ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස අයට කියවන්න පටන් ගන්න සරල ඉංග්‍රීසි පොත්!

දැන් ඔය කඩ්ඩ තියෙනව නේද. ඔය කඩ්ඩ හෙවත් කඩුව හෙවත් ඉංගිරිසිය ගැන මොන තරම් ගීත කතන්දර හොඳට නරකට දෙකටම කිව්වත්, අපිට පිළිගන්න වෙනවා අද ලෝකේ ඉංග්‍රීසි දැනුම කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් කියන එක. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන ලොකු සීන් එකකට නෙවෙයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන විශ්ව දැනුමට විවෘත වෙන්න. ඒකට ඉතින් ජර්මානු බාසාව, ස්පාඤ්ඤ බාසාව ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි අපිට ලඟම සහ ලේසිම ඉංග්‍රීසි. ආන්න ඒ නිසා අපි ඉංගිරිසියෙන් පටන් ගත්තට කාරි නෑ.

දැන් ඉංග්‍රීසි උගන්නන පංති වැහිවැහැලා තියෙනවනේ. හොඳ ඒවත් තියෙනවා. හැබැයි කොයි තරම් ඉංග්‍රීසි පංති ගියත් වැඩක් නෑ, භාෂාව භාවිතයේ යෙදෙන්නෙ නැතිනම්. වෙනත් විදියකට කියනවා නම්, ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි භාවිතා කරන්න ඕන. ඉංග්‍රීසියෙන් කථා කරන්න, ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න, ඉංග්‍රීසියෙන් කියවන්න පුරුදු පුහුණු වෙන්න ඕන. ආන්න ඔය කියපු දේවලින් ඉංග්‍රීසි කියවීම කියන එකට ගැලපෙන සරල පොත් පත් තියෙනවා. ඒ කියන්නේ අපිට කියවන ආසාවත් ඇතිවෙන, පහසුවෙන් කියවගන්නත් පුළුවන් ඉංග්‍රීසි පොත්. මෙව්වා කියවන්න ඩික්ෂනරි ලඟ තියාගන්න ඕන නැහැ. එහෙම ඩික්ෂනරි පෙරළ පෙරළා කියවනකොට වැඩේ එපා වෙනවා. ආන්න ඒ නිසා මෙන්න මේ සරල ඉංග්‍රීසි පොත් වලින් ආස එව්වා ටිකක් ලඟ තියාගෙන කියෙව්වා නං, ඉංග්‍රීසි දැනුම බලාගෙන ඉන්නකොට දියුණු වෙනවා බලන්න පුළුවන්!

 

1. Books by Roald Dahl

Image Source – costco.com

මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් රෝල් ඩාල්ගේ පොත් කියෝලා තියෙන්න ඕන. ඒ කියන්නේ පරිවර්තන. එහෙම නැතිනම් අඩු තරමින් රෝල් ඩාල්ගේ පොත් වලින් හැදුණු ෆිල්ම් එකක්වත් බලලා ඇති. චාර්ලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි. නම අහලා පුරුදුද? ආන්න එයා තමයි රෝල් ඩාල්. එයාගේ පොත් බැලූ බැල්මට ලියවිලා තියෙන්නේ පොඩි ළමයින්ට කියලා හිතුණට, ඇත්තටම ඒ පොත් වැඩිහිටියන්ටත් එකසේ රසවිඳින්න පුලුවන්. ඒ වගේම රෝල් ඩාල්ගේ පොත්වල තියෙන ඉංග්‍රීසි හරිම සරලයි. කියවන්න ආස හිතෙන සුළුයි. අන්න ඒ නිසා රෝල් ඩාල්ගේ Billy and the Minpins, The BFG, Matilda, Charlie and the Chocolate Factory, James and the Giant Peach වගේ පොත් අපි නිර්දේශ කරනවා, ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස අයට.

 

2. Charlotte’s Web by E.B. White

මේක ක්ලැසික් ​ළමා පොතක්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් පුංචි කාලේ ඉඳලා කියවන කෙනෙක් නම් පොඩි කාලෙම අනිවාර්‍යයෙන් කියවලා තියෙන පොතක් තමයි මේ. හැබැයි වැඩිහිටියන්ටත් මේ පොත එක වගේ රසවිඳින්න පුළුවන්. මේ පොතේ ඉන්නවා මරණයට නියම වෙලා ඉන්න ඌරු පැටියෙක්. ඒ වගේම ඒ ඌරු පැටියගේ ජීවිතේ බේරගන්න හිතන මකුළුවෙක්! ඔව්, එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.

 

3. The Old Man and the Sea by Ernest Hemingway

මේ පොත අපි ඇත්තටම නිර්දේශ කරන්නේ කිසිමාකාර ඉංග්‍රීසි දැනුමක් නැති කෙනෙක්ට නෙවෙයි. ඊට වඩා සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියවගන්න පුළුවන්, තමන්ගේ ඉංග්‍රීසි දැනුම වඩාත් වර්ධනය කරගන්න උත්සාහ කරගනිමින් ඉන්න කෙනෙක්ට තමයි අපි මේ පොත නිර්දේශ කරන්නේ. ඇත්තටම අර්නස්ට් හෙමින්ග්වේ කියන විශ්ව ලේඛකයාගේ බොහොම පැහැදිලි, කෙටි වාක්‍ය සහිත, කෙලින්ම කියන්න ඕන දේ කියන ලිවීම් රටාවක් තියෙන්නේ. අන්න ඒ නිසාම හෙමින්ග්වේගේ මේ වගේ පොතක් කියවන එක බොහොම පහසුයි. මේ පොතේ තියෙන්නේ බොහොම ධෛර්‍යවන්ත කියුබානු මසුන් මරන්නෙක්ගේ කතාන්තරයක්.

 

4. Books by Sidney Sheldon

සිඩ්නි ෂෙල්ඩන් කියන්නේ ආයෙ ත්‍රාසජනක කථා, කුතුහලය දක්වන කථා චක්‍රවර්තී කෙනෙක් තමයි. ෂෙල්ඩන්ගේ එක පොතක් කියවන මනුස්සයෙක් අනිවාර්‍යයෙන්ම එතනින් එහාට ෂෙල්ඩන්ට වහ වැටෙනවා. කොහොම වුනත් සිඩ්නි ෂෙල්ඩන්ගේ පොත් වල තියෙන එකකට එකක් වෙනස් කථා, කුතුහලය අන්තිම මොහොත වෙනකල්ම ගෙනියන්න තියෙන හැකියාව, සරල භාෂා රටාව වගේම පැහැදිලි කථා කීමේ හැකියාවත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න මනුස්සයෙක්ට බය නැතුව ෂෙල්ඩන්ව නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පොත් වල ඉංග්‍රීසි අති සරල නෑ. ඒත් කියවගන්න පුළුවන්. විශේෂම දේ තමයි, මේ පොත් එක බිංදුවක්වත් කම්මැලි නැති නිසා ගැට ගහගෙන හරි කියවන්න හිතෙන එක. The Naked Face, A Stranger in the Mirror, Bloodline, Rage of Angels, Master of the Game, If Tomorrow Comes, Windmills of the Gods, The Sands of Time, The Doomsday Conspiracy, Nothing Lasts Forever, Morning Noon and Night , Tell Me Your Dreams, Are You Afraid of the Dark? වගේ පොත් ඕනම එකකින් පටන් ගන්න පුළුවන්!

 

5. Animal Farm – George Orwell

ඇනිමල් ෆාර්ම් කියන නමෙනුත් කියවෙන විදියට මේක ඇත්තටම ගොවිපොළක ඉන්න සත්තුන්ගේ කථාවක්. ඔන්න එක දවසක සත්තුන්ගෙන් කොටසක් තීරණය කරනවා තමන්ටම තමන්ගේ පාලනය ගෙනියන්න බැරිද කියලා. තමන්ව පාලනය කරන්න මිනිස්සුන්ව ඕන නැහැයි කියන එක තමයි මේ අයගේ මතය. මේ නිසා මේ අය කැරැල්ලක් ගහලා ඔන්න ගොවිපලේ පාලනය තමන් අතට ගන්නවා. ඉන්පස්සේ මොකද වෙන්නේ? ඒක දැනගන්න නම් පොත කියවන්නම වෙනවා. මේ පොත ඇත්තටම බොහොම දැඩි දේශපාලන ප්‍රහසනයක්. ඒත් ඒක තියෙන්නේ යටින්. ඊට වඩා මේක එක දිගට කියවගෙන යන්න පුළුවන් රසවත් කථාවක්. ඒ වගේම මේ පොතේ භාෂාවත් අමාරු නෑ. මේකත් අපි නිර්දේශ කරන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙන පුද්ගලයින්ට. 

 

6. The Happy Prince by Oscar Wilde

මේක ඇත්තටම කෙටි කථාවක්. ඔස්කාර් වයිල්ඩ්ගේ ඉතාමත් විශිෂ්ට කෙටිකථාවක් විදියට තමයි මේක සැලකෙන්නේ. ඇත්තටම ඔස්කාර් වයිල්ඩ්ගේ නම කියපු සැණින් ගොඩක් දෙනෙක් මේ කථාව කියවන්න උත්සාහ ගන්න එකක් නෑ, අමාරුයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් මේ කථාව ඉතාම සරල භාෂාවකින්, බොහොම කෙලින් භාෂාවකින් ලියලා තියෙන්නේ. පුංචි කුරුල්ලෙක් සහ කථා කරන ප්‍රතිමාවක් වටේ තමයි මේ කථාව ගෙතිලා තියෙන්නේ.

 

7. Grimms’ Fairy Tales

ග්‍රිම් කථා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදියක් නැහැනේ. ඇත්තටම කිවුවොත් ග්‍රිම් සහෝදරයින් එකතු කරලා ඉදිරිපත් කරපු කථා එකතුවේ කථා කීපයක් හරි අපි පුංචි කාලේ ඉඳලා මේ වෙනකොට අහලා තියෙන්න ඕන. අඩු ගාණේ ටීවී එකේ හරි බලලා තියෙන්න ඕන. කොහොම වුනත් ග්‍රිම් කථා පොඩි ළමයින්ට වගේම අපි වගේ ලොකු ළමයින්ටත් ගැලපෙනවා කියන එක කියන්න ඕන. ඒ වගේම ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න හිතන කෙනෙක්ට වුනත් අපිට කියවන්න නිර්දේශ කරන්න පුලුවන්. ග්‍රිම් කථා වල භාෂාව සංකීර්ණ නැහැ, පැහැදිලියි. හැබැයි නොදන්න වචන සෑහෙන්න හම්බුවෙන්න නම් පුළුවන්. ඒත් ඒ වචන එක එකක් ඩික්ෂනරියෙන් නොබලා කියවන විදිය අපි අන්තිමට කියවලා තියෙනවා. ඒ නිසා සරල ඉංග්‍රීසි දැනුමක් ගොඩනගාගත්තට පස්සේ ග්‍රිම් කථා කියවන්න කියලා අපි යෝජනා කරනවා. රසවත් සුරංගනා කථා නිසා එපා වෙන්නෙ නැතුව කියවගෙන යන්නත් පුළුවන්!

 

අන්තිමට මේ පොත් කියවලා ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න ඕනය කියලා හිතන ධෛර්‍යවන්ත කියවන්නන්ට පොඩි උපදෙසක්. ඩික්ෂනරි ලඟ තියාගෙන කියවන්න යන්න එපා. පොඩි නෝට් පොතක් ලඟ තියාගන්න. අපි කියවනකොට සාමාන්‍යයෙන් එක වාක්‍යයක නොදන්න වචනයක් හරි දෙකක් හරි තියෙන්න පුළුවන්. හැබැයි අපේ මොළේට පුලුවන් ඒ වාක්‍යයේ තියෙන අපි දන්න වචන, ඒ වාක්‍යය යෙදෙන පසුබිම වගේ කරුණු කාරණා සැලකිල්ලට අරගෙන අර නොදන්න වචන වල තේරුම අනුමාන කරන්න. ආන්න එහෙමයි පුතාලා දුවලා අපි පොත් කියවලා භාෂා ඥාණය දියුණු කරගන්නේ. මොකක් හරි පිස්සු කොර වෙලාම යන වචනයක් අහුවුනොත් අර නෝට් පොතේ ලියාගන්න. පස්සෙ වෙලාවක ඩික්ෂනරියෙන් ඒකේ තේරුම බලලා මතක තියාගන්න. එච්චරයි! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *