කවුද මේ දියසේන කුමාරයා?

කාලෙන් කාලෙට අපේ සමාජය තුළ දියසෙන් කුමාරයා කියලා කෙනෙක් ගැන කතා වෙනවා. අපි හිතුවා මේ දියසේන කුමාරයා කියන්නේ කවුද කියලා ඕගොල්ලන්ට කියලා දෙන්න.

 

1. දියසේන කතාවේ ආරම්භය

මේ දියසේන කතාවේ ආරම්භය කෝට්ටේ යුගය වෙනකන් දිව යනවා. කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජු වර්ණනා කරමින් ලියැවුණු  ප්‍රශස්ති ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ මේ දියසේන සංකල්පය මුලින්ම අපට මුණගැහෙනවා. මේ ග්‍රන්ථයේ එක් තැනක ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් පැමිණෙන බමුණකු සහ මගියෙකු අතර ඇතිවන සංවාදයක් කවියෙන් විස්තර කෙරෙනවා. ඒ මෙන්න මේ විදිහට.

“කියග මගිය එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා

නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසි නා

ගිය කලැ දෙදෙහස්‌ පන්සිය රජකු එතැයි දිය නා

කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදි නා”

 

මේ කවියෙන් කියවෙන විදිහට බුද්ධ වර්ෂ දෙදහස් පන්සීයේ දී හයවන පරාක්‍රමබාහු රජු දියසේන නමින් පුනර්භවය ලබනවා. උගතුන් නම් කියන්නේ මේ කවියේ සඳහන් වෙන “දියනා” කියන වචනයෙන් දියසෙන් කියන වචනය හැදුනයි කියලා. මේ දියසෙන් සංකල්පයෙහි ආරම්භකයා කවුද කිය​ල නම් ස්ථීරවම කියන්න අමාරුයි. ඒ මේ පැරකුම්බා සිරිතේ කතෘවරයා කවුද කියලා කියන්න සඳහනක් නොමැති නිසා.

 

2. සුමන සූත්‍රයෙන් විකාශනය වුනු දියසේන සංකල්පය

දියසේන සංකල්පය විකාශනය වෙන්න ගන්නෙ මහනුවර යුගයේදී. ඒ කාලයේදී ත්‍රිපිටකයට අයත් නොවන සුමන සූත්‍රය කියලා සූත්‍රයක් පටන් ගන්නවා. මේ සූත්‍රය ලියවිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවා ගුහාවේ දිවා විහරණය කරමින් සිටින අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජයාට දේශනා කරපු සූත්‍රයක් විදියට. මේ සූත්‍රයට අනුව බුද්ධ වර්ෂ 2500 දී දියසෙන් නමැති රජ කෙනෙක් ලංකාවේ ඉපදිලා මුළු ලෝකය ම තමන්ගේ වසඟයට ගන්නවා. ඔහු අනුරාධපුර නගරය ප්‍රතිසංස්කරණය සිද්ධ කරනවා. මේ සුමන සූත්‍රය පසුකාලීනව ලියැවුණු එකක් කියන්න සාධක සූත්‍රය ඇතුළතින් හමු වෙනවා. ඒ ලංකාවට සිදුවුණු ඕලන්ද ආක්‍රමණ ගැන විතරක් මේ සූත්‍රයේ සඳහන් වීම නිසා.

 

3. දියසේනට ඇන්​ද දේශපාලනඥයෝ

ලංකාවේ නිදහස් සටන පැවති වකවානුවේ නැවතත් දියසේන සංකල්පය ජනප්‍රියත්වයට පත් වුණා. එක්දහස් නවසිය තිස් ගණන්වල සිදුවුණු භූමිකම්පාවක් ගැන සඳහන් කරමින් පියදාස සිරිසේන මහතා සඳහන් කළේ එම භූමිකම්පාව දියසේන කුමාරයා ගේ උපත නිසා සිදු වූ දෙයක් බවයි. මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා දියසේන කුමාරයා ලෙස හැඳින්වීමේ ප්‍රචාරණ වැඩ පිළිවෙළක් ඒ දවස් වල ක්‍රියාත්මක වුණා. ඩී. එස් අකුරු දෙකෙන් දියසෙන් යන නාමය  කියවෙනවා කියලා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර සහ පිලිප් ගුණවර්ධන යන මහත්වරුන් ඇතැම් අවස්ථාවල දී ඇසෙන ලෙස හඳුන්වනු ලැබුවා. නමුත් මෙ​ම සංකල්පයෙන් වැඩියෙන් වාසිය ලබාගත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා. ඒ1956 එනම් 2500 බුද්ධ ජයන්තිය සමර​ණ වර්ෂයේ නව අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමෙන්.

 

4. ටිප් ටොප් සිල්වා

එකී දේශපාලනඥයින් හැරුණ කොට තවත් එක් අයෙක් තමන් දියසේන කුමාරයා බව කියමින් රටේ ජනප්‍රියත්වයට පත් වුණා. ඔහුගේ මුල් නම “වාසල අධිකාරිගේ සිංහරාජ නන්දිමිත්‍ර ද සිල්වා”. ​නමුත් ඔහු ප්‍රසිද්ධ වුණේ ටිප් ටොප් සිල්වා යන නමින්. ඒ ටිප් ටොප් නමින් දන්තාලේපයක් නිෂ්පාදනය කිරීම නිසා. ඔහු විවිධ අගමැතිවරුන් හමුවේ පවා තමන්ගේ අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට මැලි වුණේ නැහැ. ජෝන් කොතලාවල සහ බණ්ඩාරනායක යන අගමැතිවරුන් ඔහුගේ කතා වලින් විශාල ආශ්වාදයක් ලබා තිබෙනවා. ඔහුගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය වී තිබෙනවා. තවම ලංකාවේ ප්‍රදර්ශනය වී නැහැ. එහි ටිප් ටොප් සිල්වා චරිතය රඟපාන්නේ විජේරත්න වරකාගොඩ මහතා විසින්.

 

5. අද දියසේනලා

මෑත අතීතයේ දී දියසේන නමින් හඳුන්වනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතාවයි. වසර තිහක් දිග්ගැස්සුණු යුද්ධය නිමා කිරීමත් රටේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමත් නිසා ඔහුව ඒ නමින් හඳුන්වනු ලැබුවා. ඊට ඔහුගේ රාජකීය දෛවඥයා වුණු සුමනදාස මහතා තමන්ගේ පියා දියසේන කුමාරයා යනු ඩී. ඒ රාජපක්ෂගේ බාල පුතා ව​න මහින්ද රාජපක්ෂ බව තමන්ට ප්‍රකාශ කළ බව කියන පුවතකුත් හේතු වුණා.

 

6. පිටරට දියසේනලා

පිටරට ජනප්‍රවාද දෙස සලකා බැලීමේදී පැහැදිලි වන්නේ දියසේන සංකල්පය අපේ රටට අමතරව වෙනත් රටවල් වල විවිධ ස්වරූප වලින් පවතින බවයි. මීට හොඳම උදාහරණය වන්නේ ආතර් රජු පිළිබඳව එංගලන්තයේ පවතින ප්‍රවාද. ඔවුන්ට අනුව ආතර් රජු මේ වන විට සිටින්නේ නින්දක. එංගලන්තය මතු දිනක යුද්ධයකින් පරාජය වීමට ඔන්න මෙන්න තිබියදී ආතර් රජු තම නින්දෙන් නැගිට විත් එංගලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවන බව එංගලන්ත වැසියන් විශ්වාස කරනවා. ඒ වගේ ම ජර්මනියේ රජ කළ මහා ෆෙඩ්රික් රජුත් යම් දිනක උත්ථානය වී ජර්මනිය ආරක්ෂා කරන බව කියවෙනවා.

 

7. ධර්මපාල තුමා දියසේන කුමාරයා ගැන කියපු දේ

අනගාරික ධර්මපාල තුමා දියසේන කුමාරයා ගැන විශේෂ යමක් කියලා තියෙනවා. අපි එතුමාගේ අදහස ගැ​න වෙන මුකුත්ම කියන්නේ නැහැ. අපි එය මේ විදිහට උපුටා දක්වනවා.

 

“මතක තියාගනිල්ලා කවද හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස්‌ දාහක්‌ බෝ කළාට පස්‌සේ. ඊට පස්‌සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් විරිත්වලට වෛර කරනවා. උන් උඹලගේ දූ දරුවන්ටත් උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක්‌ එපා කියලා. දෙමළත්, මරක්‌කලයත්, හම්බයත් එකයි කියලා උන් කියාවි. එහෙම කියලා උන් පන්සලේ වටේ කෝවිල් පල්ලි හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකම් බලා ඉන්නවා. ඉපදෙන්න ඉන්න දියසේනලා උපන් තිඹිරිගෙයිම මරා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා”

ධර්මපාල තුමා දියසෙන් කුමාරයා ගැන කියපු ඒ දේ ගැන තීරණය කිරීම ඔබට බාරයි.

 

එහෙමනම් වෙනද වගේම මේ ආර්ටිකල් එක ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයාර් කරන්න.