මහ පාරේ ට්‍රැෆික් එකේ යද්දි හම්බවෙන අමුතු ඩයල්

RDA දත්ත වලට අනුව ලංකාවේ පුරා කිලෝමීටර් 16,700කට ආසන්න දුරක් විහිදීයන මාර්ග පද්ධතියක් තියෙනවා. ඒ හැම පාරකටම පොදු දෙයක් නොවුනත් ට්‍රැෆික් කියන්නේ අපේ ජීවිත වලින් සැලකිය යුතු කාලයක් ගත කරන්න වෙන සංසිද්ධියක්. දවසට පැයක් කියල ගත්තත් විසිහතරෙන් පංගුවක් අපි ට්‍රැෆික් වල ගත කරනව. ඉතින් ඔය විදිහට බැලුවහම උදේ හවස ඔෆිස් යන අයට මහ පාරෙ ට්‍රැෆික් එක කියන්නේ අමුතු දෙයක් නෙමෙයිනේ. අපේ කට්ටිය කොහොමත් ට්‍රැෆික් එකේ තපින්න ඕන වෙලාව ගණන් හදල තමා පාරට බහින්නේ. ලංකාව වගේ රටක ඉතින් මහාමාර්ග පද්ධතියේ හොඳකමට පින්සිද්ද වෙන්න ඔය හැමෝටම දවසට පැයක් වත් ට්‍රැෆික් එකේ ගත කරන්න සිද්ද වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඕක ඉතින් තරාතිරමේ වෙනසක් නැතුව හැමෝටම අත්විඳින්න වෙනවා. ඉතින් එහෙම ට්‍රැෆික් එකක ගත කරද්දී පොඩ්ඩක් විමසිල්ලෙන් වටපිට ඇහැගහගෙන හිටියොත් පංකාදු ඩයල් කීපයක් හොයාගන්න පුළුවන් වෙනවා. අද කියන්නේ අන්න ඒවගේ අපිට නෝට් වෙච්ච ඩයල් කීපයක් ගැනයි.

 

 

1. අස්සෙන් රිංගන ත්‍රීවීල් අයියා

 

දවසක් ත්‍රීවීල් එකක ගමනක් යද්දි ඩ්‍රයිවර් අයිය කෙනෙක් ඇහුව ඔයා දන්නවද ත්‍රීවීල් එක තුන්හුලස් හැඩේකට හදල තියෙන්නේ ඇයි කියල. මම නැහැ කිවුවම මේකා කියපි ‘ඉස්සරහ රෝදේ ඕන ට්‍රැෆික් එකක් අස්සට ඔබාගත්තම ක්ෂණිකව අනිත් ටිකත් ඇතුළට දාගන්න එක ගේමක්ම නෑ. ඒක ඉන්දියන් කාරයෝ සමීක්ෂණ කරලා හොයාගෙන තමයි ඒ විදිහට හදන්නෙ’ කියල. පස්සේ මටම හිතුන ඒක ඇත්ත තමා කියල.  ඕන ට්‍රැෆික් ලයිට් එකක නවත්තපු ගමන් බයිසිකල් වලට පස්සේ ට්‍රැෆික් එකේ ඉස්සරහින්ම ඉන්නේ කවුද කියල බැලුවොත් ඕක හොඳට තේරෙයි. මේ විදිහට අස්සෙන් රිංගන්නේ අපිව වෙලාවට ගිහින් දාන්න නේද කියල කල්පනා වෙනකොට පපුව හෝස් ගාල යනවා. මේ සමහර අයියල සිග්නල් ලයිට් කියල දෙයක් දන්නෙම නෑ. දැනගත්තත් ඒවා අදාළම නෑ.

 

 

2. පාර මගේ

 

සමහර ඩයල් ඉන්නව පාර මගේ කියල තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ට්‍රැක් මාරු කරන්න, ඕවර්ටේක් කරන්න, පාරෙ ඕන තැනක නවත්තන්න වගේ ඕන දෙයක් කිසි අවුලක් නැතුව කරන්න මේගොල්ලොන්ට අයිතිය තියෙනවා (කියල හිතාගෙන ඉන්නව.) ඔය කැටගරි එකට බොහෝ වෙලාවට වැටෙන්නේ බස් ඩ්‍රයිවර් අන්කල්ල තමයි. පාරෙ මැද්දේ හරි නවත්තල සෙනග බස්සවන නග්ගගන්න එක ඕන කෙනෙක් දැකල ඇති. මේ ගොල්ලොන්ට යන්න ඕන උනාම අනිත් අය ඔක්කොම අයින් කරලා ඉඩ දෙන්න ඕනේ. ඉන්න ඕන උනාම අනිත් අය අයින් වෙලා ඒගොල්ලොන්ගේ ගමන යන්න ඕනේ.

 

 

3. ගේම නම් ගේම

 

සමහරුන්ට නම් තමන්ව කවුරුහරි ඕවර්ටේක් කළොත් කාල ඉන්න බැරි වෙනවා. ඌව හොයාගෙන ගිහින් ආපහු ඉස්සර කරනකන් ඉවසිල්ලක් නෑ. ඒ වෙලාවට ඉතින් කාගෙහරි ගිහින් අනින්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. ඔය ටිකක් ගාණ වැඩි වාහන එලවන අයට බොහෝදුරට මේ ලෙඩේ තියෙන්න පුළුවන්. බස් අයියලගෙත් ඔය කැටගරි එකේ  ඉන්න ගොඩක් අය දැකබලාගන්න ට්‍රැෆික් එකේදී පුළුවන්. සමහර වෙලාවට බස් තුන හතර ගේමට රේස් යනවා. ඒත් ඉතින් අනිත් බස් එකේ ඉන්න අයට වඩා ඉක්මනට එයාගෙ බස් එකේ ඉන්න අයව ගිහින් දාන්න ඕනේ නිසා තමයි. එහෙම අපි වෙනුවෙන් රිස්ක් එකක් ගන්න බස් අයියලට අපි අනේක වාරයක් ස්තූතිවන්ත වෙන්න ඕනේ.

 

 

4. අකුරට වැඩ

 

සමහරු නම් ඇත්තටම ගොඩක් දුරට නීතියට අනුකූලව වාහන එලවන අවස්ථා ට්‍රැෆික් වලදී කලාතුරකින් උනත් දැකගන්න පුළුවන්. ඒ අය තමන් යන ට්‍රැක් එකේම පාඩුවේ යනවා. කලර් ලයිට් වල කහ වැටුන ගමන් නවත්තනවා. කහ ඉරේ ඉඩ තියල නවත්තනවා. අස්සෙන් රිංගන අයටත් ඉඩ දෙනවා. එක විකාරයයි. හෙහ්.  ඉතින් ට්‍රැෆික් එකේදී හැමෝටම මළ පැනල ඉද්දි මේවා ටිකක් විතර දිරවන්නේ නැති උනත් නොසන්ඩාලයෝ වගේ යන අයට වඩා හොඳයි කියල තමයි අපිට නම් හිතෙන්නේ. අනික හැමෝම මේ විදිහට ට්‍රැෆික් එකේ ගියොත් ට්‍රැෆික් එකත් ගොඩක් දුරට අඩුවේවි.

 

 

5. ඊයේ ගමන අද යනවා

 

තමන්ගේ වගේම පාරෙ යන අනිත් අයගේ ජීවිතත් පරදුවට තියල, ගෙදරින් එලියට වාහනේ දාපු වෙලාවෙ ඉඳන් මොකක්ද එක කඩියෙක් කාපු එකා වගේ වාහන එලවන උදවිය කොච්චරවත් පාරෙ තොටේ බලාගන්න පුළුවන්. සමහර වෙලාවට කලින් දවසේ නීඩ් ෆොර් ස්පීඩ් ගේම් එක ගහල නිදාගත්ත අය වෙන්නත් පුළුවන් මෙහෙම වාහන එලවන්නේ. බලන් ඉන්න අපිට ඉතින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆිල්ම් එක වගේ. මේක ඉතින් හොඳටම දකින්න පුළුවන් වෙන්නේ උදේ හවස, පාරෙ ට්‍රැෆික් එක නැති පැත්තට යන වාහන වලින් තමයි. මේ පැත්තෙ වාහන කිටිකිටියේ තද වෙලා ඉද්දි අරුන් ඉගිල්ලිලා යනකොට ඉරිසියාවේ බෑ තමයි. එහෙම කියල අපිටත් ඒ පැත්තට යන්න බැහැනේ.

 

 

6. බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ

සමහර කට්ටිය ඉන්නව උන්ට යන්න තැනකුත් නෑ. ඉක්මනට යන්න කියලා එහෙම දේකුත් නෑ. ඒ උනාට උන්ට හෙමින් යන්න බැරි ගායක් තියෙනවා. ඔය ගොඩක් ස්කොඩ් වල යන වාහන වලට තමයි මේ ලෙඩේ තියෙන්නේ.  ඇමතිතුමාව පාර්ලිමේන්තු දාල උන් ආයේ කාර්යාලෙට යන්නෙත් ඇමතිතුමා එක්ක යනවා වගේ. මතකනේ එක පාරක් ඒ විදිහට යන්න ගිහින් බස් දෙකක් මැද්දට සැන්ඩ්විච් දැම්ම වගේ උනා. ඒ නිසා කොයිකටත් අවශ්‍යතාවයක් නැත්නම් සාමාන්‍ය විදිහට මිනිස්සු වගේ පාරෙ යන එක නුවණට හුරුයි.

 

 

7. මම වී.අයි.පී

කලින් කිව්වා වගේ ඇත්තටම එහෙම වී අයි පී නොවන අයත් හෝර්න් එකෙන් වාහන එලවනවා ගොඩක් අය දැකල ඇති. ඒගොල්ලෝ හිතන් ඉන්නේ හෝර්න් එකෙනුයි හෙඩ් ලයිට් එකෙනුයි වාහන එලවන්න පුළුවන් කියල. තව සමහරු පංචිකාවත්තෙන් වී අයි පී ලයිට් පැනල් එහෙමත් හයි කරගන්නවා. ඉතින් ඔය මොක කළත් ට්‍රැෆික් එක කියන්නේ හැමෝටම පොදු දෙයක්. ඒක කාටවත් හිරිහැරයක් වෙන විදිහට මඟ අරින්න උත්සහ කරන එක වැරදි දෙයක්.

 

අන්තිමට කියන්න තියෙන්නේ පාරට බැස්සම හැමෝම එකයි. හැමෝටම එකම නීතියක් තියෙන්නේ. ඒ නිසා තමන්ගේ සමාජ තත්ත්වේ, රැකියාවේ තත්ත්වේ වාහනේ මොඩල් එක වගේ අනන් මනං පාරේදී තමන්ට විශේෂත්වයක් එකතු කරන්නේ නෑ කියන එක කවුරුත් මතක තියාගන්න ඕනේ. වාහනේ පදින්න ඕනේ රථවාහන නීතියට අනුකුලව. ඉතින් මේ හැමදේටම අමතරව විනය කියන එකත් ගොඩක් වැදගත්. ට්‍රැෆික් එකට විතරක් නෙමෙයි එදිනෙදා ජිවිතේ හැමදේටම විනය අත්‍යවශ්‍යයි. අන්න ඒ වගේ නීතියට අනුගත වෙන විනයානුකූල රියදුරන් වැඩි වේවා කියල ප්‍රාර්ථනා කරනව. එදාට ට්‍රැෆික් එක ගොඩක් අඩු වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *