මාතර බෙලිඅත්ත පැත්තෙ යන්න දැන් කට්ටිය ආසයිනෙ නෙහ්. අලුත් රේල් පාර දිගේ වට පිට බල බල ඒ අවට තව බලන්න තියන පන්සල් එහෙමත් වැඳගෙන කරගෙන එන්න ඒ පැත්තට ගිහින් එන්න තියන්වනම් දවසකුත් මදි වෙයි. අපි වැඩිය නොගිය පැත්තක් උනත් දැන් ටික ටික ෆේමස් වෙන නිසා ලංකාවෙ මේ වගේ සුන්දර ගම්මානත් තියනවා කියලා ඔන්න ඔයාලා මතක තියාගන්න හොඳේ.මේ තැන් වලට ගිහිල්ලා සුන්දරත්වය විඳින ගමන් පරිසරයට කිසිම හානියක් නොකරන්නත් වගබලාගන්න.
1 මුල්කිරිගල රජමහා විහාරය හා කෞතුකාගාරය
ශ්‍රී ලාංකීය ගල් වලින් තැනූ විහාරයන් අතරින් විශේෂ තැනක් හිමිකරගන්නා මේ විහාරය ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගත්තොත් දෙවෙනි වෙන්නෙ සීගිරියට පමණයි.දැනට රජය විසින් පුරාවිද්‍යාත්මක ස්ථානයක් විදියට නම් කරලා තියන මේ විහාරය ගෘහ නිර්මාණය, චිත්‍ර හා මූර්ති වලින් සමන්විත ගොඩක් ලස්සන විහාරයක්.
මේ විහාරයේ ඉතිහාසය ගත්තොත් සංඝමිත්තා තෙරණිය විසින් ලංකාවට ගෙනා බෝධීන්වහන්සේගෙන් ලබාගත් බීජ 32න් එක බීජයක් පැළ කරලා තියෙන්නෙ මේ විහාරයේ.
දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කර තියන මේ කෞතුකාගාරය පිහිටලා තියෙන්නෙ හම්බන්තොට මුල්කිරිගල ගමේමයි.අතීතයේ ගම්වැසියන් භාවිතා කරපු මෙවලම්, පැරණි වාර්තා, සිතුවම් වගේ දුර්ලභ දේවල් වල එකතුවක් මෙහිදී දකින්න පුළුවන්.
යන්නෙ මෙහෙමයි –
තංගල්ලෙ ඉඳලා මුල්කිරිගල හන්දියට යන්න. එතන ඉඳලා කි.මි 2ක් දුරින් තමයි විහාරය පිහිටලා තියෙන්නෙ.විහාරය යෝධ පර්වත වලින් හැදුණු එකක් නිසා මේකට පුංචි සීගිරිය කියලත් කියනවා.
2 රැකව කැස්බෑ දර්ශන
කැස්බෑවෝ බලාගන්න රැකව බීච් එක තරම් වෙන තැනක් තංගල්ල පැත්තේ නැතුව ඇති. කැස්බෑවෝ බිත්තර දාන්න මේ රැකව වෙරළට එන දර්ශනය නම් ගොඩක් සුලබයි.රැකව වෙරළට කැස්බෑවෝ බලන්න එන අයව කණ්ඩායම් විදිහට බලන්න එක්කන් යනවා. අපේ යන සමහර අය මේ බිත්තර අල්ලන්නත් කැස්බෑ පැටව් අල්ලන්නත් යන නිසා එයාලට වෙන කරදරත් අපමණයි. ඒ වගේම සති අන්ත වල ගොඩක් අය බලන්න යන එක ඒ සතුන්ට හිංසාවක් වෙලා තියෙන්නෙ.හැමදාම රෑ 8.30 ඉඳලා මධ්‍යම රාත්‍රිය වෙනකල් බලන්න පුළුවන්. අයකිරීමකුත් කරනවා. යන හැම කෙනෙක්ම හිතන්න මෙයාලට කරදරයක් නොවෙන විදිහට ගිහින් එන්න. ෆොටෝස් ගන්න ලැබෙන්නෙත් නෑ ඔන්න. අවුරුද්ද පුරාම ආවත් වැඩි වශයෙන් එන්නෙ අප්‍රේල් – ජූලි අතර කාලෙ තමයි.
3 පරාවැල්ල ස්වභාවික පිහිනුම් ප්‍රදේශය
තංගල්ල පැත්තේ ගිහින් මුහුදේ නාන්නෙ නැතුව එන එකත් හරියට වෙඩින් එකකට ගිහින් කාලා ආවේ නෑ වගේනේ. මේ තමයි ඒ පැත්තෙන් නාන්න තියන සුපිරිම පොට් එක. නාන්න, සෙල්ලම් කරන්න මෙකී නොකී හැම දෙයකටම මෙතන ඉඩ ප්‍රස්ථාව තියනවා. හැන්දෑවට ඉර බැහැගෙන යන හැටි බලන් ඉන්න ආසා හිතෙන තරමෙ ලස්සන වෙරළ තීරයක් තමයි මේ.
4 කලමැටිය කුරුළු උද්‍යානය
තංගල්ලට කිට්ටුව තියන මේ කලමැටිය කුරුළු පාරාදීසය ලංකාවේ පැරණිතම හා ප්‍රධානම අභයභූමියක් විදියට 1938දි ප්‍රකාශයට පත් කළත් ගම්වාසීන්ගේ විරෝධය නිසා ඒක 1946දි අහෝසි උනා.නැවත වනජීවී දෙපාර්තමේන්තුව විසින් 1984 දී මෙය වනජීවී අභයභූමියක් විදියට නම් කළා.
තංගල්ල නගරයේ ඉඳලා කි.මි 20ක් දුරින් තියන මේ අභයභූමිය දැන් ලංකාවේ ප්‍රධානම පක්ෂි නැරඹුම් මධ්‍යස්ථානයක්.මේ අභයභූමියට කඩොලාන කලපුවක් ඇතුළත් වෙනවා.සංක්‍රමණික පක්ෂීන් 54ක් ඇතුළු පක්ෂි විශේෂ 150කට වැඩියෙන් මේ අභයභූමියේ වාසය කරනවා.ඊට අමතරව මාළු විශේෂ 41ක්, උරඟ විශේෂ 38ක් හා ක්ෂීරපායි විශේෂ 20ක් වගේ මෙහෙ ගියාම බලාගන්න පුළුවන්.මේ චාරිකාවට පැය 2 1/2ක් වගේ යනවා.බෝට්ටුවකින් යන්න තියෙන මෙහෙ යනවනම් හොඳම වෙලාව උදේ 6 හා හවස 3න් පසුවයි.ඒ වගේම කැළෑව ඇතුළේ තියන ගල් තරණය කරන්නත් ඇවිදින්නත් පුළුවන්.
5 බෙලිඅත්ත දුමිරිය ස්ථානය
මෑතකදි මහජන ප්‍රයෝජනය සඳහා විවෘත කරපු මේ බෙලිඅත්ත දුම්රිය ස්ථානය ඒ අවට ජනතාවගේ ගමනාගමන පහසුකම් තවත් වැඩි කළා. දැනට උදෑසන දුම්රිය 6ක් විතර බෙලිඅත්තෙන් පටන් ගන්නවා. සුන්දර වෙල් යායවල්,වෙහෙර මැදින් මේ රේල්පාර වැටිලා තියෙන්නෙ. ඉතා නවීන උපකරණ එකතු කරලා හදාලා තියන මේ ස්ටේශන් එක නොබලා නන් එන්න එපා
6 ඇල්ලකන්ද ජාතික වනෝද්‍යානය
අපිට වැඩිය හුරු නැති වනෝද්‍යානයක් තමයි මේ ඇල්ලකන්ද කියන්නේ. අපරැක්ක ප්‍රදේශයේ තියන මේ වනෝද්‍යානය තුළ ඉතා වටිනා ශාක විශේෂ බලාගන්න පුළුවන් .ඒ වගේම වනෝද්‍යානය ඇතුළෙ තියන වැව හා ඒ අවට සත්තු බලන්නත් අවස්ථාව තියනවා. ඒ වගේම වැදගත්ම දේ මේක ඇතුළේ භික්ෂු ආරාමයක් තියනවා. භාවනායෝගීව වැඩ වාසය කරන භික්ෂූන්ට කෑම ලබා දෙන්න විතරක් උදේ 10-12 අතරේ මේ ආරාමයට යන්න පුළුවන්. කැමති අයට දාන පිළිගන්වන්න පුළුවන්. වනෝද්‍යානය ඇතුළේ තියන වැවෙන් නාන්න නම් දෙන්නෙ නෑ.හැබැයි අන්තෙටම ඇවිදගෙන ගිහින් සිරි නරඹන්නනම් අවස්ථාව තියනවා
7 හුම්මානය
මාතර දික්වැල්ල පැත්තට වෙන්න තියන හුම්මානය නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.මුහුදු ජලය පටු ස්ථානයකින් ඇවිල්ලා විශාල තෙරපුමක් එක්ක ගල් කුහරයක් තුලින් සෑම විනාඩි 2කට සැරයක් විහිදෙන විට නැඟෙන හූ… ශබ්දය නිසා මෙයට හුම්මානය කියන නම ලැබිලා තියෙන්නේ. ගොඩක් මෝසම් සුළං හමන කාලෙට මේක ගොඩක් ලස්සනට බලාගන්න පුළුවන්.
කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල 185 සැතපුම් කණුව ලඟින් හැරිලා මීටර් 900ක් වගේ ගියාම හමුවෙන කුඩාවැල්ල ධීවර ගමේ තමා මේක පිහිටලා තියෙන්නෙ. දැනට වාර්තා වෙන විදියට ලෝකයේ දෙවෙනි විශාලතම ස්වභාවික වතුර මල වෙන්නෙ මේ හුම්මානයයි.
Leave a Reply