ශිෂ්‍යත්ව විභාගය කියන්නේ තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේ අවසන් අදියරට එන දරුවාට මුහුණ දෙන්න වෙන ඉතාම තරඟකාරී විභාගයක්. මේ මගින් දරුවාගේ විෂයය දැනුම, නිර්මාණාත්මක කුසලතා, ප්‍රායෝගික හැකියාවන් ආදිය පරීක්ෂණයට ලක්කෙරෙනවා. කොහොම වුණත් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ටත් වඩා දෙමවුපියන් අතර වඩාත් උද්යෝගයක් ඇති කරලා තියෙන්නේ මේ මගින් ජනප්‍රිය පාසැලකට ඇතුළුවීමේ වරම දරුවාට හිමිවන නිසයි. ඒ හින්දාම බහුතරයක් දෙමවුපියන් තමනුත් ආතතියට පත්වෙලා, දරුවාවත් ආතතියට පත්කරමින් තමයි මේ විභාගයට සූදානම් වෙන්නේ. ඒ හින්දාම දරුවා විභාගය අසාර්ථක කරගන්නා අවස්ථාත් බහුලයි.
ඉතින් මේ තත්ත්වයට පිළියමක් හැටියට අපි හිතුවා ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවාට ඉන් සාර්ථකත්වයක් ලබන්නට ඉවහල් වෙන කාරණා ගැන ඔබව දැනුවත් කරන්න. ඔබ වැඩි වැදගත්කමක් නැතැයි සිතන මේ සමහරක් කාරණා ඔබේ දරුවාගේ විභාග සාර්ථකත්වයට බෙහෙවින් උදවු උපකාරී වන්නට ඉඩ තිබෙනවා.
1. දරුවාගේ විභාග බිය නැති කරන්න
බොහොමයක් දෙමවුපියන් වරද්දාගන්නා මූලිකම කාරණයක් තමයි මේක. දෙමවුපියන් ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවාව සූදානම් කරන්නේ 3 වසරේ විතර සිටයි. ඔවුන් දරුවාත් සමග මේ විභාග රේස් එක දුවන ගමන් දරුවාට දැඩි විභාග පීඩනයක් එල්ල කිරීමත් සිදු කරනවා. විභාගය අසමත් වීම ලැජ්ජාවක්, අවනම්බුවක් හැටියට සලකමින් දරුවන්ට තර්ජනය කරන අවස්ථා පවා අපිට දකින්න ලැබෙනවා. මෙය කිසිසේත්ම නොකළ යුතු දෙයක්. විභාගයේ වටිනාකම දරුවාට පෙන්වා දී ඒ සඳහා දරුවාගේ උපරිම උනන්දුව සහ උත්සාහය යොමු කිරීමට ඔහුට දිරි දිය යුතුයි. නමුත් ඒ දිරිමත් කිරීම කිසිසේත්ම තර්ජනාත්මක ස්වරූපයක් නොගත යුතුයි. තර්ජනය කිරීමෙන් සිදු වන්නේ දරුවා අසාර්ථකත්වය ගැනත්, දෙමවුපියන්ගේ අරමුණු ඉටු කීරීමට නොහැකි වේයැයි ඇති කරගන්නා අනවශ්‍ය බියත් නිසා ආතතියට පත්වීමයි. එමගින් අධ්‍යාපනය වෙනුවෙන් දරුවාට තිබිය යුතු යහපත් මානසික මට්ටම අහිමිවීමේ අවදානමක් ඇතිවනවා.
මෙය තවත් එක් විභාගයක් පමණක් බවත්, මෙයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය දරුවාගේ අනාගත අධ්‍යාපනය අඩාල වීමට හේතු නොවන බවත් දෙමවුපියන් වටහාගත යුතු වනවා. ඒ අනුව ක්‍රියා කරමින් දරුවාගේ මනස හැකිතාක් සන්සුන් කරමින් මේ ඉලක්කය කරා ගෙනයාමට දෙමවුපියන් වගබලාගත යුතු වනවා.
2. සැලසුම් සකස් කරන්න
ඕනෑම ඉලක්කයක් සඳහා නිසි සැලසුමක් තිබීම ඉතාම වැදගත්. තවමත් ප්‍රාථමික අධ්‍යාපන කඩයිමේ සිටින ඔබේ දරුවා වෙනුවෙන් මේ විභාග සැලසුම නිර්මාණය කිරීම දෙමවුපිය ඔබේ වගකීමක්. පාසලේ උගන්වන එදිනෙදා පාඩම් සහ විෂයමාලාවන්ට අදාළ කරුණුත්, ප්‍රශ්නෝත්තර ආදියත් යන සියල්ල නිසි කලට වේලාවට විභාගයට පෙර ආවරණය වන සේ මේ සැලසුම් සහ කාලසටහන් ඔබ නිර්මාණය කළ යුතුයි. විභාගයට පෙර කියල කිවුවට හැකිනම් විභාගයට සතියකට කලින්වත් මේ සියල්ල සම්පූර්ණ වන ලෙසට සැලසුම් සහ කාලසටහන් සකස් කළ යුතුයි. එවිට අවසාන මොහොතේ අනවශ්‍ය පීඩනයක් දරුවාටත් ඔබටත් එල්ල වීම වැළකී යනවා. සැලසුම් සකස් කළ පමණින් සියල්ල සම්පූර්ණ වන්නේ නැහැ. දරුවා නිසි කලට වේලාවට, සැලැස්ම අනුව විෂය කරුණු සාර්ථකව සම්පූර්ණ කරනවාද? ඔහුගේ දැනුමේ මට්ටම කෙබඳුද යන කරුණු ගැනත් ඔබ අවධායෙන් සිටිය යුතු වනවා.
3. පොත පතින් කියාදෙන කරුණු ප්‍රායෝගිකවම අධ්‍යයනයට පහසුකම් සලසන්න
පොත් පත් වලින් කතා කෙරෙන බොහොමයක් විෂය කරුණු දරුවාට නිකම්ම නිකම් කටපාඩම් කළ යුතු අදහස් පමණයි. සාමාන්‍ය ලෝකයේදී ඒ දේවල් ක්‍රියාකරන සහ පවතින ආකාරය ගැන අද නාගරිකව සහ කාර්යබහුල ජීවන රටාවකට හුරුවෙලා ඉන්න දරුවන්ට දැනුමක් නැහැ. උදාහරණයක් හැටියට අපිට ශිෂ්‍යත්ව විෂය මාලාවන්ගේ එන ගැමි ජීවිතය, භාෂාව සහ ගැමි කර්මාන්ත ආදිය දක්වන්න පුළුවන්. කොතරම් ලාංකික දේවල් වුණත් මේ දේවල් අද බොහෝ දරුවන් ඇසින් දැක, කණින් අසා නැතිව, විෂය කරුණු වලදී කියා දෙන ක්‍රියාකාරකම් සැබෑ ලෝකයේ සිදුවන ආකාරය ගැන දැනුමක් නැතිවයි ඉන්නේ. අන්න ඒ නිසා අදාළ විෂය කරුණු පොතපතට පමණක් සීමා නොකර හැකි සෑම අවස්ථාවකදීම දරුවාට අත්දැකීමක් හැටියට දැනුමට එකතු කරගන්න ඉඩ සකස්කිරීම දරුවාගේ සාර්ථකත්වයට ඉතාම වැදගත්.
මේ ආකාරයට දරුවාට පර්යේෂණාත්මකව ප්‍රායෝගිකව දැනුම වඩවාගැනීමට උපකාරී වන මහඟු අවස්ථාවක් ගැන මේ ගමන්ම ඔත්තුවක් දෙන්නටත් අපි කැමතියි. ඒ තමයි මේ මස 13 සහ 14 දෙදින පැවැත්වෙන ‘ඇට්ලස් (Atlas) මනසාලෝක’ අධ්‍යාපනික ප්‍රදර්ශනය. ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වෙන මේ අධ්‍යාපනික ප්‍රදර්ශනයේදී අපි ඉහත සඳහන් කළ ආකාරයේ 3,4 සහ 5 ශ්‍රේණි වල දරුවන්ගේ විෂය කරුණු වලට අදාළ ප්‍රායෝගික අත්දැකීම් ලබන්නට ප්‍රදර්ශන කුටි රාශියක් Atlas ආයතනය විසින් සංවිධානය කර තිබෙනවා. මීට අමතරව අධ්‍යාපන වැඩමුළු ඇතුළු වැඩසටහන් රාශියක්ද ඒ දෙදින තුළ විද්‍යාල භූමියේදී පැවැත්වීමට නියමිතයි. තව නොබෝ දිනකින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සිටින ඔබේ දරුවාවත් මේ ප්‍රදර්ශනයට සහභාගී කරවමින් නව අත්දැකීම් ඇසුරින් දරුවාගේ දැනුම ඔප මට්ටම් කරන්නට දෙමවුපියන්ට අවස්ථාව හිමිවනවා.
4. දරුවාට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න උදවු වෙන්න
දරුවාගේ විභාග සාර්ථකත්වයට ඔහු එදිනෙදා පාඩම් කරන විෂය කරුණු මතකයේ රැඳීම අනිවාර්ය සාධකයක්. එක් එක් දරුවාට සුවිශේෂී වූ පාඩම් කිරීමේ රටාවන් තියනවා. සමහර දරුවන් කැමතියි සංගීතයකට ඇහුම්කන් දෙමින් සද්ද බද්ද ඇති වටපිටාවක පාඩම් වැඩ කරන්න. තවත් දරුවන්ට දැඩි නිහඬබව අවශ්‍යයි. ඒ වගේම තමයි ඒ ඒ දරුවා පාඩම් වැඩ කරන්න යොදාගන්නා වේලාව. සමහර දරුවන් උදේ පාන්දර පාඩම් කිරීමට කැමති වෙද්දි තවත් දරුවෝ තරමක් රෑ වෙනකම් පාඩම් කරන්න කැමැත්ත දක්වනවා. දරුවා මේ කුමන ආකාරයට පාඩම් කළත්, එමගින් ඔහුගේ පාඩම් වැඩ කටයුතු යහපත්ව සිද්ධ වෙනවානම් දරුවාට පහසු රටාවට ඉඩදීම තමයි සුදුසුම කරුණ වන්නේ. ඇඳක් උඩ පාඩම් කිරීමට වඩා විභාග පරිසරයට වඩාත් සමීප වන මේසයක් සහ පුටුවක් භාවිතා කරමින් පාඩම් කිරීම වඩාත් සුදුසු බවයි මනෝ විශේෂඥයින් පවසන්නේ. ඒ හැරෙන්න අනික් කාරණාවලදී දරුවා වඩාත් සාර්ථක සහ පහසු බවක් හඟින පාඩම් ක්‍රමයකට ඉඩදීම සහ පහසුකම් සැලසීම ඉතා වැදගත් වෙනවා. තමන්ට හිතෙනා කාල වේලාවන් වලදී දරුවාව පාඩම් වැඩ කටයුතු කිරීමට යොමු නොකර දරුවා පහසු සහ සාර්ථකයැයි හඟින වේලාවන් වලදී දරුවාට ඒ දේවල් කිරීමට පූර්ණ නිදහස ලබාදෙන්න.
5. සමබර ජීවන රටාවකට දරුවාට පහසුකම් සලසන්න
3 වසරට පා තැබූ දා පටන් පාසල් වෙලාවෙනුත් අනතුරුව රාත්‍රී වෙනකම් දරුවන්ව පන්ති කරා ඇදගෙන යන දෙමවුපියන් අපිට දකින්න ලැබෙනවා. එය ඉතාම අවදානම් ක්‍රියාවක්. විෂයය කරුණු කාරණා වලට දරුවාගේ නිසි අවධානය ලැබෙන්න නම් දරුවාගේ මානසික සමතුලිතතාවය යහපත්ව පැවතීම ඉතා වැදගත්. පාඩම් වැඩ වුවත් එක දිගට විනාඩි 45කට වඩා කිරීම ඒවා මතකයෙන් ගිලිහී යෑමට බලපාන බවයි විශේෂඥයින් සොයාගෙන තිබෙන්නේ. ඒ නිසා සෑම විනාඩි 45කට වරක්වත් පාඩම් වැඩ අතර කෙටි විවේකයක් දරුවාට ලැබීම වැදගත්. ඒ වගේම එකම විෂයය දිගටම පාඩම් කරනවාට වඩා උදේ සවස හෝ පැය කීපයකට වතාවක් විෂයයන් මාරු කරමින් පාඩම් වැඩ කිරීමට වඩාත් සාර්ථක බවයි අධ්‍යාපන විශේෂඥයින් පවසන්නේ. දිනපතා දරුවාගේ විනෝදාංශ, රූපවාහිනී නැරඹීම් සහ ක්‍රීඩා වැඩකටයුතු ආදිය සඳහා කාලයක් වෙන් කිරීමත් ඉතා වැදගත්. ඒ වගේම මනස සන්සුන් කරන ව්‍යායාමවලට දරුවාව යොමු කිරීමත් දරුවාට අතිශයින් උපකාරී වන කාරණයක්. භාවනා ක්‍රමයක්, හුස්ම ගැනීමේ සහ මනස ඒකාග්‍ර කරගැනීමේ ව්‍යායාමයක් දරුවාට හුරු කරවීම මගින් විභාගය සහ පාඩම් වැඩ කටයුතු නිසා ඇතිවන අනවශ්‍ය ආතතිය දරුවාගෙන් ඈත් කරවන්නට හැකියාව ලැබේවි!
අපි මේ ගෙන ආ කරුණු ඔබේ දරුවාගේ විභාග සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වනවා නොඅනුමානයි. පාසලේ ගුරුවරුන් හා අධ්‍යාපන වැඩකටයුතු සිදුකර නිවසට පැමිණෙන දරුවාට ඔබ තවත් ගුරුවරයෙක් බවට පත්වන්නට යන්න එපා. ඒ වෙනුවට දරුවාගේ හැකියාවන් සහ දුර්වලතාවයන් අධ්‍යයනය කොට හඳුනාගෙන ඒ සඳහා ගුරුවරුන්ගේද උදවු උපකාර ලබාගනිමින් දරුවාව සාර්ථකත්වය කරා ගෙනියන වගකිවයුතු මවෙක්/පියෙක් වී දරුවාට ශක්තියක් වන්න.
Leave a Reply