ඕනෑම වෙලාවකට කන්න හැකි ලටපටස් ස්වීට්ස් ටිකක් හදමුද?

හවස තේ වෙලාවට නිකන්ම තේ එක බොනවට වඩා මොනවහරි හපන්නත් තියනවනම් නියමයි නේද? ඒ වගේමයි කාලෙකින් ගෙදර ඉන්න පුතාට දුවට හවසට මොනාහරි හදලා දෙන්න තියනවනම් ඒ ගැ​න අම්මලා දෙපාරක් හිතන්නේ නෑනේ. හැබැයි තියන වැඩත් එක්ක ලොකු ලොකු දේවල් හදන්නත් අමාරු ඇති. එහෙම වෙලාවකට හදන්න පුළුවන් ලේසිම ලේසි ස්වීට්ස් ටිකක් තමයි අද අපි කියලා දෙන්නේ.

 

1. කජු කෑලි හෙවත් රටකජු ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. රටකජු ග්‍රෑම් 250
  2. පැණි මි.ලි.250
  3. බටර් ග්‍රෑම් 30
  4. රත් නොකළ පැණි මේස හැඳි 2ක්

 

  • මුලින්ම රටකජු ටික අවන් දාගන්න. ඊට පස්සෙ කොටසක් කෑලි වලට කපාගන්න. භාජනයක් අරගෙන පැණි ටික දාලා රත් කරගන්න. නූලක් වගේ ඇදෙන විදියට රත් කරගන්න. ඊටපස්සෙ ලිපෙන් බාලා ඒකට රටකජු එකතු කරගන්න. 
  • කලවම් කරන ගමන් බටර් ටිකයි රත් නොකළ පැණි ටිකයිත් එකතු කරන්න.
  • මිශ්‍රණය බටර් ගාගත් ලෑල්ලක තුනී කරලා, හයි වෙන්න කලින් කෑලි කපාගන්න. 

 

2. මාශ්මෙලෝස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. සීනි ග්‍රෑම් 250
  2. ජෙලටින් ග්‍රෑම් 15
  3. වතුර පීරිසි කෝප්ප 1
  4. කලරින් ටිකක්
  5. කෝන්ෆ්ලා ටිකක්
  6. වැනිලා ටිකක්

 

  • සීනි ටිකට වතුර කෝප්ප 1/2 ක් දාලා දියකරගන්න. ඉතුරු කෝප්ප 1/2ට ජෙලටින් ටික දියකරගන්න. පස්සෙ සීනි මිශ්‍රණය  ලිපේ තබා උණු කරගන්න.
  • සීනි ටික නූල් ඇදෙන පදමට උණු උනාම දියකරගත් ජෙලටින් ටික එකතු කරන්න. විනාඩි පහක් හයක් ලිපේම තියාගෙන හැඳිගාන්න. ලිපෙන් ඉවත් කර නිවෙන්න තියන්න.
  • ඊට පස්සෙ වැනිලා, කලරින් දාලා හොඳට බීට් කරන්න. මිශ්‍රණය හොඳට බීට් වෙලා අතට තද ගතියක් දැනෙනව නම් පදම හරි. දැන් බටර් තවරපු ට්‍රේ එකකට දාලා තුනී කරගෙන පැය 12ක් සෙට් වෙන්න හොඳින් වසා සාමාන්‍ය කාමර උෂ්​ණත්වයේ  තියන්න.
  • පැය 12කට පසු උඩින් කෝන්ෆ්ලා ඉස කෑලි කපාගන්න. ට්‍රේ එකෙන් කෑලි ඉවත් කර වටේට කෝන්ෆ්ලා තවර ගන්න. 
  • ඕනනම් පාට පාට මිශ්‍රණ කිහිපයක් දාගෙන හදාගන්නත් පුළුවන්.

 

3. කේක් පොප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. චොක්ලට් කේක් ග්‍රෑම් 100
  2. බටර් කේක් ග්‍රෑම් 100
  3. කුකින් චොක්ලට් ග්‍රෑම් 100
  4. ලොලි පොප් ස්ටික්
  5. ස්ප්‍රින්කල්ස්

 

  •  මුලින්ම කේක් ටික කුඩු කරගන්න ඒකට ඩබල් බොයිල් කරගත් චොක්ලට් ටික ටික එකතු කරමින් අනාගන්න. අතේ නොඇලෙන ගා​ණට ආවම බෝල හදාගන්න. බෝල ටික ෆ්‍රිජ් එකට දාලා තව චොක්ලට් ටිකක් අරන් ඩබල් බොයිල් ​කරගන්න.
  • දැන් ෆ්‍රිජ් එකෙන් ගත්තු කේක් බෝල වලට ලොලිපොප් ස්ටික් ගහලා අර ඩබල් බොයිල් කරගත් චොක්ලට් ටික උස කප් එකකට දාලා කේක් පොප්ස් ඒක ඇතුලට ඔබලා අරන් ස්ප්‍රින්කල්ස් ඉහලා ස්පොන්ජ් හෝ ෆෝම් එකක ස්ටික්ස් ටික ගහල ආයෙ ෆ්‍රිජ් එකට දාන්න.
  • බර්ත්ඩේ පාටි එකකට වගෙත් නියමයි මේක.

 

4. සීනි මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. හාල්පිටි ග්‍රෑම් 500
  2. පොල් බෑයක කිරි
  3. බිත්තර 2
  4. ලුණු
  5. සීනි

 

  • මුලින්ම හාල්පිටි බැදලා හලාගන්න. ඒකට හොඳට ගසාගත් බිත්තර 2 හා ලුණු එකතු කරන්න. ඒක ඝණ ද්‍රාවණයක් වගේ හැදෙනකල් පොල්කිරි එකතු කරන්න.
  • දැන් නොම්බර 17 හෝ නොම්බර 32 නොසල් වලින් මුරුක්කු මිශ්‍රණය රත් වූ තෙලට පයිප් කරගෙන රන්වන් පාට වෙනකම් බැදගන්න.
  • දැන් තෙල් බේරෙන්න මුරුක්කු ටික පැත්තකින් තියාගන්න.
  • භාජනයකට සීනි හා වතුර දාලා උණු වෙනකක් හැඳිගාන්න. එහෙම හදාගත්තු පත්පැණි  වල මුරුක්කු ටික දාල දවටගෙන නිවෙන්න අරින්න.

 

5. පාට පාට පොල්ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. ගාගත් පොල් ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 150
  3. වතුර කෝප්ප 1
  4. කලරින් 
  5. වැනිලා තේ හැන්ඳක්

 

  • භාජනයක් අරගෙන සීනි වලට වතුර කෝප්ප 1දාලා දියකරගන්න. ඒක ලිපේ තියලා ඒකට පොල් ටිකයි කලරින් ටිකකුයි දාගන්න. හොඳට කලවම් කරන්න.
  • දැන් මිශ්‍රණය වටෙන් කරවේගෙන එනකොට වැනිලා දාගන්න. ටිකකින් ලිපෙන් බාගන්න. බටර් ගාගත් ලෑල්ලකට මිශ්‍රණය දාලා තුනී කරගන්න. ගොඩක් නිවෙන්න කලින් කෑලි කපාගන්න.

 

6. පනා කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය -:

  1. පාන් පිටි 500g
  2. පොල් කිරි කෝප්ප 1
  3. බිත්තර 1
  4. කහකුඩු ස්වල්පයක්

 

සීනි පත්පැණි කිරීම සදහා-:

  1. සීනි 100 g
  2. වතුර 

 

  • මුලින්ම පිටි, බිත්තර, කහකුඩු දමා එයට පොල් කිරි දමා අනාගන්න. අතේ නොඇලෙන ගානට පිටි ගුලියක් ආකාරයට එනතෙක් හොඳින් අත් ගසා පිටි ගුලිය සකසා ගන්න. වතුර දාන්න එපා. 
  • පිටි මෝලිය ටිකක් වෙලා තෙත රෙදි කඩකින් වසා තබන්න.
  • ඉන්පසු ගෑරැප්පුවක් ගෙන එහි පිට පැත්තට පිටි ගුලියෙන් කෑල්ලක් ගෙන  තබා තද කර කොනක සිට රෝල් කරන්න.
  • මේ ආකාරයට සියල්ලම සකසා ගන්න.
  • ඉන්පසු බටර් ගෑ තැටියක් ගෙන එයට එකින් එක අසුරන්න. මෙය  200 C°උෂ්ණත්වය යටතේ විනාඩි 50ක් බේක් ගන්න.
  • ඉන්පසු භාජනයක් ගෙන එයට වතුර ස්වල්පයක් සමග සීනි ටික දමා මද ගින්දරේ හැදි ගාන්න. බුබුලු දමා උඩට එනතෙක් ලිපේ තියා විනාඩි 15ක් විතර හැඳිගාන්න. ද්‍රාවණය උකු ගතියට එන තෙක් හැඳි ගාන්න. ඒ කියන්නේ නුල් ඇදෙන පදම වන තෙක්. වතුර වීදුරුවකට මේ දාවණයෙන් ටිකක් දැමූ විට යටට ගිලෙනවා නම් අන්න පදම හරි. දැන් බේක් කරගත් පනා කැවුම් ටික දමා හැඳි ගාන්න. ඉන්පසු ලිප නිවා පනා කැවුම් නිවෙන්නට තියන්න.

*මෙය බේක් කරනවා වෙනුවට ගැඹුරු තෙලේ බැද ගෙනද පැණිපත් දමා ගත හැකිය.

මේ ප්‍රමාණ වලින් පනා කැවුම් 110ක් පම​ණ සාදා ගත හැක.

 

7. ජුජුබ්ස්

අවශ්ය ද්‍රව්‍ය  :-

  1. ජෙලටින් 30g
  2. සීනි 250g
  3. වතුර කෝප්ප 2
  4. කලරින් කැමති පාට කිහිපයක්
  5. වැනිලා ස්වල්පයක්දෙ
  6. හි යුෂ තේ හැඳි 2-3ක්

 

  • මුලින්ම ජෙලටින් ටික වතුරේ දිය කර ගන්න. (ඩබල් බොයිල් ක්‍රමයට ) 
  • ඉන්පසු සීනි 250 වතුර කොප්ප 2 සමග ලිපේ තියා හොඳින් හැදිගාන්න. සීනි දිය වී බුබුලු දමන තෙක් හොඳින් හැඳි ගාන්න. ගින්දර පිලිබඳව සැලකිලිමත් වන්න. වැනිලා එකතු කරන්න. එසේ සීනි දියවී පදමට ආ පසු ජෙලටින් එක් කර ලිප නිවා දමා දෙහි එකතු කරන්න.
  • ඉන්පසු වෙන වෙනම භාජන වලට දමා කැමති පාටවල් බින්දුව බැගින් එකතු කරන්න.
  • බටර් ගෑ තැටියක දමා කාමර උෂ්​ණත්වයේ සෙට් වෙන්න තියන්න. සෙට් වුන පසු කෑලි කපා සීනි තවරා ගන්න. අයිස් කියුබ් ට්‍රේ එකකට බටර් ටිකක් ගාගෙන එයට දමා සෙට් වෙන්න තියන්නත් පුළුවන්.