නාලා විනෝද වෙලා එන්න යන්න සුපිරිම දිය ඇළි 7ක්

නිවාඩුවක් සෙට් උනොත් අපේ කොල්ලො කෙල්ලො ඉතින් නාන්න තැන් හොය හොය දුවන්නෙ හරියට ගෙදර නාගන්න බැරි නිසා නෙමෙයි, නාන එකේ නියම ආතල් එක අරන් නාන්න ඕන නිසා කියලා අපේ ලොකු ඇත්තොන්ට තේරෙන්නෙ නෑනේ. ලංකාව වටේටම වතුර තියනවා වගේ ලංකාව ඇතුළෙත් නාන්න තැන් ගොඩක් තියනවා. ඒ අතරින් අපිට හොඳටම එන්ජෝයි කරන්න පුළුවන් දියඇළි ටිකක් ගැන අද අපි කියන්නයි යන්නේ.

 

1. ඇල්ල වල ඇල්ල

මොණරාගල දිස්ත්‍රික්කයේ තියන අති සුන්දරම දිය ඇල්ලක් වෙන ඇල්ල වල ඇල්ල උසින් මීටර් 6ක් වගේ වෙනවා. ඇල්ල – වැල්ලවාය පාරේ වැල්ලවාය ටවුන් එකේ ඉඳලා කි.මි.5ක් වගේ ඇතු​ළට වෙන්න සැඟවුණු කැළයක තියන මේ දිය ඇල්ලේ නාන්න සුපිරි ඒත් ගැඹුරු ජල තටාකයක් තියනවා. වැල්ලවායේ ඉ​ඳලා ඇල්ල පාරේ එනකොට කි.මි. 3ක් වගේ ගියාම රත්මල්වෙහෙර පුරාණ රජමහා විහාරේ හම්බවෙනවා. එතනින් හැරිලා තවත් කිලෝ මීටර් කීපයක් ගියාම ඇල්ලට යන කැළෑව හොයාගන්න පුළුවන්. හැබැයි ඒ පාර නම් වාහනයක් යන්න සුදුසු තත්ත්වයේ නෙමෙයි තියෙන්නෙ. තවත් මීටර් කිහිපයක් ඇවිදගෙන ගියාම ඇල්ල ලඟට යන්න පුළුවන්.

 

2. රාවණා ඇල්ල

ඇල්ල පැත්තෙ තියන නාන්න සුපිරිම දිය ඇල්ලක් තමයි මේ. සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රිය දිය ඇල්ලක් වෙන මේක කඳුකරයේ තියන අනික් දියඇළි අතරින් ඉහළින්ම තියනවා. දැනට ලංකාවේ තියන පළලම දිය ඇල්ලක් තමයි මේ. උසින් මීටර් 25ක් වගේ රාවණා ඇල්ල අභයභූමියට අයත් ඇල්ලක් වෙන මේක ඇල්ල ස්ටේශන් එකේ ඉ​ඳලා කි.මි.6ක් වගේ දුරක තමයි තියෙන්නෙ. මේ දිය ඇල්ලේ අතීත කතාව ගත්තොත් ඉන්දියාවේ වීර කාව්‍ය​යක් වෙන රාමායණයට සම්බන්ධයි. රාවණා විසින් සීතා කුමරියව පැහැරගෙන ගිහිල්ලා හං​ගගෙන ඉඳලා තියෙන්නෙ මේ ඇල්ල පිටිපස්සෙ කියලයි කියවෙන්නෙ. ඒ වගේම මේ ඇල්ලෙ වතුර එකතුවෙන තැන රාමාගේ රැජින ස්නානය කරන්න ගත්තා කියලත් පුරාවෘත්ත වල සඳහන් වෙනවා. ගියා වගේ නෙමෙයි වතුර ප්‍රමාණය බලලා වතුරට බහින්න. මෙහෙ ගල් එහෙම ලිස්සනසුළුයි. ඒ නිසා පරිස්සමින්

 

3. කිතුල්ගල ඇල්ල හා ගඟ

කැළණි ගඟෙන් හැදුනු තවත් ලස්සන ඇල්ලක් තමයි මේ. දේශීය පිරි​ස මෙන්ම විදේශිකයන් අතරත් ගොඩක් ජනප්‍රිය වෙලා තියන නාන්න නියම ප්ලේස් එකක් තමයි මේ​ක. ගොඩක් අය වෝටර් රාෆ්ටින් වලටත් යනවා. කොළඹ ඉඳලා පැය දෙකකින් වගේ යන්න පුළුවන් නිසා දිනපතාම ගොඩක් අය යනවා. හොඳ පහසුකම් එහෙමත් සපයලා තියනවා ගිහින් බලන්නකො එහෙනම්.

 

4. දියලුම ඇල්ල

ලංකාවේ දෙවෙනි උසම දියඇල්ල තමයි මේ. මීටර් 220ක් උස මේ ඇල්ල පිහිටලා තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ. කොස්ලන්ද ඉඳලා කි.මි.6ක් ගියාම මේ ඇල්ලට ලඟා වෙන්න පුළුවන්. ඇල්ල උඩටම යන්න පාරක් තියනවා. ගල් උඩින් පැන පැන යන ගමන ඇත්තටම හරිම සුන්දරයි. උඩටම ගියාම ඇල්ලෙන් වැටෙන වතුර වලින් හැදුනු පොඩි ජල තටාක තියනවා. වතුර වැඩි කාලෙට නම් මෙහෙ යන එක ටිකක් අවදානම්. හැබැයි සුපිරිම ෆන් එකක් ගන්න පුළුවන් තැනක්.

 

5. ඇබර්ඩීන් ඇල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර් 98ක් උස ඇබර්ඩීන් ඇල්ල බලන් ඉන්න ආසා හිතෙන ඇල්ලක්. ඒ වගේමයි නාන්න යන අයත් ගොඩක් කැමති තැනක් මේක. ගිණිගත්හේනට කිට්ටුව පිහිටලා තියෙන මේ ඇල්​ලෙ නාන්න ලොකු ඒරියා එකක් තියනවා. හැබැයි වතුර වැඩි කාලෙට නම් යනකොට බලාගෙන.

 

6. දුනුමාල ඇල්ල

අලවල ​දේවින් පැන්න ඇල්ල, උඩුවක ඇල්ල වගේ නම් වලිනුත් හඳුන්වන උකුවෙල පාරේ තියන තවත් මනරම් දිය ඇල්ලක් තමයි මේ. ගම්පහ පැත්තේ ඉන්න කොල්ලො කෙල්ලන්ට නම් මේ නම හොඳට හුරුයි. ඒ සති අන්තේ ගොඩක් දෙනා ගිහිල්ලා නාලා එන්න පුරුදු වෙලා ඉන්න නිසයි. මේ ඇල්ල දරුණු නියඟ කාලෙදිවත් හිඳිලා නෑ කියලයි ගම්මු නම් කියන්නෙ. ඉස්සර අලිපාවල්ල කියලා අලින්​ට නාන්න තටාකයක් තිබිලා තියනවා. නාන්න යන කවුරු උනත් පරිස්සම් වෙන්න කියලයි අපි නම් කියන්නේ.

 

7. බෝපත් ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කේ කුරුවිට ප්‍රදේශයේ පිහිටලා තියන මේ දිය ඇල්ලට මේ නම වැටිලා තියෙන්නෙ ඒකේ පිහිටීම බෝ කොළයක හැඩේට තිය​න නිසා. කුරු ගඟේ ජලයෙන් නිර්මාණය වෙලා තියෙන මේ ඇල්ල මීටර් 30ක් විතර උසයි. ඇල්ලේ අවසානයේ කලුගම්මෝදරදි කළුගඟට එක් වෙනවා. ඇල්ල වටේට අත්තික්කා, මිදෙල්ල හා තවත් ශාක ගොඩක් තියනවා. සංචාරකයින් ගොඩක් ආස කරන මේ තැන නාන්න සුවිශේෂී වූ තටාකයක් වගේ හැදිලා තියනවා. ඒ වගේම මේ අවට වනය විවිධ වර්ගයේ සතුන් පිරි ​ජෛව විවිධත්වයක් තියන ප්‍රදේශයක් .පරිසරයට හානි නොකර එන්න කැමති අය විතරක් මෙහෙ ගියොත් හොඳයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *