උද්දච්ච මෝඩයෙක් නොවෙන්නේ මෙහෙමයි!

උද්දච්ච කමෙන් පිරුණු මනුස්සයෙක්ට තමයි අර ඉංගිරිසියෙන් නම් ඈස්හෝල් ටයිප් එකේ මනුස්සයෙක් කියන්නේ! එහෙම අය ඕන තරම් අපි අතරෙත් ඉන්නවා. හැබැයි අපි කවුරුවත් මේ ඈස්හෝල් ටයිප් එකේ උද්දච්චයින්ට කැමති නැහැනේ. ආන්න ඒ නිසා අපිත් නොදැනුවත්ව හරි මේ වගේ උද්දච්ච ඩයල් එකක් විදියට වැරදිලාවත් වැඩ කරන්න හොඳ නෑ. ආන්න ඒ වෙනුවෙන් තමයි මේ ලිපිය. උද්දච්ච කමෙන් පිරුණු ඈස්හෝල් ඩයල් එකක් කරන වැඩ මොනවද කියලා දැනගත්තට පස්සේ අපිට පුළුවන් වැරදිලාවත් ඒ විදියේ වැරදි නොකර ඉන්න. 

 

1. වැරදි නම් වැරදියි කියලා පිළිගන්න

සාමාන්‍යයෙන් උද්දච්ච මනුස්සයෙක් නොකරනම දෙයක් තමයි තමන්ගේ අතින් වැරැද්දක් සිද්ධ වුනත් ඒක පිළිගන්න එක. ඇස් පනාපිටම මේක වැරදියි කියලා පේන්න තිබුණත් උද්දච්ච මනුස්සයෙක් කිසිම දවසක තමන් වැරදියි කියලා පිළිගන්නෙ නෑ. ඒ වෙනුවට එයා උත්සාහ කරයි ඒ වැරැද්ද අනෙක් අයගේ කර පිට පටවන්න. එහෙමත් බැරි වුනොත් ඒක එයාගේ වැරැද්දක් නොවෙන්නේ කොහොමද කියලා හේතු දක්වන්න. හැබැයි ඉතින් ඒකෙන් වැරැද්ද වහන්න බෑ. තමන් වැරැද්ද පිළිගන්නේ නැති උද්දච්චයෙක්ය කියන කාරණය වහන්නත් බෑ! ඒ නිසා අද ඉඳන් තමන් අතින් වැරැද්දක් වුණු කෙනෙහිම වැරැද්ද පිළිගන්න පුරුදු වෙන්න.

 

2. අනික් අයව විනිශ්චය කරන එක නවත්තන්න

උද්දච්ච මිනිස්සුන්ට හැම වෙලාවෙම තවත් මනුස්සයෙක් ගැන ජජ්මෙන්ටල් දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ හැම මොහොතකම තවත් මනුස්සයෙක් දිහා වපරැහෙන් බලන්න උද්දච්ච මනුස්සයෙක් පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ තව මනුස්සයෙක්ගේ තියෙන වෙනස්කමක්, දුර්වලකමක් පිළිගන්න ඈස්හෝල් ටයිප් මනුස්සයෙක් කැමති නෑ. ඒ වෙනුවට ඒ වෙනස්කම, දුර්වලකම හුවා දක්වලා ඒ අනික් මනුස්සයාව පහළට දාන්න තමයි උද්දච්චයෙක් උත්සාහ කරන්නේ. උද්දච්ච මනුස්සයෙක්ට අනුව ඔයා දුප්පත්ව ඉපදුනොත් ඒක ඔයාගෙ වැරැද්ද. ඔයා මානසික අවුලකට පත් වුනොත්, ඒකත් ඔයාගෙ වැරැද්ද! ඉතින් ඔයා උද්දච්ච මනුස්සයෙක් නම්, ලෝකේ හැමෝම මිනිස්සු කියන එක පිළිගන්න. අනික් අයව විනිශ්චය කරන එක නවත්තන්න.

 

3. සමා අයැදුමක් පිළිගන්න

අපි ඕනම කෙනෙක් අතින් ඕනම වෙලාවක වැරැද්දක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මනුස්ස සොබාවය. හැබැයි තමන් කලේ වැරැද්දක්ය කියලා වැටහුණු ගමන් අපි සමාව ඉල්ලන්නත් පුළූවන්. ඇත්තටම ශිෂ්ට සම්පන්න ඕනම කෙනෙක් කරන්න ඕන ඒක. එතකොට කතාවට කියන්නේ එහෙම වැරැද්ද වටහාගෙන සමාව ඉල්ලුවහම, සමාව දෙන එක දේව ගතියක් කියලා තමයි. ඒත් උද්දච්ච මනුස්සයෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි එයාට කවදාවත් තමන්ට වැරැද්දක් කළාය කියන කාරණයෙන් එපිටට බලන්න බැරි වීම. ඒ නිසාම එයා කාටවත් සමාව ලබාදෙන්න සූදානම් නෑ. සමා අයැදුමක් පිළිගන්න සූදානම් නෑ. ගොඩක් වෙලාවට උද්දච්ච මනුස්සයෙක් ඒ වැරැද්දට වැරැද්ද කරපු කෙනා දිගින් දිගටම විඳවන්න ඕනය කියලා තමයි හිතන්නේ! ඒ නිසා උද්දච්ච බවෙන් මිදෙන්න ඕන නම් සමාව ඉල්ලීමක් පිළි අරගෙන ඒ වැරැද්ද අමතක කරලා දාන්න පුළුවන් තරමට ගෞරවාන්විත වෙන්න.

 

4. අනික් මිනිස්සුන්ට පහත් විදියට සලකන එක නවත්තන්න

ඈස්හෝල් වර්ගේ උද්දච්ච මනුස්සයෙක් සාමාන්‍ය ජීවිතේදී බොහොම හොඳට හැසිරෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ කෙනෙක්ගේ ඇත්ත පාට බලාගන්න පුළුවන් වෙන්නේ එයාට තරහ ගියහම තමයි. ආන්න ඒ වෙලාවට අනික් මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන්න, අතිශයින්ම තුච්ඡ විදියට පහත් කරලා සලකන්න උද්දච්ච මනුස්සයෙක් පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම නරකම දේ තමයි එහෙම මනුස්සයෙක් තමන්ගේ ඒ හැසිරීම ප්‍රශ්නකාරීයි කියලා හිතන්නෙත් නැතිවීම. ආන්න ඒ නිසා ඔයත් ඒ වගේ මනුස්සයෙක් නම් කරුණාකරලා මුලින්ම තමන්ගේ කෝපය පාලනය කරගන්න ඉගෙන ගන්න. ඊලඟට තමන්ට කොයි තරම් කේන්ති එන විදියට කෙනෙක් වැඩ කළත්, ඒ කෙනා අතිශයින්ම පහත් විදියට සැලකුම් ලබන්න වුවමනා නැහැයි කියන එක තමන්ටම තේරුම් කරලා දෙන්න.

 

5. සියල්ල දත් වීමෙන් වළකින්න

ගොඩක් වෙලාවට ඈස්හෝල් වර්ගයේ උද්දච්ච මනුස්සයෙක් තමන් ගැන ඉහළින් හිතන්න පාවිච්චි කරන මෙවලමක් තමයි, තමන් හැමදේම දන්නවා කියලා හිතන එක. විශේෂයෙන්ම තමන් දෙයක් නොදන්නා අවස්ථාවකදී වුනත් උද්දච්ච මනුස්සයෙක් ඒක පිළිගන්න ලෑස්ති නෑ. තමන් දෙයක් නොදන්නා බව සම්පූර්ණයෙන්ම එළිදරවු වුණු මොහොතක වුනත් එක්කෝ එයා ඒක පිළිගන්නෙ නැතුව රටේ තියෙන වැල්වටාරම් කතන්දර ඇදබායි, එහෙමත් නැතිනම් සෑහෙන්න තරහ අරගෙන එතන පෙරළියක් කරයි. අන්න ඒ නිසා ඔයත් ඒ වගේ මනුස්සයෙක් නම් මුලින්ම තමන් මේ ලෝකේ හැමදේම දන්නේ නැති බව පිළිගන්න ඕන. හොඳම දේ තමයි එකක් ඇත්තටම දේවල් ගැන දැනුවත් වෙන එක. දෙක, තමන් හොඳටම දන්න දෙයක් සම්බන්ධයෙන් ඇරෙන්න වෙනත් දෙයක් ගැන කට අරින්නේ නැතුව ඉන්න එක!

 

6. හැමදේම ලබාගන්න උත්සාහ කිරීමෙන් වළකින්න

ගොඩක් වෙලාවට උද්දච්ච මනුස්සයෙක්ගේ උද්දච්ච කමට සම්බන්ධයක් නැහැ කියලා පේන තවත් ගතිලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තමන්ට යම් දෙයක් වුවමනා වුනොත් ඒක ලෝකෙ පෙරළිලා හරි තමන්ට ලැබෙන්න ඕන කියලා හිතන එක. මේ වගේ කෙනෙක් කොයිම මොහොතකවත් පිළිගන්න ලෑස්ති නැහැ තමන්ට හැමදේම ලබාගන්න බැහැයි කියන එක. හැබැයි මෙහෙම හැමදේම ඕනය කියන මනෝභාවය නිසාම මේ අය අනික් මිනිස්සුන්ටත් කරදරයක් වෙනවා. ගොඩක් වෙලාවට තමන්ට වුවමනා දේවල් සම්බන්ධ කරුණු වලදී මේ අය අනික් මිනිස්සුන් ගැන කිසිසේත්ම හිතන්නේ, තැකීමක් කරන්නේ නැහැ. ආන්න ඒ නිසා ඔයාත් ඒ වගේ මනුස්සයෙක් නම් තමන්ට ලෝකේ හැමදේම ලබාගන්න බැහැයි කියන එක තේරුම් ගන්න. තමන්ට දෙයක් ලබාගන්න තියෙන වුවමනාව උඩ තවත් මනුස්සයෙක්ට කරදරයක් වෙන්න හොඳ නෑ කියන එක තේරුම් ගන්න.

 

7. ලෝකේ කැරකෙන්නේ තමන් වටා කියලා හිතන එක නවත්තන්න

අපි කථා කරපු විදියේ මනුස්සයෙක් ගොඩාක් වෙලාවට හිතන්නේ තමන්ව මූලික කරගෙන. ඇත්තටම මේ විදියේ හැසිරීමක් දකින්න පුළුවන් වෙන්නේත්, තමන්ව මූලික කරගෙන හිතන නිසාම තමයි. එතකොට මේ අය හිතනවා අනික් අය තමන්ට දේවල් ලබලා දෙන්න, කරලා දෙන්න ඕන කියලා. තමන්ට ගෞරවය, මුල් තැන ලැබෙන්න ඕන කියලා. මේ අය හිතනවා ඒක තමන්ගේ අයිතියක් කියලා. අන්න ඒ නිසාම මේ අය ඈස්හෝල් උද්දච්චයෙක් විදියට හැසිරෙන්න පටන් ගන්නවා!

ආන්න ඒ නිසා ඇත්තටම මුලින්ම විසඳගන්න ඕන තැන තමයි මෙතන. තමන් තවත් එක මනුස්සයෙක් බව, තමන්ට අනික් අය දේවල් කරලා දෙන්න බැඳිලා නැති බව, අනික් හැමෝටම වඩා තමන් සුවිශේෂීයි කියලා හිතන්න අවශ්‍ය නැති බව තේරුම් ගන්න වෙනවා. ආන්න ඒ කාරණය තේරුම් ගත්තොත් තවත් ගොඩක් ප්‍රශ්න විසඳේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *