මත්පැන් ගැන තියන මේ රසවත් වාර්තා ගැන දැනගන්න ​බොන කෙනෙක් වෙන්නම ඕන නෑ

මත්පැන් ​බොන ලංකාවෙ ගොඩක් අය ඉතින් බොන්නේ බේබදුකමේ වර්ල්ඩ් රෙකෝඩ් කඩන්න බලාගෙන වගේ තමයි. හැබැයි ඉතින් මත්පැන් කියන්නේ වගකීමකින් යුතුව විනෝදයට පාවිච්චි කරන්න ඕනෙ දෙයක් මිසක්, තමන්ගේ සෞඛ්‍යයටත්, සමාජයේ යහපැවැත්මටත් හානි වෙන විදිහට පාවිච්චි නොකළ යුතු දෙයක් කියලා අපි මතක් කරන්න කැමතියි. මේ කියන්න යන්නේ මත්පැන් සම්බන්ධයෙන් ලෝකයේ එක එක රටවල මිනිස්සු පිහිටුවල තියන එකකට එකක් වෙනස් ලෝක වාර්තා ගැනයි.

 

1. ලෝකේ දරුණුම බියර් ලෝලියෝ ඉන්න චෙක් ජනරජ​ය

චෙක් ජනරජය හැඳින්වෙන්නේ ලෝකයේ බියර් ලෝලීන්ගේ පාරාදීසය කියලයි. ඒක ​එහෙම හඳුන්වන්න හේතු ගොඩක් තියනවා. ප්‍රධානම හේතුව ඇහුවොත් හුඟක් දෙනෙක්ට කෙළ ගිළිලා බියර් තිබහක් ඇතිවෙයි. ඒ තමයි චෙක් ජනරජයෙ අගනුවර වෙන ප්‍රාග් නගරේ බියර් බෝතලයක් වතුර බෝතලයකටත් වඩා ලාබ වීම. චෙක් ජනරජයේ බියර් ඉතිහාසය අවුරුදු දාහකටත් වඩා පැරණියි. ඒ වගේම ලොවෙත් නැති රසවලින් සහ වර්ගවලින් යුතු බියර් මේ රටේ බොන්න ලැබෙනවා. ජනප්‍රිය බියර් වර්ගයක් වෙන පිල්ස්නර් වල උපත සිද්ධ වෙන්නෙත් චෙක් ජනරජයේ කියලයි කියන්නෙ. ලෝකයේ වැඩිම බියර් බොන ජනතාවක් ඉන්​න රට හැටියට චෙක් ජනරජය ලෝක වාර්තාවකුත් තියලා තියෙන්නෙ. 2011 අවුරුද්දෙදි ඒ ​රටේ එක පුද්ගලයෙක්ගෙ වාර්ෂික බියර් පරිභෝජනය ලීටර් 144.8ක් වුණා. ඒක ගිනස් ලෝක වාර්තාවක් බවටත් පත්වුණා. 2016 වෙද්දි ඒ ප්‍රමාණය 143.3ක් දක්වා පහළ බැස්සත් තාම එයාලා තමයි ලෝකේ ලොකුම බියර් ලෝලි​යෝ.

 

2. එක පාරට බියර් 150ක් බීපු අන්ඩ්‍රේ ද ජයන්ට්

අසූ අනූ ගණන් වල රෙස්ලිං බලපු කෙනෙක්ටනම් ඒ කාලේ හල්ක් හෝගන්ලා එක්ක හැප්පිච්ච අන්ඩ්‍රේ ද ජයන්ට්ව මතක ඇති. අඩි හතහමාරක් විතර උස, කිලෝ දෙසිය පණහක් විතර බර අන්ඩ්‍රේ ද ජයන්ට් කියන්නෙ බොන්නත් යෝධයෙක් තමයි. මෙයාට ගඟක් වුණත් බීල හිස්කරන්න පුළුවන් තරම් බීමේ හැකියාවක් තමයි තිබිල තියෙන්නෙ. අන්ඩ්‍රේගෙ බීමේ හපන්කම් ගැන හැදිලා තියන රස කතා නම් බොහොමයි. එක පාරක් අන්ඩ්‍රේ මිනිත්තු 45ක් ඇතුළත බියර් බෝතල් 100ක් බිවුවා කියලා එයාගෙ යාලුවෙක් කියනවා. තව දවසක් පිට්ස්බර්ග් වල බාර් එකකදි බියර් බෝතල් 127ක් ගිලදාපු අන්ඩ්‍රේව නැගිට්ටගන්නත් බැරි වෙලා තියනවා. කොහොම වුණත් අන්ඩ්‍රේගෙ බියර් බීම සම්බන්ධයෙන් දැනට තියන නිල නොලත් වාර්තාව තමයි එයා එක පාරක් බියර් 156ක් තනියෙන් බිවුවාය කියන එක. මේක නිල නොලත් වාර්තාවක් වුණාට අන්ඩ්‍රේ ගැන දන්න අය කියල තියන කතා එක්ක බැලුවම වෙන්න බැරි වැඩකුත් නෙමෙයි.

 

3. ලෝකයේ පැරණිම මත්පැන් වර්ගය

ලෝකයේ දැනට හම්බුවෙලා තියන මත්පැන් සම්බන්ධ සාක්ෂිය අවුරුදු 9000කටත් වඩා පැරණි කාලයකට අයිතියි. හරියටම කියනවනම් ක්‍රිස්තු පූර්ව 7000 වගේ කාලයකට තමයි මේ මත්පැන් අයිති වෙන්නේ. ඒවා හොයාගන්නේ චීනයෙන්. චීනයේ ජියාහු කියන ප්‍රදේශයේ තිබුණ නියොලිති​ක යුගයට අයිති නටබුන් කැණිමකදී හමුවුණ මැටි බඳුන් වලින් තමයි මේ සාක්ෂි හම්බු වෙන්නේ. සහල් වලින් පෙරණ ලද මත්පැන් වර්ගයක් මේ බඳුන් වල දාල තිබෙන්නට ඇතිය කියල තමයි කරපු පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙන්නේ.

බලන් ගියාම චීන්නුත් අතීතේ ඉඳන්ම සැපේ හිටපු සෙට් එකක්. නැද්ද?

 

4. වැඩිම මිලට අලෙවි වුණ විස්කි බෝතල​ය

විෂ්කි නැතේ මට සල්ලි නැතේ කිය කිය ඉන්න අපි වගේ නෙමෙයි ඉතින් ගිනි ගණන් දීලා විස්කි බොන උන්දැලත් රටේ ​ලෝකේ ඕන තරම් ඉන්නවනෙ. මේ කියන්න යන්නෙ ලෝකෙ වැඩිම මිලට අලෙවි වෙච්ච විස්කි බෝතලයේ වාර්තාව ගැන. එංගලන්තයේ එඩින්බර්ග් වලදි සිද්ද කරපු වෙන්දේසියකදි තමයි මේ ගිනි ගණන් විස්කි බෝතලය විකිණිලා තියෙන්නෙ. මේකෙ ගාණ සූටි රුපියල් වලින් කියල වැඩක් නැති නිසා ​බ්‍රිතාන්‍ය පවුම් වලින්ම කියන්නම්කො. මේකෙ ගාණ තමයි පවුම් අට ලක්​ෂ හතලිස් අට දාහක් (848,000). මැකලන් වැලරියෝ අදාමි නැමැති මේ විස්කි වර්ගය 1920 ගණන් වලදි තමයි නිෂ්පාදනය කරල තියෙන්නෙ. මේ වෙන්දේසිය සිද්ධ වෙලා තියෙන්නෙත් යහපත් කාර්යයක් උදෙසායි. දියුණු වෙමින් පවතින රටවල ජනතාව​ට පිරිසිදු ජලය පානය කරන්න අවස්ථාව සලස්වන ව්‍යාපෘතියක් වෙනුවෙන් තමයි මේ මුදල් බැරවුණේ. බලන්න ඉතින් බොන මිනිස්සු නිසා වුණත් සමාජයට සැලසෙන සේවය නේ?

 

5. බියර් ලීටරයක් ඉක්මනින්ම බීපු වාර්තා​ව

බියර් කෑන් දෙකක් තියාගෙන, බයිට් කන්දක් ඉස්සරහින් තියාගෙන පැය ගණන් බොන අයියලාට ලැජ්ජත් හිතේවි මේ බීම ගැන ඇහුවම. ඒ තමයි ලෝකේ ඉක්මනින්​ම බියර් ලීටරයක් බීමේ වාර්තාව. මේ වාර්තාවට හිමිකම් කියන්නේ ස්ටීවන් පෙට්‍රොසීනෝ කියන ඇමරිකානු ජාතිකයෙක්. එයාට බියර් ලීටරයක් බඩ​ට බස්සගන්න යන්නෙ තත්පර 1.3ක් විතරයි. 1977 තරම් ඈත කාලෙකදී තමයි මේ වාර්තාව පිහිටුවන්නේ. දශකයකටත් එහා කාලයක් යනකනුත් මේ වාර්තාව බිඳ හෙලන්න කවුරුවත් සමත්වෙලා නැහැ. පස්සෙ කාලෙකදි මේ මත්පැන් සම්බන්ධ වාර්තා ගිනස් පොතෙන් ඉවත් කරන්න බලධාරීන් කටයුතු කරල තියනවලු. ඒ නිසා අදටත් පෙට්‍රොසීනෝගෙ බියර් වාර්තාව නොබිඳී පවතින එකක්.

 

6. ලොකුම විස්කි බෝතලේ

මේ විස්කි බෝතලයෙන් ෂොට් එකක් වක් කරගන්න නම් ඉතින් අන්ඩ්‍රේද ජයන්ට් ​ට වත් බැරිවෙයි. මොකද බෝතලේ ඒ තරම් ලොකුයි. ලංකාවේ ලොකුම බෙබ්සිලා ඉන්න පාටියක් වුණත් ගේමක් නැතිව කවර් කරන්න පුළුවන් මේ බෝතලේට. ලීටර් 228ක විස්කි ප්‍රමාණයක් තියන මේ බෝතලේ අඩි 6කට ආසන්න උසකින් යුක්තයි. ෆේමස් ග්‍රවුස් කියන ෆේමස් විස්කි බ්‍රෑන්ඩ් එකට තමයි මේ වාර්තාගත බෝතලේ අයිති. මේක ඒ අය ප්‍රදර්ශනයට තියල තියන විස්කි බෝතලයක්.

 

7. විනාඩියකට වැඩිම කොක්ටේල් වාර්තාව

බියර් අරක්කු වලින් අපි දැන් යන්නේ කොක්ටේල් දිහාවට. වැඩිය සැර ජාති නැතුව හිමීට ක්ලාසි විදිහට කොක්ටේල් තොලගාන හාදයො හාදියොත් අපි අතර ඕන තරම් ඉන්නවනෙ. කොක්ටේල් එකක් හදන එකත් එක්තරා ආර්ට් එකක්. ​බොහොම සංයමයෙන්, විවිධ රසයන් මතුවෙන විදිහට හදන කොක්ටේල් කලාවේ දෙවිවරයෙක් වෙන්​න ඕ​නෙ ෂෙල්ඩන් විලී කියන්නෙ. එයා තමයි විනාඩියක් ඇතුළත ​වැඩිම කොක්ටේල් ගාණක් හදපු ලෝක වාර්තාවට හිමිකම් කියන්නෙ. ගණනින් කියනවනම් 18ක්. සෙල්ලම් නෑ නේද?

 

දැන් ඉතින් මේ ආටිකල් එක කියවපු ලයිෆී පාඨකයන් සමහරකටත් හිතෙන්න ඇති මේ සමහර වාර්තා බිඳ හෙලන්න යන්න. හැබැයි අපි නම් ඒ වැඩ අනුමත කරන්නෙ නෑ කියලත් අපි අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *