කොහෙද මේ තජිකිස්තානය තියෙන්නෙ? මොනාද එහේ වෙන්නේ?

තජිකිස්තානය පහුගිය දවස්වල ටිකක් ජනප්‍රිය වුනා. අපේ රටේ ජනාධිපතිතුමා දූත පිරිසක් සමග තජිකිස්තානයේ තියෙන සමුළුවකට සහභාගී වුනා. ඒ සමුළුව ටිකක් බලගතු එකක්. ඉන්දියාව, චීනය, ඉරානය, කටාර් රාජ්‍යය වගේ ප්‍රබල රටවල් තජිකිස්තානයේ තිබුන ආසියානු නායකයින්ගේ සමුළුවට සහභාගි වුනා. තජිකිස්තානය කියන්නේ සුන්දර රටක්. මනරම් කඳුකරයක් එක්ක සුන්දර භූමි දර්ශන ගොඩකට තජිකිස්තාන රට අයිතිවාසිකම් කියනවා.

 

1. තජිකිස්ථානයේ පිහිටී​ම  

තජික් මිනිස්සුන්ගේ දේශය කියන අර්ථයෙන් තමයි තජිකිස්තානය හැදිලා තියෙන්නේ. ඉරානය හා සමීප සම්බන්ධතාවයක් එදා පටන්ම තජිකිස්තානයට තියෙනවා. තජික් රට ඇෆ්ඝනිස්තානය, කිර්ගිස්තානය, චීනය හා උස්බෙකිස්තානයට මායිම් වෙලා අභ්‍යන්තර රටක් විදියට තියෙනවා. අභ්‍යන්තර රටක් නිසා තජිකිස්තානයට ගොඩබිමින් හෝ ගුවනින් හැර මූදකින්, වරායකින් පිවිසෙන්නට බැහැ. කලාපයේ තියෙන රටවල් අතර දුප්පත්ම රටක් විදියට තජිකිස්තානය දැක්වෙනවා. පො​ළව යට තියෙන ඛනිජ වලින් පොහොසත් රටක් වුනත් තජිකිස්තානයේ තිබෙන දේශපාලන වටපිටාව ඒ වාසි මහජනයාට දෙන්නට අසමත් වෙලා තියෙනවා.

 

2. 98%ක් මුස්ලිම්… ඒත් මෙහෙමයි වැඩ

තජිකිස්තානය 98%ක් පමණ මුස්ලිම් ජනතාව ඉන්න රටක්. ඒත් දේශපාලනයේදී මුස්ලිම් අන්තවාදී අදහස් වැඩිය සලකා බලලා නැහැ. තජිකිස්තානයේ කාන්තාවන් මුහුණු වහන බුර්කාව තබා හිස වහන වැස්මක් වත් පාවිච්චි කරන්නේ නැහැ. තජිකිස්තාන ජාතික ඇඳුමට අයත් හිසේ කොට තොප්පියක් නම් තජිකිස්තාන කාන්තාවන් උත්සව අවස්ථාවල පාවිච්චි කරනවා. තජිකිස්තානයේ අගනුවර වෙන දුෂාන්බේ වල පිරිමි අයත් සාමාන්‍ය ඇඳුමින් තමයි ඉන්නේ. ඉස්ලාමීය සලකුනු කිසිවක් ඔවුන්ගේ ඇඳුම් වලින් පෙන්නුම් කරන්නේ නැහැ. අති බහුතරයක් මුස්ලිම් ජනතාව හිටියත් ඔවුන් ඇඳුම පැළඳුමින් ආගම අයින් කරගෙන නිදහසේ සැහැල්ලුවෙන් කාලය ගතකරන බවක් පෙනී යනවා.

 

3. නගෝ නගෝ කියන ලස්සන නංගා

නගෝ නගෝ කියලා ගීතයක් අපේ රටෙත් ප්‍රසංග වේදිකාවේ ඔෂානි සංදීපා හෙම ගායනා කරනවා. මේ නගෝ නගෝ අපේ රටේ ජනප්‍රිය වුනාට මේක තජිකිස්තානයේ නොසියා කරමටුල්ලෝ විසින් ගායනා කරන ගීතයක්. නොසියා කියන්නෙත් සිහින් සිරුරක් තියෙන ලස්සන ගෑනු ළමයෙක්. නොසියා තජිකිස්තාන වේදිකාවල මේ ගීතය ගායනා කරන විට එය ලංකාවේ සංගීත සංදර්ශනයක් තරම්ම අපිට සමීප අත්දැකීමක් බවට පත් වෙනවා. කලින් කිව්වා වගේ තජික් කියන්නේ මුස්ලිම් රටක්. ඒත් මේ වගේ ලස්සන සිංදු කියන ලස්සන ගෑනු ​ළමයි කීප දෙනෙක්ම තජිකිස්තාන සංගීත ලෝකයේ ඉන්නවා. ඉඩක් තියේ නම් තජික් සිංදු කිහිපයක් යූ ටියුබේ හොයාල බැලුවොත් අපිට ඇ​ඟට හිතට වදින තාල කීපයක් අහන්නට ලැබේවි.

 

4. තජික් නම් සුන්දර රට

ලෝකේ උසම හයිවේ එකක් තියෙනවා ඉන්දියාවේ ලදාක් කෙළවර. ඒ හයිවේ එකේ මීටර 5000ක සීමාවට යන්න පුළුවන්. මීටර 4000ත් පනින උසම හයිවේ තජිකිස්තානයටත් අයිති වෙනවා. තජිකිස්තානය කඳු ගොඩක් තියෙන රටක්. මේ රටේ ගමනාගමනයේදී කඳු තර​ණය කරන්න වෙනවා. සමහර කඳු යටින් සිදුරු කරලා කිලෝමීටර හතර පහ දිග උම​ං ඉදිකරලා තජික් ජනතාව සිය ගමන් පහසුව සලසාගෙන තියෙනවා. ලංකාවේ කඳු වගේ තජික් කඳු කොළපාටම නැහැ. යාන්තම් ලා කහ පාටට තියෙන පස් ගොඩවල් වගේ තජික් කඳු වැටි දකින්නට තියෙනවා. ඒ කඳු අතර තියෙන ලස්සන විල් සහ ගංගා වල ජල තලා තජික් කරා ඇදෙන සංචාරකයිනගේ ඇස් පිනවනවා.

 

5. ජල විදුලියෙන් සපිරි රට

තජිකිස්තානය කියන්නේ සෝවියට් දේශය බි​ඳ වැටෙනකොටම වගේ 1991 දි බිහිවුන රටක්. ඒ වෙනකල් තජිකිස්තානය සෝවියට් රුසියාවට අයිති තවත් එක දේශයක් වුනා. මේ තජික් රටේ ලෝක​යේ විශාලතම රොගුන් වේල්ල හදලා ජල විදුලිය නිපදවන්න 1976 දි සැලසුමක් තිබුනා. ඒ මහා වේල්ල ඉදි වුනා නම් පරමාණුක බලාගාර තුනකින් ලබාගන්න විදුලිය ඒ බලාගාරයෙන් ලබාගන්න හැකි වෙනවා. ඒත් අසූ ග​ණන් වෙද්දි සෝවියට් පාලනය තිබුනේ අසීරු අඩියක. ඉතින් බලාගාරය ඉදි වුනේ නැහැ. ඒත් තජිකිස්තානය කඳු අතරින් ගලා හැලෙන දිය දහරා වලින් විදුලිය නිපදවාගන්නවා. වැඩි විදුලිය අවට කසකස්තානය වගේ රටවලට විකු​ණනවා. ඒත් ශීත කාලය ආවාම මේ තජික් රටේ ජල විදුලිය නිපදවීම ඇනහිටිනවා. එතකොට තාප විදුලි බලයෙන් සෙත සලසාගන්න​ට තජික් වැසියන්ට සිදු වෙනවා.

 

6. තජික් දේශපාලනය

තජිකිස්තානයේ දැන් ඉන්න එමොමලි රාමන් ජනාධිපතිවරයා 1994 සිට මේ දක්වා දිගටම බලයේ ඉන්නවා. ව්‍යවස්ථාව වෙනස් කරගත් ඔහු කිහිප වතාවක් ජනාධිපති වීමට වරම් ලබාගත්තා. 1991දි තජිකිස්තානය සෝවියට් දේශයෙන් නිදහස ලැබුවත් එහි ලොකු ​ඵලක් ප්‍රයෝජනයක් මහජනයාට ලැබුනේ නැහැ. 1990 ග​ණන්වලදී තජිකිස්තානය ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් මැදිහත් වෙලා කැරලි කෝලාහල තිබුනා. ඒ සිවිල් යුද්ධ තත්ත්වයන් හේතුවෙන් තජික් රටේ අස්ථාවර භාවය ඇති වුනා. අදවෙද්දි ඒ ඉස්ලාමීය අන්තවාදී කොටස් බොහොම ඈතට කරලා තියාගන්න ජනාධිපතිවරයා සමත් වෙලා තියනවා.

 

7. රැකියා සොයන මිනිසුන්

ලංකාවේ මිනිස්සුත් රට තු​ළ රැකියා නොමැති නිසා කොරියාවට, ඔස්​ට්‍රේලියාවට, ජපානයට සහ මැදපෙරදිගට රැකියා වලට යනවා. තජිකිස්තානයෙත් රැකියා කියන්නේ දුර්ලභ දෙයක්. විරැකියාව 11%ක් කියලා රජයෙන් වාර්තා ක​ළත් සැබෑ අගය ඊට බොහොම වැඩි බව තමයි විදෙස් ආරංචි මාර්ග කියන්නේ. තජිකිස්තානයේ මේ රැකියාවට රට යෑම කොච්චර ජනප්‍රිය වෙලාද කියනවා නම් සමහර ගම් වල පිරිමි ගොඩක් රට ගිහින් ගම් වල ඉතුරු වෙලා ඉන්නේ ගැහැනු අය පමණයි. තජික් ජාතිකයින් වැඩිපුරම රස්සාවට යන්නේ රුසියාවට. ඒත් මෑත කාලේ රුසියාවත් ටිකක් අමාරු තත්ත්වෙන් යන නිසා තජික් වැසියන්ට රස්සා හො​ඳටම හි​ඟ වෙලා තියෙනවා.

 

8. සමුළුවේ අරමුණු

ආසියානු සමුළුව තජිකිස්තානය තුළ පැවැත්වීමෙන් චීනය තමුන්ගේ බලය ලොවට පෙන්වන්නට උත්සාහ කරන බවක් පිරිසක් කියනවා. ඒ වගේම ඉරානයත් ලෝක සාමයට පිටුපාල තජිකිස්තානයේ යුරේනියම් වලින් තවත් න්‍යෂ්ඨික අවි හදන්න ඕනි කියලා අදහසක් සමුළුවට සමගාමීව තිබුන ඇමතීම් වලදී ප්‍රකාශ කරලා තිබුනා. ඇමරිකාව විසින් චීනයට සහ ඉන්දියාවට යම් යම් වෙළ​ඳ අවහිරතා එක් කරද්දි ඔවුන් ඒ සදහා මුහුණ දෙන්න රාජ්‍යතාන්ත්‍රිකව එකතු වෙන්න හදනවා. ලංකාව මේ කණ්ඩායමේ සක්‍රිය සාමාජිකයෙකු නොවුනත් ඒ සමුළුවට දායක වීම ලංකාවෙත් පාස්කු ඉරිදායින් පස්සේ ඇතිවෙලා තියෙන අවුල් ටිකක් හරි අඩුකරගන්න හේතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *