවෙයි. ඒ නිසා කල්පනාවෙන් යන්න වෙනවා.

මෙන්න පාර

 

3. බඹරකිරිඇල්ල එල්ලෙන පාලම

බඹරකිරිඇල්ල කියන්නේ අපි කවුරුත් දන්න කියන ඇල්​ලක්නේ. මාතලේ රත්තොට පැත්තේ තියන මේ ඇල්ල කිට්ටුවමයි එල්ලෙන පාලමත් තියෙන්නෙ.
මාතලේ රත්තොට පල්ලෙගම පාරේ B 274 රත්තොට නගරයේ ඉඳලා කි.මි 1ක් වගේ යනකොට බඹරකිරිඇල්ල හම්බවෙනවා (කි.මි.15 කණුව ලඟ). රිවස්ටන් යන පාරේ තමා තියෙන්නෙ, වංගුවක් එක්කම බෝඩ් එක ගහලා ඇති. මහබඹරකිරි ඇල්ල ලඟ තමා පාලම තියෙන්නෙ. පාලම නම් දැන් ටිකක් අබලන් තත්ත්වයේ තියෙන්න. මහබඹරකිරි ඇල්ලේ ඉහළ තට්ටුව බලන්නත් කුඩා බඹරකිරි ඇල්ල බලන්නත් යන්න ඕනේ මේ එල්ලෙන පාලමෙන් තමයි. ටිකක් අවදානම් ගමනක් උනත් මේක පාලමෙන්ම යන්න ඕනෙ. මොකද වතුර පාර හරහා යන එක කිසිසේත්ම සුදුසු නැති නිසා.

තැන මෙතනයි

 

4. පේරාදෙණිය සංගිලි පාලම

පේරාදෙණිය උද්භිත උද්‍යානය හා ගන්නොරුව කෘෂිකර්ම පාසල සම්බන්​ධ කරමින් මහවැලි ගඟ හරහා තමා මේ පාලම පිහිටලා තියෙන්නෙ. මීටර් 9.5ක් උස් වානේ කණු වලින් මීටර් 127ක් වගේ දිග මේ පාලම 1931 බ්‍රිතාන්‍ය පාලන කාලයේ තමයි හදලා තියෙන්නෙ. ගාඩ්න් එකේ කෙරෝලට ගියාම පාලම හම්බවෙනවා. දැනට හොඳ තත්ත්වයේ තියන පාලමක් කියලා කියන්න පුළුවන්. ගොඩක් දෙනා ෆොටෝ ශූට් වලටත් මේ පාලම භාවිතා කරනවා.

මෙන්න තැන

 

5. කුංචිකුලම සංගිලි පාලම

මල්වතු ඔය හරහා වැටිලා තියන මේ කුංචිකුලම පාලම පිහිටලා තියෙන්නෙ මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු පල්ලිය ආසන්නයේ. යටත් විජිත කාලේ ඉදිකරපු මේක මීටර් 100කට වඩා දිගයි. වැඩිය ප්‍රසිද්ධ නැතත් බලන්න යන්න පුළුවන් නම් යන්න. ප්‍රධාන පාරෙන් ඔබ්බට ඇතු​ළට වෙන්න තියන නිසා වැඩි සංචාර​ක ආකර්ෂණයක් නම් නෑ. එහෙමයි කියලා නොයා ඉන්න එපා. ගිහින්ම බලන්න.

තැන මෙතනයි

 

6. ලංකාගම සංගිලි පාලම

සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටලා තියන ලංකාගම තමයි මේ පාලම තියෙන්නෙ. මේ පාලම ගිංගඟ හරහා වැටිලා තියෙන්නෙ ලංකාගම හා නිල්වැලිගම ගම් යා කරමිනුයි. සිංහරාජ සෆාරි යන ඔයාලා මේ පාලමත් ක්‍රොස් කරගෙන ​ආවනම් තවත් සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එල්ලෙන පාලමකින් ගමන් කරනකොට දෙපැත්තට පැද්දෙනවා. ඒ වගේම මේ පාලම් ඔක්කොම ලබා දෙන්නෙ එකවගේ අත්දැකීමක්. හැබැයි ඒ වගේ පාලමක යනකොට මැද ලී කැඩුණු තැන් එහෙමත් හම්බුණොත් කොහොමට තියෙයිද?

මෙන්න තැන

 

7. බලන්තොට සංගිලි පාලම

වැඩිය ප්‍රසිද්ධ නොවුණත් ලංකාවේ තියන තවත් එල්ලෙන පාලමක් තමයි මේ. මහනුවර නාවලපිටිය කිට්ටුවට වෙන්න පිහිටලා තියන මේ පාලම හද​ල තියෙන්නෙ යකඩ දම්වැල් හා ලෑලි යොදාගෙනයි. ලෙව්දෙනිය හරහා බලන්තොට ඉඳලා වැලිගම්පලට වැටිලා තියන මාර්ගයකයි මේ පාලම පිහිටලා තියෙන්නෙ.

මෙන්න පාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *