ආසියානු සමාජයේදි ඉස්කෝලෙදි වැඩිපුර දඟ කරන, ටීචර්ගෙන් ප්‍රශ්න අහන, ක්‍රියාකාරී සිසුන් බොහෝවිට කරදරකාරයින් විදියට මාක් වෙනවා. ගුරුවරු කියන දේ ඒ විදියටම අහගෙන කට වහගෙන පාඩුවේ ඉන්න සිසුවා තමයි හොඳ සිසුවා විදියට මාක් වෙන්නේ. ඒත් බටහිර රටවල එහෙම නැහැ. නිතර හැමදේ ගැනම ප්‍රශ්න කරන, දඟලන, කියන දේ අහන් නැති දරුවන්ටත් ලොකු තැනක් එනවා. ඒ නිසාම මොනාහරි වැඩකට කාටහරි ඉදිරිපත් වෙන්න කිව්වාම දියුණු රටවල ළමයි ගොඩක් එකපාර ඉදිරිපත් වෙනවා. ලංකාවේ සාමාන්‍ය පාසැලක වැඩසටහනකට ගිහින් කාටහරි ඉදිරිපත් වෙන්න කිව්වොත් එක්කෙනෙකුට දෙන්නෙකුට වඩා ඉදිරිපත් වෙන්නැහැ. ඉතින් සමහර විට අපේ සංස්කෘතිය එක්ක බැඳිලා තියෙනවා වගේ පේන මේ ලැජ්ජාව, සබකෝලය අපිට ඉදිරියට යන්න බාධාවක් වෙනවා. අපි නිකරුණේ ලැජජා වෙවී ඉද්දි වෙනත් අය ජීවිතේ අභියෝග වලට මුහුණ දීලා ඉස්සරහට යන හැටි අපිට බලාන ඉන්න සිද්ද වෙනවා. අන්න ඒක අපේ ජීවිත වලට අවාසිදායක තත්ත්වයක් නිසා අපි බලමු කොහොමද මේ තත්ත්වය ජය ගන්නේ කියලා…
1. සමාජ වැඩ වලට දායක වෙමු
අපි හිතමු දන්සැලක් වගේ අවස්ථාවක් කියලා. අපි ඒකේ සංවිධායක කමිටුවේ ඉන්නවා නම් අපිට වගකීමක් පැවරෙනවා. එතකොට අපිට ඒ වගකීම එක්ක කට්ටිය එක්ක කතා කරන්න, මෙහෙයවන්න අවස්ථාවක් ලැබෙනවා. වෙලාවකට මම ලැජ්ජ මිනිහෙක් කියලා අමතක වෙලා කට්ටියට සැර දාන්න එහෙමත් සිද්ද වෙනවා වැඩ හරියට සිද්ද නොවෙද්දි. ඒ වගේ සුබසාධක බාහිර වැඩ ගොඩක් අපේ පාසැල් වල, ගම් වල, ඔෆිස් වල තියෙනවා. ඒවාට සහභාගි වුනාම අපිට මොනාහරි කරන්න දෙයක් පැවරෙනවා. ඒ සෝෂල් වැඩ වලදි මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න අපිට අනිවාර්යෙන් සිද්ද වෙනවා. සමාජයේ තියෙන ඒ වගේ වැඩ වලින් සමාජයට අපෙන් සෙතක් වෙනවා වගේම අපිටත් රටේ ලෝකේ මිනිස්සු හඳුනාගන්න, ඒ අය එක්ක ලැජ්ජාවක් නැතුව හොඳට කතා බහ කරන්න අවස්ථාවක් ලැබෙනවා.
2. අවස්ථාව ලබා ගනිමු
අපිට ලැජ්ජාව නැති කරන එක පැනඩෝල් බීල ඔලුවෙ කැක්කුම නැති කරගන්නවා වගේ එකපාර කරගන්න බැහැ. ටිකෙන් ටික තමයි කරන්න වෙන්නේ. එකම බස් එකේ කෝච්චියේ අවුරුදු ගාණක් වැඩට, ඉස්කෝලෙට ගියත් දන්න කියන කාත් එක්කවත් කතානැති අය ඉන්නවා. ඉතින් අපේ ගමන අතරමග බස් එක කැඩුනොත්, වැස්සක් ආවොත් එහෙම නැත්තන් කලින් දවසේ මැච් එක අපි පැරදුනොත් අපිට පුළුවන් ළඟ ඉන්න කෙනාගෙන් ඒ ගැන අහන්න. ගෑණු ළමයෙක් නම් ළඟ ඉන්න අක්කා කෙනෙක් එක්ක කතාවක් පටන් ගන්න පුළුවන්. අපි හිතාන හිටියට මිනිස්සු නරකයි අපි එක්ක කතාකරන එකක් නැහැ කියලා හැමෝම එහෙම නැහැ. සමහර අයත් අපි වගේමයි අපි පොඩ්ඩක් ස්ටාට් එකක් ගත්තාම එයාලත් කියෝනවා හෝ ගාලා.
3. අමිහිරි මතක ගුලිකර මහවැලියට දමමු
අමරසිරි පීරිස් මහත්තයාගේ ‘හන්තානට පායන සඳ’ සින්දුවේ තියෙනවා මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න කියලා. අපිට මොනාහරි කතාවක් දේශනයක් කරන්න ලැබිලා අපිට කතා කරගන්න බැරි අවස්ථා එන්න පුළුවන්. පොඩ්ඩක් බය ගතිය ඇවිල්ලා වොයිස් එක වෙව්ලන අවස්ථා එන්න පුළුවන්. හැමදාම දකින කෙල්ල එක්ක කතා කරන්න යන දවසට කකුල මෙඩලින් ගැහුවා වෙන්න පුළුවන්. ඒත් ඕවා මතක තියාගෙන ඉන්න ඕනි නැහැ. ගුලිකරලා ඒ අමිහිරි මතක අපි ඈතට දාන්න ඕනි. ඉන් පස්සේ ඒ කිසි දෙයක් නොවුන ගාණට අපිට හැකිවෙන්න ඕනි හැසිරෙන්න. ලොව පුරා දේශපාලකයින් ගත්තොත් ඔවුන් බොහෝවිට දේශපාලනික ජීවිතයේ ගොඩක් තැන්වලදි චාටර් වෙලා, අප්සට් වෙලා තියෙනවා. ඒත් කිසිම දෙයක් නොවුන ගාණට ඉන් සතියකට විතර පස්සේ ඒ අය කතා කරනවා ඔයාලත් දැකලා ඇති. අපි දේශපාලකයෝ වෙන්න ඕනි නැහැ. එත් අප්සට් සීන් ටික මතක් කර කර ලතවෙනවාට වඩා ඒවා අමතක කරලා කිසි දෙයක් නොවුන ගාණට ආයෙත් අපි උත්සාහ කරලා බලන්න ඕනා.
4. ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියමු
සෝෂල් මීඩියා වල ඇක්ටිව් චරිත ඇත්තටම සමාජයේ ඇක්ටිව් නැහැ කියන එක සර්වලෝක සත්‍යයක්. මිනිස්සු ගොඩක් එකතු වෙන හැම තැනකදිම මූණ ෆෝන් එකට ඔබාගන්න එක අපිට ඒ තැනින් ගැලවෙන්න ලොකු පහසුවක්. ඒත් දිගින් දිගටම අපි එහෙම හුරු වුනාම අපිට කවදාවත් මනුස්සයෝ ඉන්න තැනක හරියට හැසිරෙන්න බැරි වෙනවා. ඒ වගේම නිතරම ෆෝන් එක බලන් හෙඩ් ෆෝන් එකක් ගහන් ඉන්නවා නම් ඔෆිස් එකක, ක්ලාස් එකක ඔයා කැමති කෙනෙක් ඔයා එක්ක කතා කරන්න ආවත් එයා ටිකක් පසුබහිනවා මේ වයර් මිනිසා එක්ක කතාකරන්නේ කොහොමද කියලා. ඒ නිසා ෆෝන් එක පලිහක් විදියට පාවිච්චි කරලා හැංගෙන්න හුරු වෙන්නෙ නැතුව ෆෝන් එක පැත්තකින් දාලා ඇත්තට මූණ දෙන්න පුරුදු වෙන එක වටිනවා.
5. ඩ්‍රාමා, සෝෂල් ඩාන්සින්, ගායනා
පර්ෆෝමින් ආට්, එහෙම නැතිනම් දෘෂ්‍ය කලා වලදි සබකෝලය නැතිකරගන්න හැටි ගැන විශේෂයෙන් කියා දෙනවා. ඩ්‍රාමා එකක් රඟපාන නළුවෙක් වේදිකාවේ මේ කොනේ ඉඳලා හෝල් එකේ එහා කෙළවර දක්වා ඇහෙන්න කතා කරන්න ඕනි. ඒ වගේම කාටවත් බයවුනොත් එතන රඟපෑම අවුල් යනවා. ඩ්‍රාමා ප්‍රැක්ටිස් කරද්දි සබකෝලය නැති කරගන්න හැටි කියලා දෙනවා. ඒ නැතත් ඩ්‍රාමා සෙට් වලදි කට්ටිය එක්ක කතා නොකර ගොලු මෝඩ් එකෙන් වැඩේ අදින්න බැහැ. ඒ නිසා ඩ්‍රාමා ප්‍රැක්ටිස් කරන තැනකට හෝ ඒ වගේ සෝෂල් ඩාන්ස්, ගායනා වගේ ඉවෙන්ට් තියෙන තැනකට අපිට ප්ලග් වෙන්න හැකිනම් සබකෝලය, ලැජ්ජාව ටිකෙන් ටික අපෙන් ඈත් වේවි.
6. මුල් ස්ටෙප් එකේදි යාලුවන් ටිකක් ඈත් කරමු
අපේ රටේ තියෙන ගතියක් තමයි ළඟම ඉන්න යාලුවා මොනාහරි අලුතින් කරන්න ගනිද්දි දිරිමත් කරනවාට වඩා ඒක වටේ අය විහිළුවකට ගන්නවා. අපි හිතමු ඉංගිරිසි කතා කරන්න හුරුවෙන්න අපි එදිනෙදා වැඩ වලට ඉංගිරිසි කෑලි දාලා කතා කරනවා කියලා. අපේ ඉස්කොලේ, ක්ලාස් යන යාලුවෝ සෙට් එක නම් ඒ වගේ දේකදි අපිට බඩ අල්ලන් හිනාවෙන්න බලන් ඉන්නවා. ඒත් හොඳට ඉංගිරිසි කතා කරන සුද්දොවත් ඒ විදියට යාන්තම් ලැංවේජ් එක අල්ලගන්න යන අයට හිනාවෙන්නෙ නැහැ. කෙල්ලෙක් අලුතින් ටෝක් කරන්න ගියත්, ස්කෝලෙදි දහම් පාසලෙදි කතාවක් කරන්න ගියත්, කොටින්ම මොනාහරි තැනක පොඩි පට්ටමක් ලැබුනත් අපේ යාලුවෝ කරන්නේ හිනා වෙන එක. ඒ නිසා පුළුවන් නම් ඒ අපි දන්න හිනාවෙන සෙට් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපේ ලැජ්ජාව නැතිකරගන්න හුරුවෙනවා නම් වටිනවා. ඒ වගේම අපේ යාලුවො හිනා නොවෙන්නේ මොනවටද? හැම එකටම හිනා වෙනවා. ඒ නිසා යාලුවෝ හිනා වෙන ඒවත් එච්චර ගණන් ගන්නෙ නැතුව අපේ වැඩේ ගොඩදාගන්න හදන එකත් හොඳයි.
7. පොඩි පොඩි ටාගට්ස් තියාගමු
අපිට පටන් අරං දවස් කීපෙකින් ඛාන් ලා වගේ සුපර් ඩෑල් වෙන්න බැහැ. අපි පටන් ගන්න ඕනි අපි ඉන්න තැනින්. අපි මුලින්ම කාර්යාල බස් එකේ කා එක්කවත් කතා නොකළා නම් අපිට දවස් කීපෙකින් බස් එකේ ඉන්න හොඳම මුඛරියා වගේ වෙන්න බැහැ. ඒ වගේම අපි සෝෂල් වර්ක් වලට බැස්සා කියලා අපේ ඔෆිස් එකේ සෝෂල් වර්ක් කරන යූනියන් කාරයා, හොඳම උපාසකයා වගේ මට්ටමට මාසෙකින් එන්න ලැබෙන්නෙ නැහැ. අපි පොඩි ඉලක්ක තියාගෙන ඒවා සම්පූර්ණ කරගෙන යන එක ලොකු චරිත ෆලෝ කරන්න යන එකට වඩා වැදගත් වේවි.
8. පෙනුම හදාගමු
අපේ ශර්ට් එක, කලිසම, බ්ලවුස් එක, ස්කර්ට් එක පොඩ්ඩක් හරි අවුල් නම්, අපේ බෙල්ට් එක ෂූස් වලට ගැලපෙන්නෙ නැතිනම්, අපිට අපි ගැනම යම් සැකයක් එනවා. අපි හැමෝටම ලුයිස් විටොන්, හමීඩියා වගේ බ්‍රෑන්ඩ් අඳින්න පළඳින්න බැහැ. ඒත් පිළිවෙලට ගාණට අපිට අපිව සැටිස් වෙන මට්ටමට අඳින්න පළඳින්න අපිට පුළුවන් . ඒ වගේම ඇඳුමක් ඇන්දට පස්සේ වරකට දෙවතාව බැගින් පැයකට කිහිප වරක් ඇඳුම ඇඳලා හදලා වටපිට බලන්න වෙනවා නම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. කොට එකක් ඇඳන් ඇවිල්ලා දහ අතේ ඒක අදින්න යන එකත් හොඳ දෙයක් නෙමෙයි. මුලින්ම අපි අපි ගැන, අපේ පෙනුම ගැන හොඳ තක්සේරුවක ඉන්නට ඕනා. ඉන් පස්සේ අපිට අනෙක් අයට ටෝක් කරන්න, අනික් අය එක්ක ගැවසෙන්න තියෙන ලැජ්ජාව බය නැතිකරගන්න ටිකෙන් ටික හුරුවෙන්න පුළුවන් වෙනවා.
ලැජ්ජාව මිනිස්සුන්ට ඇතිවුණේ ඇයි කියන එකට හරියට විද්‍යාඥයින්ට උත්තර දෙන්න බැරිවෙලා තියෙනවා. ඒත් සාමාන්‍ය සමාජයේ මොන ක්ෂේත්‍රයකින් ඉස්සරහට යන්නත් අපිට ලැජ්ජාව බය ටිකක් ඈත් කරලා යම් මට්ටමකට අපේ පර්ෆෝමන්ස් හදාගන්න වෙනවා. කොටින්ම ක්‍රීඩකයෙක් වුනත් අවසානේ මොනාහරි ජයග්‍රහණයක් ලැබුනාම පොඩ්ඩක් නිවේදකයා එක්ක කතාබහක් දාන්න වෙනවා දෙනෝ දහක් ඉස්සරහා. ඉතින් “මම ලැජ්ජ මිනිහෙක් නේ” කියල තමුන් තමුන්වම පහලට දාගන්නෙ නැතුව පියවරෙන් පියවර ටිකෙන් ටික අපිට ඕනි මට්ටමට අපේ ලැජ්ජාව අඩුකරගෙන, සමාජයට මුහුණදෙන්න හුරුවෙන එක තමයි වෙන්න ඕන.
Leave a Reply