හැරී පොටර් දැන් මොකද කරන්නේ?

හැරී පොටර් චිත්‍රපට මාලාවේ රඟපාපු නළු නිළියෝ දැන් මොනාද කරන්නේ කියලා නම් ආටිකල් ඉතින් ඉන්ටර්නෙට් එකේ වැහි වැහැලා තියෙනවා. සමහරු ඉතින් තාමත් බලාගෙන ඉන්නේ අනේ හැරී පොටර්ට රඟපාපු නළුවා කවදා බඳීද, එහෙමත් නැත්තන් හර්මයිනිට රඟපාපු නිළිය කවුරු බඳීද කියලා. හැබැයි ඔයාලා නිකමටවත් හිතුවද මායා ලෝකයේ හැරී පොටර් සහ එයාගේ යාළුවෝ මේ වෙනකොට මොන විදිහේ ජීවිතයක් ගත කරනවද කියලා? හැරී පොටර් පොත් පෙළ කියවලා, හැරී ​පොටර් චිත්‍රපටි පෙළ  නරඹලා ඒ කාලේ නම් මායා ලෝකෙම ජීවත් වෙන්න ඇති නේද? අද ආටිකල් එක ලියවෙන්නේ ඒ වගේ මයාලෝකේ ජීවත්වෙලා හිටපු ඔයාලා වගේ අය වෙනුවෙන්. අද ආටිකල් එකෙන් අපි හදන්නෙ ඔයත් එක්ක මායා ලෝකයට ගිහිල්ලා හැරී පොටර් ඇතුළු පිරිවරගේ වගතුග විස්තර ඔයාට කියන්න. සමහර විට අපිට ටයිම් ටර්නර් එකකුත් ඕන වේවි. හැබැයි කාලය හරහා අතීතයට යන්න නම් නෙමෙයි. කාලය හරහා ඉස්සරහට යන්න.

 

1. හැරී ​පොටර්

මේ වෙනකොට හැරී පොටර් ඉන්ද්‍රජාලික කටයුතු අමාත්‍යංශයේ අවුරර් කෙනෙක් විදිහට සේවය කරනවා. ජිනී වීස්ලි සමඟ විවාහයෙන් ජේම්ස් සිරියස්, ඇල්බස් සෙවරස් සහ ලිලී ලුනා නමින් දරුවන් තිදෙනෙකුත් ඉන්නවා. රීටා ස්කීටර් විසින් ලියපු බොරු අඩංගු Dumbledore’s Army: The dark side of the Demob පොත නිසා හැරී යම් යම් අපහසුතා වලටත් ලක්වෙනවා. ඒ වගේම කාලය හරහා ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් එහෙම අපිට පේනවා 2020 දී හැරී ​පොටර් ඉන්ද්‍රජාලික නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අංශයේ ප්‍රධානියා බවට පත් වෙනවා කියලා. නමුත් ඒ කාලේදීම හැරීගේ දෙවැනි පුතා වුණු ඇල්බස් සෙවරස් නිසා ඔහු ඇතුළු සියල්ලන්ම යම් ගැටලුවකට මුහුණ දෙනවා. නමුත් අවසානයේදී එම ගැටලුව යහපත් ආකාරයෙන් විසඳ ගන්නවා.

 

2. රොන් වීස්ලි

හැරී පොටර් වගේම හැරී පොටර්​ගේ ගජයා  වුණු රොන් වීස්ලි හැරී එක්කම ඉන්ද්‍රජාලික කටයුතු අමාත්‍යාංශයේ අවුරර් කෙනෙක් විදිහට සේවය කරන්න බැඳෙනවා. වොල්ඩමෝර්ට් සමග යුද්ධයෙන් පසුව පලාගිය ඩෙත්ඊටර්ස්ලව හසුකරගන්න රොන් තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ඒ කාර්යභාරය ඉවර වුණාට පස්සේ රොන් අමාත්‍යාංශ කටයුතු වලින් බැහැර වෙලා තමන්ගේ සහෝදරයා වුණු ජෝර්ජ් වීස්ලිගේ Wizard Whezes වෙළෙඳ සලේ කටයුතු වලට උදව් කරන්න යොමු වෙනවා. ඒ හරහා ඔවුන් දෙදෙනා විශාල ධනයක් උපයා ගන්නවා. හර්මයිනි ග්‍රේන්ජර් සමග විවාහයෙන් ඔහුට රෝස් හා හියුගෝ නමින් දරුවන් දෙදෙනෙක් ඉන්නවා.

 

3. හර්මයිනි ග්‍රේන්ජර්

හැරී පොටර් සහ රොන් වීස්ලි තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමා නොකරම ඉන්ද්‍රජාලික කටයුතු අමාත්‍යාංශයේ සේවයට ගියත් හර්මයිනි නැවතත් හොග්වර්ට්ස් වෙත ගොස් තමන්ගේ අධ්‍යන කටයුතු නිමා කරනවා. ඉන් පසුව ඉන්ද්‍රජාලික කටයුතු අමාත්‍යාංශයේ සේවයට එක් වෙනවා. ඇය මුලින්ම සේවය කරන්න පටන් ගන්නේ ඉන්ද්‍රජාලික සතුන් පාලනය සහ නියාමනය සඳහා වූ දෙපාර්තමේන්තුවෙන්. එතනදි හවුස් එල්ෆ්ලගෙ සුබසාධනය වෙනුවෙන් ඇය විශිෂ්ට වැඩ වැඩකොටසක් සිද්ධ කරනවා. ඉන් පසුව  ඉන්ද්‍රජාලික නීති ක්‍රියාත්මක කිරී​ම පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදෙනවා. මේ වෙනකොට ඇය ඉන්ද්‍රජාලික කටයුතු පිළිබඳ ඇමතිවරිය විදියට සේවය කරනවා.

 

4. ඩ්‍රේකෝ මැල්ෆෝයි

යුද්ධයෙන් පසුව මැල්ෆෝයි පවුල සියලු චෝදනා වලින් නිදහස් කෙරුණා. ඒ අවසාන මොහොතේ දී ඩ්‍රේකෝගේ මව හැරී පොටර් මිය නොගිය බවට වොල්ඩමෝට්ට පවසා හැරීව ආරක්ෂා කළ නිසා. පසු කාලයකදී ඩ්‍රේකෝ, ඇස්ටෝරියා ග්‍රීන්ග්‍රාස් නැමැති ඔහුට වඩා වයසින් බාල හොග්වෝර්ට්ස් සිසුවියක් සමග විවාහ වෙනවා. ඒ විවාහයෙන් ස්කෝපියස් මැල්ෆෝයි නමැති. පුතෙක් ලැබෙනවා. ඇස්ටෝරියා රුධිරගත ශාපයක් නිසා මිය යෑමත් එක්ක ඩ්‍රේකෝ තම සම්පූර්ණ අවධානය සහ ආදරය ස්කෝපියස්ට ලබාදෙනවා. ස්කෝපියස් සහ ඇල්බස් සෙවරස් ඇති කරන ගැටළුවේ දී ඔහු එය විසඳීමට හැරී පොටර්​ට සහයෝගය ලබා දෙනවා.

 

5. නෙවිල් ලොන්ග්බොටම්

නෙවිලුත් හැරී සහ රොන් සමග එකතු වී ටික කාලයක් අවුර‍ර් කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඉන්පසු ඔහු හොග්වර්ට්ස් මායා පාසලේ ඉගැන්වීමේ කටයුතු සඳහා අයදුම් කරනවා. ඒ අනුව හර්බොලොජි අංශයේ සහයක මහාචාර්යවරයෙක් විදියට කටයුතු කරන නෙවිල්, පමෝනා ස්ප්‍රවුට් මහත්මියගේ විශ්‍රාම යෑමෙන් පසුව එම අංශයේ මහාචාර්යවරයා බවට පත් වෙනවා. තමන්ගේ පාසල් යෙහෙළියක සහ  යුද්ධයේ දී සටන් වැදුණු හැනා ඇබෝට්ව විවාහ කරගන්නවා.

 

6. ලූනා ලවුගුඩ්

පාසල් කාලයෙන් පසුව ලූනා ජාත්‍යන්තර කීර්තියට පත් ස්වභාවික විද්‍යාඥවරියක් බවට පත් වෙනවා. මෙතෙක් සොයා නොගත් ඉන්ද්‍රජාලික සතුන් වර්ග ගණනාවක් සොයා ගන්නවා. ඇය විවාහ වන්නේත් තවත් සුප්‍රකට ඉන්ද්‍රජාලික පවුලකින්. ඒ නිව්‍ට් ස්කැමන්ඩර්ගේ මුණුබුරා වුණු රොෆ්ල් ස්කැමන්ඩර් සමග. ඔවුන් දෙදෙනාට මේ වනවිට ලෝකන් සහ ලයිසැන්ඩර් නමින් නිවුන් පුතුන් දෙදෙනෙක් සිටිනවා. ජිනී සහ හැරී ලුනාගේ සමීප බව නිසා ඔවුන්ගේ දියණියගේ මැද නම ලූනා ලෙස නම් කරනවා.

 

7. මිනර්වා මැගෝනිගල්

මිනර්වා මැගෝනිගල් ඒ වන විටත් හොග්වෝට්ස් මායා පාසලේ විදුහල්පතිනිය විදිහට කටයුතු කරනවා. ඇය මායා යුද්ධයේ දී දැක්වූ විශිෂ්ට නිර්භීතභාවය සහ ලබාදුන් නායකත්වය වෙනුවෙන් ඕඩර් ඔෆ් මර්ලින් පළමු පෙළ සම්මානය ඇයට ලැබෙනවා. ​ඒ වගේම ඇය The Tales of Beedle the Bard කෘතිය සහ ඩම්බල්ඩෝර් ඒ පිළිබඳව තැබූ සටහන් පළ කිරීම සඳහා හර්මයිනි හට අවසර ලබා දෙනවා. ඒ වගේම ඇල්බස් පොටර් සහ ස්කෝෆියස් මැල්ෆෝයි ඇතිකළ ගැටලුව විසඳීමටත් ඇය තමන්ගේ සහයෝගය ලබා දෙනවා.

 

දැන් ඔයාල කල්පනා කරනව ඇති නේද අපි දෙතුන් පාරක් කියපු ඇල්බස් සහ ස්කෝෆියස් ඇති කරපු ගැටලුව ගැන? ඒ ගැන අපි ලියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ටිකල් එකට ලැබෙන ප්‍රතිචාරය අනුව. එහෙම නම් ඒ පිළිබඳව ඔයාට දැනගන්න අවශ්‍යද කියලා යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්න. ​ඒ මගින් ලැබෙන ප්‍රතිචාර අනුව එ​ය ඉදිරියේදී ලියවේවි. ඒ ගැටලුව මොකද්ද කියන එක ගැන පොඩි ඉඟියක් දෙනවා නම් හැරීගේ නලළේ කැ​ළල ආපහු රිදෙන්න ගන්නවා.

One response to “හැරී පොටර් දැන් මොකද කරන්නේ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *