අක්කා නිසා නංගි කාපු කටු ගැන අපි කතා කරා මතක ඇති. අමතක නම් මෙතනින් බලන්නකෝ. ඉතින් අද කතා කරන්නේ මේ ලෝකේ ලාස්සන ම බැඳීමක් ය කියලා කියන අයියා-නංගි සම්බන්ධය අස්සේ නංගි කන කටු ගැන. මේක ඉතින් අපි ආතල් එකේ එදිනෙදා ජීවිතය දැකීමක් මිසක් ශිලා ලිපිවල එහෙම කොටලා තිබ්බ අතිශය සංකීර්ණ දෙයක් වගේ ගන්න එහෙම එපා. අයියලා නංගිලා මොන තරම් ලව් එකේ ඉන්නවද කියලා ලයිෆි අපි හොඳාකාරව ම දන්නවා.
1. මෙහෙකාර සේවයට ලක් වීම
කාමරේට ඇවිත් ලයිට් එක වහන එක, දොර වහන එක කියන ඒවායේ ඉඳන් රෙදි සේදීම, තේ කෝප්පය, කෑම පිඟාන සේදීම දක්වා වගේ ම හෝදපු රෙද්ද මදින එක සහ කාමරයට ම තේ කෝප්පය ගෙනත් දීම, බත් එක ඉන්න තැනකට වඩමවාගෙන යෑම යනාදී වශයෙන් අතනින් පටන් ගෙන මෙතනින් ඉවරයි කියලා ඉවර කරන්න බැරි සෑහෙන වැඩ ගොඩක් අයියා වෙනුවෙන් නංගිට කරන්න වෙනවා. ඒක ඉතින් ආය එසේ මෙසේ කට්ටකුත් නෙවේ. හැබැයි ඒ දේවල් නොකෙරුවොත් දෙතිස් වදය පමුණුවනවා වගේ කිසිම බය හිතෙන දේවල් ඇත්තේ නෑ. ඒත් නිකන් පුරුද්දට වගේ මේ දේවල් සිද්ධ වෙනවා.
2. ප්‍රේම කතාවේ දුෂ්ටයා වීම
මහා පිපුරුමකින් ලෝකය බිහි වුණා නම් ඒ දවසේ ඉඳලම වෙනස් නොවී තියෙන එකක් තමයි මේ. අයියෙක් ඉන්න නංගි කෙනෙක් දිහා සමහර කොල්ලො නම් බැල්මට් එකක්වත් දාන්නේ නෑ. ඒම කරන කොල්ලෝ ඒ දේ කරන්නේ කොයි වෙලාවේ හරි වැඩේ පත්තු වෙන නිසා සූදානම් ශරීරෙකින්. අයියලා ඔක්කොම එකතු වෙලා අප්රකාශිත එකඟත්වයකට ඇවිත් තියෙනවා වගෙයි තමන්ගේ නංගිලාට බැලුම් හෙලන එවුන්ට තඩිබාන්න. ඒක කරන්න බැරි ම වුණොත් ගෙදරට හරි කියනවා අපේ එකී අරහෙමයි මෙහෙමයි කියලා. අයියලා එහෙමයි.
3. ටීවී රිමෝට් එකේ අයිතිකාරයා වීම
රෙස්ලින් මැච් එකක්, ක්‍රිකට් මැච් එකක්, ෆුට්බෝල් මැච් එකක්, මෙලෝ රහක් නැති ඇක්ෂන් චිත්‍රපටයක්, පට්ට බොළඳ අයියට ගැලපෙන ලව් ස්ටෝරියක් ටීවි එකේ යනවා නම් වයිමා ඇවිත් චැනල් මාරු කරන්න ගියත් කොරගන්න හම්බ වෙන්නෙ නැහැ. ඒ මදිවට කිසිම සද්දයක් කරන්නත් බෑ එයාට ඇහෙන්න. ටීවි එක ළඟට වෙලා සැදී පැහැදීගෙන ඉන්න ඕනි ඒක දෙනකන්. පුංචි ම කාලේ නම් පොඩ්ඩක් නාහෙන් අඬන්න ගත්තා ම එයාට ම හිතිලා දෙනවා. නැත්තන් අම්මලගේ කටේ බලේට දීලා දාන්න වෙනවා. හැබැයි ටිකෙන් ටික ලොකු වෙනකොට වැඩේ අවුල් යනවා.
4. බුද්ධි අංශ සේවයක් ලෙස කටයුතු කිරීමට සිදු වීම
මල ම කරදරේ කියන්නේ අයියට විතරක් නෙවේ අයියගේ යාළුවෝ වෙනුවෙනුත් මේ වදේ කන්න වෙනවා. නංගි දන්න ගෑල්ලමයෙක් ගැන විස්තරයක් හෙම දැනගන්න ඕනි නම් වැඩේ සෑහෙන අවුල්. තියන තරමක් ඔක්කොම වැඩ පැත්තකට දාලා යාළුකමත් අවුල් නොවෙන්න ඔක්කො ම හීන් නූලේ කරන්න වෙනවා. මට බෑ කියලා දමලා ගැහුවොත් විසුමක් වෙන්නේ නැහැ. යාළුකම් නැති වුණත් සහෝදරකම තියාගන්න අපෙ නංගිලා කපුකමේ මුල් පියවරට ඇවිත් මග නවතින අවස්ථා තියනවා. අන්තිමේ පද අහගන්නත් වෙනවා.
5. මහා භාණ්ඩාගාරය වශයෙන් කටයුතු කිරීමට සිදු වීම
මේකේ අනික් පැත්ත වෙන්න ඕනි වුණාට දවසකට රුපියල් 50ක් 100ක් නංගිගෙන් ඉල්ලගෙන ගියේ නැත්තන් ඒ අයියට ඒ දවස යාදෙන්නේ නැහැ. වැඩ කරන අයියෙක් වුණත් එහෙමයි. බස් එකට ඕනි කියලා මාරු සල්ලි හරි දෙන්න ඕනි. සමහර දවස්වල රුපියල් 100ක බෝඩරේ පනිනවා. එහෙම වෙන්නේ කාගේ හරි විශේෂ පුද්ගලයෙකුගේ උපන්දිනයක් හෙම තිබ්බොත් මොකක් හරි සරුවාලයක් ගන්න. නිකමට නංගිට තමන්ගෙ සල්ලිවලින් සිඟිති ලේන්සුවක් ගෙනල්ලා දෙන්න බෑ. තියන ටිකත් ඉල්ලන් ගිහින් වෙන උන්ට අරුමෝසම් කෑලි අරන් දෙනවා.
6. රූපලාවණ්‍ය නිෂ්පාදන මංකොල්ල කෑම
ඕඩිකොලෝන් බෝතලේ, සැන්ට් කුප්පිය, ෆේෂල් වොෂ් එක, සිලිකන් ඔයිල් එක වගේ දේවල් අල්මාරියක දාලා ලොක් කරලවත් බේරගන්න නෑ. නිකන් තියනවා දැක්කොත් ඉවරයි. හන්දියෙ කඩේට යන්නත් ඕඩිකොලෝන් එක හලාගන්නවා ඉවරයක් නැතුව. පාටියකට වගේ යනවා නම් මංකොල්ල කෑමේ අන්තෙට ගිහින් රෝස් පවුඩර් ටිකක් ගාගන්නත් බැරි නෑ. ගෙදර තමන්ගේ කියලා දෙයක් තියාගන්න පුළුවන් ද ඉතින් මෙහෙම? මේවා මේ මහදවල් වෙන මංකොල්ල. හැබැයි කතා කරනකොට කියන්නේ අනවශ්‍ය මේකප් කෙරිලි එපා කියලා තහංචි වචන. හැබැයි ක්‍රියාවෙන් මෙහෙමයි.
7. අයියෙකුගේ අගය ගැන ලෝකයාගේ දෙඩවිලි අසා සිටීමට සිදු වීම.
දැන් හිතන්න නෑදෑයෝ මොකක් හරි විශේෂ දිනයක එකතු වුණා කියලා. දූවරුම තුන් දෙනෙක් ඉන්න මද්දු නැන්දා කියාපි ‘හංසමාලි දුවට නම් කිසි ප්‍රශ්නයක් නෑ අයියා ඉන්නකන්’. අයියා ව මුරුංගා අත්තේ කෙළවරෙත් කෙළවරේ තියලා තමයි කියන්නෙ. හැබැයි නංගිගේ බත්පංගුවටත් විදින හැබෑ ජීවිතේ ගැන මෙලෝ වගතුවක් නැහැ. ඒ මදිවට ක්ලාස් එහෙම එක්කන් යන්න එන්න සේවා පහසුකම් අයියා සපයනවා කියලා රට්ටු හිතනවා. නංගි මොන ක්ලාස් ද යන්නේ කියලවත් අයියා දන්නේ නෑ. හැබැයි ඒක දැනගන්න එක ක්‍රමයක් තියෙනවා. පොඩි ආදර සම්බන්ධයක් හදා ගත්තා නම් අයියා ඉන්නවා නංගි ව ගිලින්න ඉන්න හෙවනැල්ල වගේ පාරෙ පස්සේ.
Leave a Reply