මීටිමක ලොක්කෙක් විසින් කිව යුතු කරුණු

මීටිං නොහොත් රැස්වීම් කියන්නෙ අපේ කන්තෝරුවල නිතරම පාහේ සිද්ධ වෙන දෙයක්නෙ. බොහෝ අය ඕවට සහභාගි වෙන්නෙත් ඒ තරං කැමැත්තකින් නෙමෙයි. මොකද ඒ අය හිතන්නෙ මේ ඇල්මැරුණු මීටින්වල කතා කරන සාම්ප්‍රදායික දේවල් කවදාවත් ඉටු නොවෙන, කතා කරන්න ඕන නිසා කතා කරන, කට්ටිය ලොක්කගෙ පිට කහන, ලොක්කා කට්ටියට බනින සාම්ප්‍රදායික කතා ලතාවන් කියලනෙ. හැබැයි අපි විශ්වාස කරනවා ඒවා එහෙම නොවිය යුතුයි කියන දේ. අන්න ඒ නිසාමයි අපි මේ ලොක්කෙකුගෙ පැත්තෙන් මීටිමකදි කියවෙන්න ඕන මොනවගේ පොදු කාරණාද කියන එක ගැන සංවාදයක් ඇති කරන්නෙ.

 

1. අන්තරාය

ව්‍යාපාරවලට අන්තරායන් තියෙනවනෙ. හැම තිස්සෙම ව්‍යාපාරයක් කරද්දි හිතන්න ඕන වෙන්නෙ මේ අන්තරායන්ගෙන් මිදෙන එක. ඒ වෙනුවෙන් හදාගන්න පුළුවන් ආරක්ෂාකාරී දේ ගැන. අන්න ඒ නිසා ලොක්කෙක් ​ඒ වෙනුවෙන් අපි කළ යුතු දේ මේ දේ කියල කියන්න කලින්, අපිට මේ දේ කරන්නට සිදු වෙන අන්තරාය පැහැදිලි කළ යුතු වෙනවා. මේ අන්තරාය වටහා නොගෙන මේ කාරණාවන්ට බොහෝ දෙනෙක් එකඟ වෙන්නේ නැති වෙන්නට පුළුවන්. වැඩි පිරිසක් නම්මාගෙන අරමුණු ඉටු කරගැනීමට ඇති හොඳම ක්‍රමය වෙන්නේ ඔබේ සේවක පිරිසට අන්තරාය කුමක්ද යන්න වටහා දීමයි.

 

2. ධෛර්‍යය

මේ දේ අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. සාමාන්‍යයෙන් අන්තරාය වටහා දුන් පසු ඇතැම් දෙනෙකු ඒ වෙනුවෙන් ශක්තිමත්ව නැගී සිටිය යුතුයි කියා සිතා සිටියත් ඔවුන්ට ඒ පිළිබඳ විශ්වාසයක් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් අය මේ නිසා මනසින් වැටෙන්නට පුළුවන්. ඒ නිසාම අන්තරායන් වටහා ගෙන සිටින කණ්ඩායමට ඒ මතින් නැගී සිටින්නට ධෛර්‍යය ලබා දිය යුතුයි. ඔවුන්ට මින් පෙර තමන් එවැනි අවස්ථා ජයගත් ආකාරය පහදා දිය යුතුයි. ලෝකයේ ඊටත් වඩා විශාල අන්තරායන් ජයගත් ව්‍යාපාර සහ සේවාවන් පිළිබඳ පැහැදිලි කිරීම් කළ යුතුයි.

 

3. පුද්ගල වැරදි

සාමාන්‍යයෙන් අපේ කාලයේ මීටිමක වැරදි පවසන්නේ පොළේ බඩු විකුණන අන්දමින් ඇඟට ගොඩ වෙමිනුයි. එය බොහෝ දෙනෙකුට සිත් රිදීම් සහ කළකිරීම් ඇති කරවන්නක්. මේ එය සිදු කළ යුතු ආකාරයයි. වැරදි පැවසීම මීටිමේ තෝරාගත් කොටසක් කරනොගෙන පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ ඒ අඩුපාඩු පවසමින් ඒ නිසා ආයතනයට සිදුවූ හානිය පිළිබඳ දැනුවත් කරන්න. එය ආයතනයටම බලපාන වැරැද්දක් ලෙසින් පෙන්වීම ඔවුන්ට මේ ගැන වැඩි උනන්දුවක් ඇති කරාවි. ඒ අතර ඔවුන්ගේ ගුණද පවසමින්, ඉකුත් වැරදි වළක්වා ගත හැකි ක්‍රම සාකච්ඡා කරන්න.

 

4. පොදු වැරදි

ඒ වගේම පොදුවේ පිරිසගේ වැරදි පිළිබඳ සාකච්ඡා කරද්දී එය ඔවුන්ට දැනවිය හැකි වඩාත්ම සාර්ථක ක්‍රමය වන්නේ ඔවුන්ගේ වරදක් නිසා තමන් මුහුණ දුන් අර්බුදයයි. තමන් ලක් වූ අපහසුතාවයයි. මේ නිසා දෙපාර්තමේන්තුවක් ලෙසින් පොදු අවකාශයට මගහැරෙන දේවල්, ගිලිහෙන වරප්‍රසාද, බිඳ වැටෙන සබඳතා පිළිබඳව ඔවුන්ට පවසන්න. එකී පොදු වැරදි අතරේ සැවොම ලද ජයග්‍රහණයන් පිළිබඳවත් ඔවුන්ට හෙළි කරන්න. ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙන්න.

 

5. එකිනෙකාගේ හොඳ

මීටිමක හැමෝටම හොඳ කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වන්නේ හොඳ හෝ නරක කීමට වඩා සියල්ලන් ගැන ප්‍රධානියා අවධානයෙන් සිටින බව පෙන්වීමයි. එනිසා ගුණ පසසන්නට ඇති පිරිස පිළිබඳ ඒ ඇගයීම සිදු කර අනෙකුන් පිළිබඳව තමන් අවධානයෙන් සිටින බව පෙන්වන කාරණා ගෙන හැර දක්වන්න. එය ඇල්මැරුණු ස්වභාවයකින් මේ මීටිමට සම්බන්ධ වන සහ රැකියාව කරන බොහෝ දෙනෙකුට උත්තේජනයක් වේවි. ඒ වගේම ගුණ ගයද්දී කිසිවෙකුව පොරක් නොකිරීමටත් වග බලාගන්න. පොරක් වීම ඔවුන්ගේ ගමනටම බාධාවක් විය හැකි බව තරයේ සිතට ගන්න.

 

6. අදහස්

මෙලොව වැදගත්ම දේ වෙන්නෙ අදහස්. අන්‍යයන්ගේ අදහස් විමසන්න. සේවකයන්ට පහසුවෙන් වැඩ කරගෙන යා හැකි සැකැස්මක් සකසන්නට ඔවුන්ගේ අදහස් ගත යුතුමයි. පහසුවෙන් වැඩ කරන්නට හැකි වූ විට ඔවුන් ඒ වෙනුවෙන් වැඩි ප්‍රතිශතයකින් දායක වේවි. එනිසාම ඔවුන්ගේ අදහස් එකතු කරන්න ඒවා තමන්ට අවශ්‍ය ලෙසින් හැඩ කරන්න. වඩා වැඩි ඵලදායීතාවයක් ලබාගැනීමම අරමුණු කර කතාබහ සිදු කරන්න.

 

7. කලට වෙලාවට

මීටිමක කතාකරන ලොක්කෙක් සිතිය යුතුම දේ තමයි කාලය. ඒ වෙනුවෙන් නිසියාකාරව සූදානම්වී කතා කිරීම අවශ්‍යයි. මීටිම මැද තමුන්ගේ මූලික අරමුණ ගිලිහෙන්නට නොදී නියමිත කාලයට මීටිම අවසන් කිරීම කළ යුතුමයි. ආයතනයක් මීටින් තියමින් දිගින් දිගට යෑමට වඩා අවශ්‍ය කාලයට සිදු කරන කතාබහක් වෙනුවෙන් එකමුතු වීමේ අවශ්‍යතාවය පහදාගන්න. මෙම ආදර්ශය සැපයූ විට හැම දෙනාම තමන්ට කතා කරන්නට ඇති දේත් රැගෙන මීටිම වඩා ඵලදායී කරන්නට එකතු වේවි.

 

මේ කතාවට ඔයාලගෙ අදහසුත් කියන්න. කියලා බොස්ට පේන්න ෂෙයා කරන්න. ෂෙයා කරලා ඔයාල​ගෙ මීටිමේ ගෙවෙන පැයත් ඵල ප්‍රයෝජනවත් කාලයක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *