‘දැවෙන විහඟුන්’ යනු සිංහල චිත්‍රපටයකි. සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයෙන් එලිදැක්වුන දැවෙන විහඟුන් කැපීම් කෙටීම් ගණනාවකට පසු තිරගත විය. එහෙත් පසුව නැවතත් ඒ කැපීම් අඩු කර නැවත පෙන්වනු ලැබීය. ඒ නිසාම උසාවි යන්නටද වරක් අධ්‍යක්ෂකවරයාට සිදු විය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා කියන විදියට සම්මාන උළෙල කීපයකින්ම සම්මාන ලබා ඇත. ඒවායෙන් පැසසුම්ද ලබා ඇත. කෙසේ නමුත් පිටරටදී සම්මාන ලැබෙන ඇතැම් චිත්‍රපටි ගැන සාමාන්‍ය මහජනයාට ඇත්තේ යම් කුකුසකි.
1. දැවෙන විහඟුන්හි සිනමා වැඩ
ලංකාවේ හැදෙන ගොඩක් චිත්‍රපට වලට වඩා සිනමා රූප කලාවෙන් දැවෙන විහඟුන් ඉදිරියෙන් සිටී. පැහැදිලි දර්ශන තල, නළු නිලියන් තෝරාගැනීම, දෙබස් , වේශ නිරූපණය ආදී බොහෝ තැන්හිදී දැවෙන විහඟුන් සිනමා ශාලාවල තිරගතවන වෙනත් සිංහල චිත්‍රපට වලට වඩා ඉදිරියෙන් සිටියේය. එහි දිවයන කතාව කුමක් වුවත් එය ප්‍රේක්ෂකයාගේ මනසට ඇතුලු කිරීමට සංජීව පුෂ්පකුමාර සහ පිරිසට හැකිවී තිබුණි. රඟපෑම අතින් අනෝමා ජනාදරී සුපුරුදු පරිදි සුපිරිය. සමනලී හැරුනකොට අනෙක් නලු නිලියන් චිත්‍රපටය තුළ ජීවත් වුනේය. සමනලීගේ උස මහත, පුෂ්ඨිමත් සිරුර තුළින් දුප්පත් පාසැල් දැරියක් නිරූපණය සාර්ථකද? පාසැල් ඇඳුමින් දකින තාක්කල් සමනලී දුප්පත් අහිංසක පාසැල් සිසුවියක යැයි කිසිවෙකුට නොසිතේ.
2. පීඩාකාරී දර්ශන
88-89 භීෂණ කාලයේ පියෙකුගේ වියෝව සමග පවුලක් අනාථ වූ සැටි මේ චිත්‍රපටයේ නිරූපණය වේ. සමස්ථ චිත්‍රපටිය පුරාවට බලන්නා කළකිරවන දර්ශන බොහෝ ගණනක් චිත්‍රපටියේ අන්තර්ගතය. ගව ඝාතනාගාරයක වැඩ කරන කතා නායිකාව පෙන්වන අතර එතැනදී නොපෙන්වන්නේ හරකා මරණ ආකාරය පමණි. ලේ වැකුනු මුලු ගව ඝාතකාගාරය ඩොකියුමන්ටරියක් පරිදි මැනවින් ජුගුප්සාව දැනවෙන පරිදි කිසිම කැතක් නැතිව චිත්‍රපටියේ පෙන්වයි. ලිංගික දර්ශන කිහිප අවස්ථාවකදීම පෙන්වන නමුත් ඒ ලිංගික දර්ශනවලින් අඩුතරමේ ලිංගික ක්‍රියාවට මූලික වෙන පුරුෂයින්වත් යම් සතුටක් සුවයක් ලබන ආකාරයක් සිනමාපටය තුළින් නොපෙනේ. සමස්ථ චිත්‍රපටය තුළ හාස්‍යය දනවන ජවනිකා එකක් හෝ නොමැති තරම්ය. යමෙක් ෆිල්ම් එක බලන්නට බොහොම සැහැල්ලුවෙන් ෆිල්ම් හෝල් එකට ගොඩවුනොත් ඔහුට එලියට එන්න වෙන්නේ දැඩි මානසික කැළඹීමකිනි.
3. ඒ පෙන්නුවේ ගමද?
සාමාන්‍යයෙන් ලංකාවේ විදෙස් සම්මානනීය චිත්‍රපට වල දර්ශන වලට තෝරාගන්නේම වියලි කර්කෂ කිසිම ජීවයක් නැති මුඩු බිම් වැනි පළාත්ය. දැවෙන විහඟුන්ද ඒ මාර්ගයම අනුගමනය කර තිබේ. ලංකාවේ හම්බන්තොට පුත්තලම වැනි ශුෂ්ක පළාත්වල පවා ඉන්දියාවේ බොහෝ ගම්මාන පළාත් වලට වඩා ජීවයක් පෙනේ. ගහකොළ තුරුලතා නැතිනම් අඩුගාණේ කුඹුරු යායක්, ඇලක් දොලක් වත් ඒ ගම්මාන වලට තිබේ. අවාසනාවකට මේ ජාතියේ චිත්‍රපට වලට හසුවන්නේ අපිට ලංකාවේ දකින්නට ඉතාම අමාරු යාපනය පළාතේ වැනි කටුකම පරිසරයක් පමණි. දැවෙන විහඟුන් හිද කිසිම දර්ශන තලයක ජීවයක් ඇති ලාංකික බවක් නම් පේනවාද යන්න සැක සහිතය.
4. ගෙදර අසල්වැසියෝ සහ ගම
1989 යනු අවුරුදු තිහකට පෙර කාලය වුවත් එකල වුවත් ගමක ගෙදරක් යනු යම් කිසි හැඩහුරුකමක් ඇති දෙයකි. නාගරික පසුබිමක මෙන් ලඟපාත ගෙවල් නැති වුවත් ගමක පිහිටි ගෙදරකට වුවද හූවක බල්ටියක දුරින් අල්ලපු ගෙදරක් පිහිටා තිබේ. ඩෙංගු මර්දන වැඩසටහනකට හෝ ගම වටේ ඇවිද ඇති අයෙකුට ඕනෑම ගෙදරක පොල් ගහක්, කෙහෙල් ගහක්, අඹ ගහක් වැනි ගහක් සහ මල් පෝච්චි කිහිපයක හෝ උද්‍යාන අලංකාරයක් තියෙනු දකින්නට ලැබේ. ඇරත් වැව් පිටියක් වැනි පාලු තැනක ගෙවල් තැනීම දුර්ලභ වන අතර ගෙයක් නම් එය පාලු කාන්තාරයක් වැනි තැනක නැතිව ගමට ජනාවාසයට ලඟින් තැනීම සාමාන්‍ය සිරිතය. දැවෙන විහඟුන් හි ගෙයට ඉදිරිපස පිටුපස කිසිම පළතුරු ගහක් පොල් ගහක් නැත. වැව් පිටියක තැනූ මාලු වාඩියක් වැනි නිවෙසක් දැවෙන විහඟුන් හි ගෙය ලෙස දක්වා තිබේ. ගේ වටේ මල් ගහක්, කෙහෙල් ගහක් තබා පොල් ගහක් වත් නැත. එය පොල් අතු සෙවිලි කළ මැටි ගෙදරක් වීමෙන් ගමේ ගෙයක් යැයි පෙන්නුම් කරන්නට උත්සාහ ගත්තද එය ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් දැකපු ගමක ගෙදරක සිට බොහෝ දුරින් පිහිටා තිබුන කෘත්‍රිම ගෙයකි.
5. ලාංකික මානුෂීය බැඳීම්
ලංකාව නිදහසින් පසු කලබල අවස්ථා ගණනාවකට මුහුණ දුන් රටකි. එහෙත් ලංකාවේ මිනිසුන්ගේ ඇතැම් මානුෂීය හැඟීම් තවමත් විදේශිකයින් පවා පුදුම කරන තත්ත්වයක තිබේ. 88-89 කාලේ සිදුවූ කලබගෑනි වලින් බොහෝ පවුල්වලට තමුන්ගේ පුතුන් නැතිවිය. දරුවන්ට පියා අහිමිවිය. දරුවන්ට පියා අහිමි වීමකදී බොහෝවිට ලඟපාත ගමේ මිනිස්සු ඒ අයට පිහිටක් වන්නට මැදිහත් වූහ. දරුවන් ගොඩක් සිටින තැනකදී නම් එකල “ඔන්න ඔය ලොකු උන් දෙන්න මට දීපන් මම කන්න බොන්න දීල ඉස්කෝල යවන්නම්” කියා රැගෙන ගොස් ඒ දරුවන් ආදරයෙන් රැකබලාගත් සිද්ධි ඕනාතරම් ගම් වල තිබේ. එසේම අනුන්ට දීමට තරම් සල්ලිය බාගේ නැතත් ගෙදර තිබෙන වීහාල් ටික, ගහේ හැදෙන කොස් දෙල් ගෙඩිය හෝ දුප්පත් අසරණ මිනිස්සුන් වෙනුවෙන් දීම එකල ගම්මුන්ගේ සිරිත විය. චිත්‍රපටයකදී එකල ගම නිරූපණය කරන සියලු දේ දැමිය නොහැකිය. එහෙත් ලංකාවේ ගැමි ජනයාට තිබුන එවැනි මානුෂීය ගතිගුණ එකක් වත් නිරුපණය කිරීමට මේ ජාතියේ චිත්‍රපටවලදී අධ්‍යක්ෂකවරුන්ට අමතක වේ.
6. බිංදුවක් හෝ සැනසීමක් නොලැබෙන ජීවිත
චිත්‍රපටයේ අසරණ කතා නායිකාවට ඇයගේ මිතුරියක හැර වෙනත් කිසිම සරණක් නොලැබේ. නෑයෙක් කියා සිටින එකම කාන්තාව ඒ පෙන්වන දරුවන්ගේ එක් ආච්චී කෙනෙක් පමණි. වෙනත් කිසිම නෑයෙක්, මිතුරෙක් ඔවුන්ට පිහිට නොවේ. අවසානයේ නිවසට ගල් ගැසීමට ගම්මු දායක වේ. ඒ හැර ගැමියන් ගෙන් ඇයට ගමෙන් කියා කිසිම ආධාරයක් උපකාරයක් ලැබෙන ආකාරයක්ද චිත්‍රපටයෙන් නොපෙනේ. චිත්‍රපටයට අනුව ඇයට හමුවන මිතුරිය සහ කඩේ සිටින පුද්ගලයා හැර අනෙක් සියලු දෙනා ඇයට හදි කරන්නට හදනවා විනා ඇයට හාල් ඇටයක, පොල් ගෙඩියක තරම්වත් ආධාරයක් උපකාරයක් හොඳ අදහසකින් නොකරති. මෙය චිත්‍රපටයේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ විය හැකි වුවත් එය අපේ ගමකට කොහොම ගැලපෙන්නේදැයි යන්න ගමක විසූ ප්‍රේක්ෂකයාට නිතැතින්ම එන ගැටලුවකි.
7. ගැහැණු හැඟීම් නිරූපණය
සැමියා නැති වූ කාන්තාවකට අහිමි වන්නේ දරුවන් පෝෂණය කිරීමට අවශ්‍ය ආර්ථික ශක්තිය පමණක් නොවේ. ජීවිතයේ ආදරණීය පදාසයක් ඈට අහිමි වේ. සාමාන්‍යයෙන් මෙවැනි කාන්තාවන් ප්‍රායෝගික ජීවිතයේදී ඉන් පසු කුමක් හෝ අන්දමක ආදරණීය සම්බන්ධතාවක පැටලෙති. එය ඇතැම්විට ලිංගිකමය එකක් වූවත් නොවූවත් මහා රූස්ස ගසක් වැටුන පසු අනෙක් ගස් ලියලන්නා සේ කිසිවෙකු ඇගේ ආදරයට ලක් වේ. අතීතයේ ගම් වල විසූ වැන්දඹු කාන්තාවන් වටා චන්ද්‍රයන් මෙන් කැරකුනු විවිධ මට්ටමේ පුරුෂයන් විය. ඔවුන් හැමවිටම කාන්තාවට වින කර දැඩිලෙස ලිංගික සතුට හොයන ස්ත්‍රී ලෝලයින් නොවේ. එසේම කාන්තාවද ඔවුන් ගැන ඉතා දැඩි සිතකින් හැමදාම වෛර කරන අවස්ථා තිබේනම් ඒ ඉතා කලාතුරකිනි. වැන්දඹුවකට සම්පූර්ණයෙන්ම සතුට ලැබීම කෙසේ වෙතත් යම් පමණක හෝ ආදරණීය සම්බන්ධතාවයකට එළැඹීමේ ඉඩ කඩ ඇති බැව් සාමාන්‍ය සමාජයේදී පෙනේ.
එහෙත් දැවෙන විහඟුන් ගේ ස්ත්‍රිය යනු දැවුන යන්ත්‍රයකි. ඇයගේ ලිංගික යන්ත්‍රයෙන් බලෙන් වැඩ ගන්නට එන බාස්ලා එලවීම සහ ඔවුන්ට විරුද්ධ වීම ඇගේ සිරිතය. ඒ හැර වෙනත් ආදරණීය ආශාවක් ඇයට ඇතිවෙන බවක් නොපෙනේ.
අපි කැමති ආකාරයට චිත්‍රපටි හැදෙන්නේ නැත. අපි ආශා කරන දර්ශන චිත්‍රපටවල දකින්නට ලැබෙන්නේද නැත. එහෙත් ලංකාවේ සිංහල කතාකරන චිත්‍රපටයක් තුළ අපි යම්තරමක හෝ යථාර්ථය පෙන්වන කතාවක් සොයන්නෙමු. දැවෙන විහඟුන් හි සමස්ථ චිත්‍රපටයේම මේ ලංකාවේ ගමක් යැයි අපිට තේරෙන්නේ ඔවුන් කතාකරන භාෂාව තුළින්ම පමණි. සම්මාන කෙතෙක් ලැබුනත් මෙරට සිද්ධියක් නිරූපණයේදී මෙරට ගම තුළ තිබූ බොහෝ බොහෝ දේ අමු අමුවේම සංජීව පුෂ්පකුමාර අතපසු කරගෙන ඇත.
Leave a Reply