තමන් ගැනම ඉතාම ඉහළින් හිතාගෙන ඉන්න මනුස්සයෙක්ගේ ගති ලක්ෂණ මෙහෙමයි!

අහලා තියෙනවද ‘නාසිසිස්ටික්’ කියලා වචනයක්? ඒ කියන්නේ තමන් ගැනම හිතන, තමන් වටේ තමයි මුළු සෞරග්‍රහ මණ්ඩලේම කැරකෙන්නේ කියලා හිතාගෙන ඉන්න, ඒ නිසාම අනික් ඔක්කොම ඉන්නේ තමන්ට පහලින් කියලා හිතාගෙන ඉන්න, ඒ නිසාම හරිම මාන්නක්කාර ගතියකින් ඉන්න කෙනෙක්ට තමයි නාසිසිස්ටික් ඩයල් එකක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. කොටින්ම කියනවා නම් මේ ජාතියේ මිනිස්සු තමන්ටම තමයි ලව් කරන්නේ. මේක නිකම්ම ආත්මාර්ථකාමී වීම නෙවෙයි. මේක ඊට එහා ගියපු දෙයක්. ඉතින් මේ අපි කියන්න හදන්නේ, නාසිසිස්ටික් මනුස්සයෙක්ව අඳුනගන්න පුළුවන් ගති ලක්ෂණ කීපයක් ගැන!

 

1. මටත් ඔහොම එකක් වුනානේ!

දැන් අපි මොකක් හරි හිතේ කරදරේකින් ඉන්නකොට අපි ලඟින්ම ඉන්න කෙනෙක් එක්ක ඒ ගැන කියනවනේ. සමහර වෙලාවට අපිට ඒ කෙනාගෙන් ඕන කරන්නේ අපේ තත්ත්වයට විසඳුමක්. එහෙම නැතිනම් අපිට ඕන කරන්නේ අපි කියන දේ අහගෙන ඉන්න. හැබැයි ඒ මොකක් වුනත් තමන් වටේ ලෝකේ කරකැවෙනවා කියලා හිතාගෙන ඉන්න හාදයෙක් හෝ හාදියක් අපිට හරියට ඇහුම්කන් දෙන්නෙ නෑ. අපේ කතාව පටන් ගන්නකොට එයා කියන්න පටන් ගන්නවා එයාටත් සිද්ධ වුණු ඒ වගේම දෙයක් ගැන. අන්තිමට අර අපේ හිත් අමාරුව පැත්තක තියලා එයාට වුණු දේවල් ගැන අහගෙන ඉන්න තමයි වෙන්නේ!

 

2. හොඳක් අහන්න වෙන්නෙ නෑ!

සාමාන්‍යයෙන් නාසිසිස්ටික් ඩයල් එකක් මළාට තවත් කෙනෙක්ට හොඳක් කියන්නෙ නෑ. බැරිවෙලාවත් හොඳක් කිව්වත් කොණක් ඉතුරු කරලා කියන්නේ. “ඔයාගෙ වැඩ හොඳයි, හැබැයි ඔයිට වඩා පිළිවෙල හදාගන්න වෙයි” ඕන්න ඔහොම. එහෙම කමෙන්ට් ඕනම කෙනෙක් දෙන්න පුළුවන්. හැබැයි නාසිසිස්ටික් මනුස්සයෙක් දෙන්නෙම ඔහොම කමෙන්ට්ස් තමයි. මේ වගේ අය පොදුවේ අනෙක් අයගේ අදහස්, හැකියාවන්, හිතන පතන දේවල් පහළට දාලා තමයි කථා කරන්නේ. හෙළා දැකීම කියන එක මේ වගේ අයගේ ජාන වලින්ම එන එකක්!

 

3. හැබැයි මගේ ගැන හොඳම තමයි කියන්න ඕන!

අපි හැමෝම කැමතියිනේ අපි ගැන අනික් අය හොඳ කියනවට. නාසිසිස්ටික් අයත් එහෙම තමයි. විශේෂයෙන්ම එයාලා අනික් අය ගැන කිසිම හොඳක් නොදැක්කට, නිරන්තරයෙන්ම අනික් අයව විවේචනය කළාට තමන්ට විවේචන එල්ල වෙනවට ඒ අයගේ කිසිම කැමැත්තක් නැහැ. තමන්ව විවේචනය කරන කෙනෙක්ට හෝ තමන්ගේ දෝෂයක් පෙන්නලා දෙන කෙනෙක්ට පස්සෙන් පන්න පන්න පහර දෙන්න පවා නාසිසිස්ටික් මනුස්සයෙක් පසුබට වෙන්නෙ නෑ. අනික් අතට එයාලා මාරම කැමතියි හැමෝම තමන්ගේ ගුණ වර්ණනා කරනවාට. හැමෝම තමන්ගේ හැකියාවන් ගැන කථා කරනවට. ඒකෙන් එයාලා පුදුමාකාර සතුටක් ලබන්නේ.

 

4. හැමදේම මම ගැනමයි!

“මම හැමදේම දන්නවා, මට හැමදේම පුළුවන්, මම තමයි හොඳම!” ඔන්න ඔය විදියට තමයි ලෝකේ තමන් වටේ කරකැවෙනවා කියලා හිතාගෙන ඉන්න මනුස්සයෙක් හිතන්නේ. ඒ අය කථාබහකදී වුනත් වැඩියෙන් කථා කරනවා. හැබැයි කථා කරන්නේ තමන් ගැනම තමයි. තමන්ගේ සාර්ථකත්වයන්, තමන් ලබාගත්තු දේවල්, තමන්ගේ විශිෂ්ටත්වය වගේ දේවල් ගැන හරියට මේ අය කථා කරන්න කැමතියි. සමහර වෙලාවට මේ වගේ අය එක්ක සංවාදයක් එහෙම කරන්න හරිම අමාරුයි. මේ අය ආසයි තමන්ගේම කටහඬ අහන්න. ඒ නිසා මේ අය උත්සාහ කරනවා අනික් අයට කථා කරන්න ඉඩක් නොදී තමන්ම කතා කරන්න. කොතනකදී හරි හැමෝම එයා වටේට රොක් වෙලා, එයා තමන් ගැන දෙන පොර ටෝක් අගය කරන සුළු ආකල්පයකින් අහගෙන ඉන්නවා නම්, ඒ තරම් සුන්දර ෆැන්ටසියක් නාසිසිස්ටික් මනුස්සයෙක්ට තවත් නෑ!

 

5. මට නීති අදාළ නෑ!

ලෝකේ තමන් වටේ කැරකෙනවා කියලා හිතාගෙන ඉන්න මනුස්සයෝ හැම මොහොතකම හිතන්නේ තමන් ඉන්නේ සමාජයේ අනෙක් හැමදෙනාටම උඩින්ය කියලනේ. ඒ අය හිතනවා තමන් දැනුමෙන් හරි බලයෙන් හරි පෞරුෂත්වයෙන් හරි වෙන මොනවා හරි දේකින් හරි අනික් අයට වඩා උඩින් ඉන්නවා කියලා. ඒ නිසාම මේ අය හිතනවා සම්මත සමාජය වෙනුවෙන් තියන නීති රීති, සදාචාර සීමාවන් තමන්ට අදාළ නැහැයි කියලා. හැබැයි ඒ එක්කම මේ අය හිතනවා ඒ නීති රීති හෝ සදාචාර සීමාවන් අනික් හැමෝම පිළිපදින්න ඕනය කියලත්. මේ වගේ මනුස්සයෙක් කිසිම දෙගිඩියාවක් නැතුව තවත් කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වන්න පුළූවන්. හැබැයි තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන මනුස්සයෙක් එක්ක කථා කරනවට පවා මේ වගේ එක්කෙනෙක් අකමැති වෙන්න පුළුවන්.

 

6. මම හැමවෙලාවකම හරි!

අපි හැමෝටම යම් මොහොතක වරදින්න පුළුවන්. සෑහෙන ඊගෝ එකක් තියෙන මනුස්සයෙක්ට එතකොට තමන්ට වැරදුනා කියලා පිළිගන්න එක ටිකක් අමාරු වැඩක් වෙයි. හැබැයි ලෝකේ තමන් වටේ කැරකෙනවාය කියලා හිතාගෙන ඉන්න මනුස්සයෙක්ට නම් මේ තමන්ට වරදින්න පුළුවන්ය කියන එක වෙන්න බැරිම වැඩක්. මේ වගේ මනුස්සයෙක් හැම මොහොතකම හිතන්නේ තමන් හරිය, අනෙක් මුළු ලෝකෙම වැරදිය කියලා තමයි. මොකද එයා හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙටම උඩින් නිසා. ඒ නිසාම තමන් සහ තවත් කෙනෙක් අතර මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත්, තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සහ තමන් අතර ගැටළුවක් ඇති වුනොත් අනිවාර්‍යයෙන්ම ඒකේ වැරැද්ද කරලා තියෙන්නේ අනික් කෙනා. නාසිසිස්ට් මනුස්සයාට වරදින්න විදියක් නැති නිසා එයා වැරදි නෑ. අන්න ඒ නිසා එහෙම කෙනෙක් එක්ක ඉන්න කෙනාට සිද්ධ වෙනවා හැම මොහොතකම, මොන දේ වුනත් වැරැද්ද බාරගන්න. ඇත්තටම නාසිසිස්ටික් මනුස්සයෙක් තව කෙනෙක්ගේ හොඳක් දකින්න බොහොම මැලියි වගේම තමයි, තවත් කෙනෙක්ට දෝෂාරෝපණය කරන්න තත්පරයක්වත් පැකිළෙන්නේ නැහැ.

 

7. මට ඕනේ!

දැකලා තියෙනවද අර පොඩි ළමයි ඉන්නවා, මොනවා හරි දෙයක් දැකලා හිත ගියොත් එහෙම අම්මයි තාත්තයි ඒක අරගෙන දෙනකල්ම පෙරළි කරනවා? ඒ අයට දේකට හිත ගියොත් ඒක ඕනම තමයි. එහෙම හිත යන්නේ ඉර හඳ වගේ ලබාගන්න බැරි දේකටද කියන එක වුනත් ඒ අයට අදාළ නෑ. ආන්න එහෙම පොඩි ළමයි වගේ තමයි ඔය ලෝකේ තමන් වටේ කැරකෙනවා කියලා හිතාගෙන ඉන්න උන්දැලත්. ඒ අයට මොනවා හරි ඕන වුනොත් එහෙම ඉතින් ලෝකෙම පෙළ ගැහෙන්න ඕන ඒ අයට ඒක ලබාදෙන්න. එහෙම නොවුනොත් ඉතින් යම යුද්ධයයි. විශේෂයෙන්ම මේ අයත් එක්ක සමීපතමයන්ට එහෙම නම් ඉන්න හරිම අමාරුයි. මොකද මේ අයට අතට පයට සමහර වෙලාවට වැඩ කරලා දෙන්න සිද්ධ වෙනවා. ඉල්ලන දේ නාග ලෝකෙන් හරි ගෙනැල්ලා දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වගේම තමයි අනික් පැත්තත්. මේ අය තමන් එක්ක ඉන්න අනික් කෙනාගේ අවශ්‍යතා ගැන නම් තුට්ටුවකටවත් තකන්නේ නැහැ!

 

දැන් මේක කියවනකොට හිතෙනවාද මටත් මේ විදියේ ගතිලක්ෂණ තියෙනවා කියලා? එහෙමනම් සුබපැතුම්, ඔයත් ලෝකේ තමන් වටේ කැරකෙනවා කියලා හිතාගෙන ඉන්න මනුස්සයෙක් තමයි. හැබැයි මතක තියාගන්න. හිතුවොත් තමන්ට අද ඉඳලා වුනත් වෙනස් වෙන්න පුළුවන්!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *