සීසර් ගැන බොහොම කලබල කතාන්දර පහුගිය දිනවල ඇහෙන්නට ගත්තා. ඒ එක්ක මොකද්ද මේ සිසේරියන් කියලා හැමෝටම කුතුහලයකුත් ආවා. දරුවෝ ඉපදුණු සහ උපදින්න ඉන්න අම්මලා නම් මේ කරුණු ගැන හොඳ වැටහීමකින් ඉන්නවා. ඒත් ඒ අත්දැකීම් නැති අයට මොකද්ද මේ නෝමල් ඩිලිවරි? මොකද්ද සිසේරියන්? ඇයි ඒව කරන්නේ? ආදී ගැටලු ගොඩක් තියෙනවා. මවක් වෙනවා කියන්නේ ඒ අදාළ මවට විතරක් නෙමෙයි, ලංකාවේ නම් අසල්වැසියන්ට පවා සතුටට කාරණාවක්. ඉතින් අසිරිමත් ඒ දරු උපත සහ සීසර් ගැනත් ඒවායේ ගුණ අගුණ ගැනත් විස්තර ස්වල්පයක් අපි දැනගමු.
1. ඇයි බබෙක් එලියට එන්න අමාරු?
බබෙක් උපදිනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. අපි දන්නවා අපේ ගෙවල් වල ඉඳලා හිටලා සුරතල් සතුන් පැටවු බිහිකරනවා. බල්ලෝ බළලුන් වගේ සතුන් කිසි ගේමක් නැතුව පැටවු තුන හතර දානවා. ඒත් මනුෂ්‍ය අම්මා කෙනෙක්ට දරුවෙක් ඉපදීම කියන්නේ බොහොම සංකීර්ණ සිදුවීමක් වෙලා තියෙනවා. එක අතකින් හෝමෝ සේපියන් විදියට අපේ ඔලුගෙඩිය ලොකු වුනා. ඒ වගේම අපේ හිටගෙන ඇවිදීම එක්ක ශ්‍රෝණි මේකලාවේ විවරයත් පොඩි වෙලා තියෙනවා. ඒ වගේම දරුවෙකු ලැබෙන ඉරියව්වත් අනෙක් වානරයන්ට වඩා අපේ වෙනස් වෙලා තියෙනවා. අපේ නෑයෝ හැටියට ඉන්න ළඟම කට්ටිය වෙන වඳුරු, චිම්පන්සි ආදී සතුනුත් වඩාත් ලේසියෙන් දරුවන් බිහි කරනවා. ඒත් මනුස්ස අම්මලාට දරුවන් බිහිකරගන්නට විශාල වේදනාවක් විඳින්නට සිදු වෙලා තියෙනවා.
2. සාමාන්‍ය ප්‍රසූතිය
සාමාන්‍ය දරු ප්‍රසූතියකදී ගර්භාෂයේ සිටින දරුවා පහලට තෙරපී විත් යෝනිමාර්ගයෙන් එලියට එනවා. මෙය වචන කිහිපයකින් කිව්වත් ඇතැම්විට පැය ගණනාවක් මේ කාර්යය සඳහා ගත වෙනවා. සාමාන්‍ය ප්‍රසූතියක් අවස්ථා තුනකින් සමන්විතයි. පූර්ව ප්‍රසව අවස්ථාව, සක්‍රිය ප්‍රසව අවස්ථාව සහ අවසාන අවස්ථාව වශයෙන් කෙටස් තුනක් තිබෙනවා. වර්තමානයේ දරු උපතක් සඳහා දින ලං වන විට රෝහල කරා යනවා. ඒත් ප්‍රසව වේදනාව කලින්ම ඇතිවෙන අවස්ථාවනුත් තියෙනවා. මේ ගැන ලංකාවේදී නම් මව්වරුන් මාතෘ සායන හරහා දැනුවත් කරනවා. සාමාන්‍ය ප්‍රසූතියකදී කලින් ඒ සඳහා නියමිත සූදානමකින් ඉන්නට ඕනා. එහෙම සූදානමින්, ඒ අවස්ථාවන් ගැන හොඳින් පැහැදිලි දැනුමකින් හිටියොත් වැඩි කලබලයක් නැතුව ඒ අවස්ථාවට මුහුණ දෙන්නට හැකියාව ලැබෙනවා.
3. සිසේරියන් සැත්කම
සිසේරියන් සැත්කම කියන්නේ දරුවෙකු උපදින්න තියෙන ආරක්ෂිතම ක්‍රමයක්. වෛද්‍යමය හේතුන් මත වගේම අද කාලේ කාර්යබහුල ජීවන රටාව සහ වෙනත් සමාජමය හේතු නිසාත් සිසේරියන් සැත්කම් වැඩිවෙලා තියෙනවා. ලංකාවේ නම් දරු උපත් වලින තුනෙන් එකක් පමණ සිසේරියන් සැත්කම් වලින් සිදුවන බව අනාවරණය වෙලා තියෙනවා. මුලින්ම කොඳු ඇට පෙළේ අදාළ ස්ථානයට එන්නතක් විදීමෙන් මවගේ අදාළ කොටස නිර්වින්දනයකට ලක් කරනවා. සිසේරියන් සැත්කමකදී සාමාන්‍යයෙන් කාන්තාවන් යට ඇඳුම් අඳින සීමාවේ උදරය කොටසේ යට ඇඳුමට මදක් පහලින් කැපුමක් යොදනවා. කැපුම ඔස්සේ සීරුවෙන් දරුවා එලියට ගන්න මෙම සැත්කමක් සාමාන්‍යයෙන් පැයකට අඩු කාලයකදි කරන්නට හැකියාව තියෙනවා. සාමාන්‍ය දරු උපතකට වඩා සිසේරියන් සැත්කමක් හරහා දරුවෙකු ලැබුන විට තරමක වැඩි කාලයක් තුවාලය සුව වන්නට ගත වෙනවා.
4. සීසර් කරන්න වෙන වෛද්‍යමය හේතු
- ට්වින්ස් ලා ඉන්න විට – දරුවන් දෙදෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දරු ගැබ තුල සිටිනවා නම් වර්තමානයේ සාමාන්‍ය ප්‍රසූතියට වඩා බොහෝවිට සිසේරියන් සැත්කම් වලට යොමු කරනවා. මන්ද සාමාන්‍ය ක්‍රමයට ලබාගන්න ගියොත් දරුවන්ටත් මවටත් අවදානම වැඩි වෙනවා.
- දියවැඩියාව සහ හෘද රෝග ආදිය මවට තිබේ නම් වගේම මවගේ සෞඛ්‍ය ගැටළු තියේ නම් එවන් අවස්ථාවක වෛද්‍යවරුන් සීසර් ක්‍රමයක් හරහා දරුවන් බිහිකර ගැනීමට නිර්දේශ කරනවා.
- එච් අයි වී සහ ලිංගික හර්පීස් වැනි රෝග තිබෙන විට යෝනිය හරහා දරුවන් ගතහොත් දරුවන්ට ඒ ලෙඩ බෝවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවටත් සිසේරියන් සැත්කම් නිර්දේශ කරනවා.
- බබාගේ ස්වභාවය – බබා ගොඩක් ලොකු නම්, බබාගේ ඔලුව ගොඩක් ලොකුනම් එවන් අවස්ථාවලත් සිසේරියන් වලින් බබාව එලියට ගන්නවා. දැන් ස්කෑන් තියෙන නිසා කලින්ම දරුවා සිටින ඈන්ගල් එක, දරුවාගේ තත්ත්වය බලාගන්න පුළුවන්. යම් වෙනසක් තිබේ නම් දැන් දොස්තර මහත්වරු සිසේරියන් මගින් දරුවා එලියට ගන්නට නිර්දේශ කරනවා.
- කිසියම් හෝ කරුණක් නිසා දරුවා සාමාන්‍ය ක්‍රමයට එලියට ඒම මවට හෝ දරුවාට අනවශ්‍ය අවදානමක් නම් එවැනි ඕනෑම මොහොතක වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමක් හරහා දරුවා එලියට ගන්නවා..
5. සීසර් වලට යොමුවන්න තියෙන සාමාජික හේතු
- දරුවන් සාමාන්‍ය ක්‍රමයට එද්දි හරියට වෙලාවක් කියන්න බැහැ. දරුවන් මෙලොව එලිය දකින වෙලාව විදියට නව බිළිඳාගේ හිස කොටස යෝනියෙන් එලියට පැමිණෙන වෙලාව ඈත අතීතයේ පටන් ලබාගත්තා. ඒ අනුව දරුවාග් කේන්දර සැකසීම සිදුවුනා. අද කාලේ කොච්චර දියුණු වුනත් පැරණි ජෝතිශ වැනි මිත්‍යා විශ්වාස කරපින්නාගත් උදවිය දරුවන් අදාළ නැකැත් වෙලාවට එලියට ගන්නට සිසේරියන් සැත්කම් සිදුකරනවා.
- මවට ව්‍යායාම මදි කම සහ කලබල ජීවන රටාව නිසාත් ඇතැම් මව්වරුන් සාමාන්‍ය ක්‍රමය ප්‍රතික්ශේප කරනවා. සාමාන්‍යයෙන් හොඳට ව්‍යායාම ආදිය කරලා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක ඉන්න මවකට සාමාන්‍ය ක්‍රමයට දරුවන් ලැබීම පහසුයි.
- මීට දශක කීපයකට වඩා දැන් මව්වරුන් වඩාත් සංවේදීයි. ඔවුන්ට ප්‍රසව වේදනාව වැනි දැඩි වේදනාවක් උරුම කිරීමට සැමියා සහ පවුලේ අය අකමැති වෙනවා. ඒ වගේ අවස්ථාවලත් සාමාන්‍ය ක්‍රමය වෙනුවට සිසේරියන් සැත්කම මගින් දරුවන් ඉපදීම සිදුවෙනවා.
දරුවන් සාමාන්‍ය ක්‍රමයට ලැබීමකදි මවට දැනෙන වේදනාව ලොව වේදනා අතර ඉහළම තියෙන වේදනාවක් බව දැක්වෙනවා. එවැනි වේදනාවක් මගහැර අවදානම අඩු සැත්කමකින් දරුවා ගන්න එක ඇතැම් වෛද්‍යවරුන්ද එතරම්ම වරදක් ලෙස දකින්නේ නැහැ.
6. යෝනිමය ප්‍රසූතියේ වාසි අවාසි
යෝනිය තුලින් දරුවන් ප්‍රසූත කිරීම වඩාත් පිළිගත් ක්‍රමය ලෙස ලොව පුරා ප්‍රසව හා නාරිවේද විශේෂඥයින් බහුතරයක් සිතනවා. මේ හරහා දරුවන් බිහිවීමේදී තරමක වැඩි කාලයක් ප්‍රසව වේදනාව විඳින්නට වෙනවා ඒ වගේම දැඩි වේදනාවක්ද දැනෙනවා එහෙම වුනත් දරුවා බිහි වූ පසු ඉතාම අඩු කාලයකින් ඉස්පිරිතාලයෙන් පිටව යන්නට සාමාන්‍ය ප්‍රසූත කරන මව්වරුන්ට හැකියාව ලැබෙනවා. විශාල තුවාල ආදිය නැතිනම් ඉක්මනින්ම සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්න අවස්ථාව යෝනිමය ප්‍රසූතියෙන් පසු මවකට වාසි විදියට ලැබෙනවා. සීසේරියන් සැත්කමකට වඩා ඉක්මනින් දරුවා මවට බලන්නට ලැබෙනවා වගේම පෝෂ ගුණය පිරි මුල්ම කිරි වේල දරුවාට දෙන්නත් මවකට යෝනි ප්‍රසූතියේදි පුළුවන් වෙනවා. මවගේ ගර්භාෂය ඔස්සේ ස්වාභාවිකව එනවිට හමුවන බැක්ටීරියා ආදිය දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බවත් සොයාගෙන තියෙනවා.
යෝනි මාර්ගයෙන් දරුවාගේ හිස ඒමට යම් බාධාවක් වුනොත් වෛද්‍යවරුන් විසින් සෙන්ටිමීටර කිහිපයක සුළු කැපුම් ආදිය යොදනවා. ඒ තුවාල ටිකක් වේදනාකාරී වෙනවා. ඒ වගේම යෝනිමය ප්‍රසූතියකදී ඒ අවට ම තිබෙන මුත්‍රා පිටවීමේ පද්ධතියේ යම් යම් ගැටලු ඇතිවෙන අවස්ථා තියෙනවා.
7. සිසේරියන් හි වාසි
දැඩි වේදනාවක් නැතුව දරුවා එලියට ගන්නට ලැබුනත් සිසේරියන් එකෙන් පස්සේ ටික කලක් තුවාල හොඳ වෙනකල් වේදනාව විඳින්නට වෙනවා. ඉස්පිරිතාලෙන් මවට ගෙදර යන්නත් දවස් දෙක තුනකට වඩා ගත වෙනවා. වෛද්‍යමය හේතු නිසා අවදානමක් තිබේනම් සිසේරියන් සැත්කමකට යෑම වඩාත් යෝග්‍යයි. එසේ නොමැති අවස්ථාවල කලින් සැලසුම් කළ සිසේරියන් සැත්කමකදී මවට සහ අවට අයට ලැබෙන පහසුව තියෙනවා. ඒ වගේම දරුවා මවගේ යෝනි විවරයට වඩා අවදානම අඩු මාර්ගයකින් එලියට ගන්නට අවස්ථාවකුත් ලැබෙනවා.
සිසේරියන් කියන්නේ සැත්කමක්. සාමාන්‍ය ඩිලිවරි එකකින් ලැබෙන සුළු තුවාල වලට වඩා පුළුල් විවරයක තුවාලයක් සීසේරියන් එකෙන් පස්සේ ඉතුරු වෙනවා.ඒ තුවාලය ආසාදන වලින් ආරක්ෂා කරගැනීම මවට වගකීමක් ලෙස පැවරෙනවා. මේ සැත්කමින් පසු මවට මාස දෙකක්වත් ඒ සැත්කමේ වේදනාව සහ අවට පද්ධතිවල වේදනාවට මුහුණ දෙන්නට සිද්ද වෙනවා. සිසේරියන් සැත්කමකින් පසු ඊලඟ ප්‍රසූති වලදි සාමාන්‍ය ක්‍රමයට දරුවන් ලබාගන්න අපහසුයි. සිසේරියන් සැත්කම් තුනකට වඩා කරන්න හැකියාව නැති නිසා දරුවන් ගණනට ඉබේම සීමාවකුත් සිසේරියන් සැත්කම් වලදී පැනවෙනවා.
8. ස්වාභාවිකද සීසර් ද?
දරුවෙක් ලැබීම කියන්නේ අසිරිමත් දෙයක්. එය වඩාත් ස්වාභාවික ක්‍රමයට කරන්නට පුළුවන් නම් වඩා හොඳ බව ලොව නන්දෙසින් ඇහෙනවා. අමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවලත් දරු උපත් වලින් සියයට තිහක් පමණ අගයක් සිසේරියන් සැත්කම් හරහා වෙනවා. ඒත් ඒ රටවලුත් එම අගය අඩුකරන්නට උත්සාහ ගන්නවා.දැනට දරුවන් තුනක් ඉන්න බ්‍රිතාන්‍යයේ කේටි කුමරිය වගේ අයත් සිසේරියන් නැතිව සාමාන්‍ය ක්‍රමයට දරු ප්‍රසූතිය කළා. දරුවෙකු පතන මවක් ලෙඩ රෝග අඩුවෙන් සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම සහිතව සිටියොත් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් දරුවන් බිහිකරගන්න ලේසි වෙනවා. නිරෝගී දරුවෙකු කියන්නේ අපි හැමෝගෙම ජීවිතේ එක්තරා බලාපොරොත්තුවක්. ඉතින් ඒ දරුවකු බිහිකරගැනීම තවත් එක වැඩක් විදියට සලකන් නැතුව වඩාත් සංයමයෙන්, අවධානයෙන් ඒ අදාළ කටයුතු සිදුකරගැනීම මවගේත් අදාළ පවුලේ අයගේත් වගකීමක් වෙනවා.
Leave a Reply