“අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී” එච්.ආර් ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා ඒ ගීතයෙන් කියන්නේ සහෝදරයෝ වගේ ජීවත්වන මිත්‍රයෝ දෙන්නෙක් ගැන. මේ ගීතයේදි මිත්‍රත්වය සමාන කරන්නේ සහෝදරයෝ දෙන්නෙක්ගේ බැඳීමක් හා සමානව. මේකෙන් කියන්න උත්සාහ කරන්නේ සහෝදර බැඳීම කියන දේ කොයි තරම් ශක්තිමත් බැඳීමක් ද කියන එක. ඉතින් අපි අද හිතුවා, ලංකාවේ ඉන්න සුප්‍රකට සහෝදරයන් කීප පොළක් ගැන කතා කරන්න. මේ සහෝදරයන්ගෙ තව විශේෂත්වයකුත් තියනවා. ඒ තමයි, මේ සහෝදරයෝ එකිනෙකට වෙනස් ක්ෂේත්රවල දක්ෂතා දැක්වීම.
1. රැලෙක්ස් රණසිංහ සහ ටෝනි රණසිංහ
ටෝනි රණසිංහ කියන්නේ කවුද කියලා නම් ආපහු අලුතෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන කමක් තියෙනවයි කියලා අපි හිතන්නේ නෑ. හැබැයි “රැලෙක්ස් රණසිංහ” කියන්නේ කවුද කියලා නම් මේ ආටිකල් එක කියවන බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති. අපේ රටේ බිහිවුණු දක්ෂතම ඡායාරූප ශිල්පියෙක් ඔහු. ක්ෂේත්රය ඇතුළේ රැලෙක්ස් රණසිංහ මහත්තයා ප්‍රසිද්ධියට පත් වුණේ “රැලා” කියන කෙටි නමින්. ඒ වගේම හැත්තෑව දශකවල බොහෝ නළු නිළියන්ගේ සුන්දර ඡායාරූප රාශියක් නිර්මාණ කරන්න දායක වුණේ රැලෙක්ස් රණසිංහ. ඊට අමතරව සුගතපාල සිල්වාගේ නාට්‍ය නිර්මාණ වල පෝස්ටර් නිර්මාණයට වැඩි දායකත්වයක් ලබා දුන්නෙත් ඔහුගේ කැමරා ඇස. ටෝනි රණසිංහ මහතා ක්ෂේත්රයට එද්දි තමන්ට අයියාගේ සම්බන්ධතා වලිනුත් වැඩි සහයෝගයක් ලැබුනා කියලත් එතුමා පස්සෙ කාලෙකදි බොහෝම ගෞරවයෙන් මතක් කරලා තිබ්බා.
2. ඊලියන් ද සිල්වා සහ ටයිටස් තොටවත්ත
අපි සියලු දෙනාගෙම කුඩා කාලය බොහොම සුන්දර කරන්න දායක වෙච්ච කෙනෙක් තමයි ටයි මාමා. පිස්සු පූසා, දොස්තර හොඳ හිත, ගලිවර්, රොබින්හුඩ්, ටින් ටින්, වගේ ලෝක ප්‍රකට නිර්මාණ අපිට තේරෙන සිංහලෙන් හඬ කවලා රූපවාහිනිය හරහා එතුමා ඉදිරිපත් කළා. ඒ වගේම එතුමා දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් .හාරලක්ෂය සහ කොටි වලිගය එතුමාගේ නිර්මාණ. මේ සංස්කරණ ක්ෂේත්රයේත් එතුමා කැපී පෙනෙන චරිතයක් වුණා. එතුමාගේ අයියා වුණේ ඊලියන් ද සිල්වා. ඊලියන් ද සිල්වා මහතා සිංහලෙන් විද්‍යාව ඉගැන්වීම ඉගැන්වීමට අදාළ පාරිභාෂික වචන රැසක් නිර්මාණය කිරීමට මූලිකත්වය ලබා දුන් අයෙක්. තෙකලා විදුලිය, තල බමනය, පිරිපහදුව වගේ වචන රාශියක් එතුමා නිර්මාණය කළා. ටයිටස් තොටවත්ත මහතා නිර්මාණය කළ වැඩසටහන් වෙනුවෙන් අදාළ වචන නිර්මාණය කළේත් එතුමා විසින්. ලවන් සබැඳි තෙපුල්, අදියුරුවම ආදී වචනත් එතුමාගේ නිර්මාණ. දැන් ඔයාල කල්පනා කරනවා ඇති අයියා සිල්වා වෙලා මල්ලි තොටවත්ත වුණේ කොහොමද කියලා. හේතුව තමයි ටයිටස් මහතා “සිල්වා” වාසගම අයින් කරලා තමන්ගෙ නමේ මුලට තිබුණ තොටවත්ත කෑල්ල භාවිතා කිරීම.
3. තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ සුනිල් ආරියරත්න
සුනිල් ආරියරත්න මහත්තයා ගැනත් ආපහු විශේෂ හඳුන්වාදීමක් කරන්න ඕනේ නැහැයි කියලා හිතෙනවා. එතුමා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් විදිහට වගේම ලේඛකයෙක් විදිහට ලංකාව ඇතුළේ ජනප්‍රියයි. කොටින්ම කියනවා නම් ආදායම් වාර්තා තියපු “යසෝදරා” චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයාත් එතුමා. ඒ වගේම සරුංගලය, සිරිබෝ අයියා වගේ නිර්මාණ ගැන ප්‍රේක්ෂකයෝ තාමත් කතා කරනවා. නමුත් එතුමාගේ නම අමරණීය වෙන්නේ එතුමා රචනා කළ විශිෂ්ට ගීත රචනා නිසා.එතුමා ගේ අයියා තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේදීන් අතර දැවැන්ත චරිතයක්. සරසවිය, සිළුමිණ, මව්බිම වැනි පුවත්පත් රැසක එතුමා ප්‍රධාන කර්තෘ ධූරය දරා තිබෙනවා.
4. ශාන් වික්‍රමසිංහ සහ රනිල් වික්‍රමසිංහ
ලංකාවට රූපවාහිනි නාලිකාවක් මුලින්ම හඳුන්වලා දුන්නේ ශාන් වික්‍රමසිංහ මහතා. පටන් අරගෙන මාස කීපයකින් රජයට පවරා ගෙන ස්වාධීන රූපවාහිනිය විදිහට නම් කරනු ලැබුවේ ශාන් වික්‍රමසිංහ මහතා ආරම්භ කරපු රූපවාහිනී නාලිකාව. පසු කාලයක එතුමා “ටී.එන්.එල්” නමින් තමන්ගේම රූපවාහිනී නාළිකාවක් පටන්ගත්තා. රනිල් වික්‍රමසිංහ ගැන නම් ඉතින් ආයේ කියන්නත් ඕනෙ නෑ නේද?
5. ඩඩ්ලි සිරිසේන සහ මෛත්‍රීපාල සිරිසේන
සුප්‍රකට අරලිය ව්‍යාපාර ජාලයේ සභාපතිවරයා වන්නේ ඩඩ්ලි සිරිසේන මහතා. සමහරු එතුමා ගැන ප්‍රසාදයෙන් කතා නොකළත් ඇතැම් අය කියන්නේ එතුමා එතෙක් සහල් ව්‍යාපාරයේ එක්තරා පිරිසක් පවත්වාගෙන ගිය ඒකාධිකාරය බිඳදමපු කතාවක්. කොහොම වුණත් අද වෙනකොට ඩඩ්ලි සිරිසේන මහතා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්.එතුමාගේ වැඩිමහල් සහෝදරයා වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. අයියගේ ජනාධිපතිවරණ සටනට නම් මල්ලි තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරද්දී නම් කීවේ ඩඩ්ලි සිරිසේන මහතා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට අඩුම ගානේ පොලිතින් යාරයක්වත් අරන් දීලා නෑ කියලා.
6. යසපාලිත නානායක්කාර සහ වාසුදේව නානායක්කාර
“රස සාගරයක් යසපාලිත නානායක්කාර නිර්මාණයක් ” ප්‍රදර්ශනය ආරම්භ වෙද්දි මේ වගේ සටහනක් දර්ශනය වෙන චිත්‍රපටි රාශියක් තියෙනවා. ඒ චිත්‍රපටි අතරින් ජනප්‍රියම චිත්‍රපටිය වෙන්නේ තුෂාරා. මේ චිත්‍රපටි සියල්ලම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ට දායකත්වය දැක්වුවේ යසපාලිත නානායක්කාර මහතා. ඒ වගේම පටලැවිල්ල ටෙලි නාට්‍යයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළේ ඒ මහතා විසින්මයි. යසපාලිත මහතා පවුලේ දෙවැන්නා. එතුමාගේ වැඩිමහල් සහෝදරයා වුණේ වාසුදේව නානායක්කාර. ඒ වගේම හේමකුමාර නානායක්කාර ඔවුන් දෙදෙනාගේ බාල සොහොයුරෙක්.
7. කිත්සිරි ජයසේකර සහ දයාසිරි ජයසේකර
මී පැණි රහසක් ගැලුවා සූකිරි කන්දෙන් ,අමිෂා වගේ වගේ හිතට දැනෙන ගීත නිර්මාණ රාශියක් අපිට ගෙනාපු කිත්සිරි ජයසේකරගේ මලයත් ගායකයෙක්. හැබැයි පොඩි වෙලාවකට විතරයි. ඒ මල්ලි තමයි කිව්වේ “ඔයා ගොඩක් වෙනස්වෙලා” කියලා. මල්ලිගේ සමහර ඡන්දදායකයොත් මල්ලි පක්ෂ මාරු කරහම ඒ සින්දුව කිව්වලු.
එහෙනම් ඔයාලා දන්න කියන මේ වගේ අයියලා මල්ලිලා ඉන්නවනම් යටින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply