රේල් හයික් එකක් හරියට කරමුද? මෙන්න ඒකට ටිප්ස් 7ක්

 

රේල් හයික් යන වචනෙ අද වෙනකොට ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා. ලංකාව වටේටම තියන දුම්රි​ය මාර්ග පද්ධතියේම රේල් හයික් යන්න පුළුවන් සුන්දරම තැන් ටිකකුයි, යනකොට අනිවාර්​යෙන්ම දැනගෙන යන්න ඕන කරුණු ටිකකුයි අපි මේ අරගෙන ආවේ. යන්න අදහස් කරන් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න මුල ඉඳලම කියවන්න හොදේ.

 

1. මොනාද මේ රේල් හයික් කියන්නෙ?

සරලවම රේල් හයික් කියන්නේ  ඔය කොල්ලෝ කෙල්ලො සෙට් එකක් එකතුවෙලා ලස්සන පළාත​ක රේල් පාර දිගේ ලස්සන බල බල ඇවිදගෙන යන එක. මේකට ලංකාවේ නම් නීතියෙන් අවසර දීලා නෑ. එහෙමයි කියලා අපේ සිරි ලන්කන් පීපල් ඒවා නොකර ඉන්නවද?නෑනේ… අද වෙනකොට තරුණ කට්ටිය අතරෙ ගොඩක් ජනප්‍රිය වෙලා තියන විනෝදාංශයක් තමයි මේ.

 

2. යන අය දැනගෙන යන්න ඕනේ මොනාද?

මෙහෙමයි රේල් හයික් එකක් කරන්න ප්ලෑන් කරනවනම් ඉස්සෙල්ලම ලො​කේශන් තෝරගන්න ඕනේ. ඩිස්ටන්ස් එක බලලා කොතන ඉ​ඳන් කොතනටද හයික් එක කරන්නෙ කියලා හදා ගන්න. ඊට පස්සෙ අදා​ළ ස්ටේශන් එකෙන් ලිඛිතව නැතත් ස්ටේශන් මාස්ටර් හම්බෙලා අවසර අරගන්න ඕනේ. ඒක යන දවසට කරගන්න පුළුවන්. හයික් එක පටන් ගන්න ස්ටේශන් එකේ ඉඳලා ඉවර වෙන ස්ටේශන් එක වෙනකල්  තියෙන ස්ටේශන් වල ටයිම් ටේබල් එකක් ඔයාලා අතේ තියෙන්නම ඕනේ. අනික ඒක අප්ඩේටඩ් එකක් වෙන්නත් ඕනේ. ඒ වගේම හයික් එක කරන පාරේ මැප් එක තියෙන්නත් ඕනේ ඔයාලගෙ අතේ. ඒ පාරෙ තියන බිංගෙවල්, පාලම් ගැන හොඳ අවබෝධයක් තියාගෙන ගමන පටන් ගන්න. පටන් ගන්න කලින්ම කියන්නෙ පිස්සු නටන ඩයල් නම් එක්කන් යන්න එපා. මොකද සමහර ස්ථාන තියනවා ගොඩක් අවදානමක් ගන්න වෙන. ඒවගේම රේල් පාර කියන්නෙ කොහොමත් අවදානම් සහිත ස්ථානයක්නේ. ඒ නිසා මේ ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනවා.

 

3. උඩරට මාර්ගයේ රේල් හයිකින් ඒරියාස්

මේ පැත්ත තමයි කට්ටිය යන්න ගොඩක් ආසම. මොකද ගොඩක් ලස්සන පැත්තක් කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ගොඩ දෙනෙක් යන්න ආසා පැත්තක් නිසා අපි වැඩි විස්තර ටිකක් දෙන්න හිතුවා. ශ්‍රී ලංකා දුම්රිය පණතට අනුව නම් දුම්රිය මාර්ගයේ ගමන් ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා නිල අවසරයක් නම් ගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි දුම්රි​ය මාර්ගයේ ස්ථානාධිපතිගෙන් සහ ස්ථිර මාර්ග පරීක්ෂක එක්ක කතා කරලා නොනිල අවසරයක් ගන්න පුළුවන්

 

ඔහිය –  ඉදල්ගස්හින්න හයික් එක

මේ රූට් එකේ යනවනම් ඔහිය IPW එකෙන් ඒ කියන්නේ මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර ගන්න ඕනේ. මොකද මේ පාර තියෙන්නෙ හෝර්ටන්තැන්න අභයභූමිය හරහා. එතකොට අවසර නැතුව ගියොත් ෆොරස්ට් සෙකියුරිටි අල්ලනවා. හැබැයි සංවේදී කලාපයක් හරහා වැටිලා තිය​න නිසා අවසර ගන්න ටිකක් අමාරුයි. මේක බිංගෙවල් 14ක් තියන පාරක්. ලංකාවේ වැඩිම බිංගෙවල් ප්‍රමාණයක් තියෙන්නෙ මේ ස්ටේශන් දෙක අතර නිසා අවදානම ටිකක් වැඩියි. ඒ නිසා උඩින් කිව්ව දේවල් වලට ලෑස්ති වෙලා යන්න ඕනේ. ඒ වගේම බිංගෙවල් වැඩි නිසා මේ බිංගෙවල් ඇතු​ළේ වැහිලිහිණියො හදලා තියන කූඩු කඩලා අවට හොටෙල්ස් වලට විකුණන්න පුරුදු වෙලා තියන අය ඉන්න නිසාත් (වැහිලිහිණි කූඩු වලින් රස සුප් එකක් හදන්න පුළුවන් නිසා) යන කට්ටිය ෆොරස්ට් එකට හොරෙන් පැනලා මත්ද්‍රව්‍ය භාවිතා කරන නිසාත්, මේ වෙනකොට කඳුකර කොටින් බෝවෙලා තියන නිසාත් අවසර නොගෙන යන එක නම් කරන්නම එපා.

 

පට්ටිපොල – ඔහිය

 

මේ ස්ටේශන් දෙක අතර යනවනම් පට්ටිපොල IWP ඔෆිස් එකෙන් අවසර ගන්න වෙනවා.මතක තියාගන්න ෆොටෝස් ගන්න සිහියෙන් නම් යන්න එපා. හො​ඳ අවධානෙන් යන්න ඕනේ ගමනක් මේක.

 

ඇල්ල – දෙමෝදර හයික් එක

 

ඇල්ල ස්ටේශන් එකේ IWP ඔෆිසර් ගෙන් අවසර ගන්න ඕනේ. යන ගමන් ආරුක්කු 9 පාලම උඩ ඉඳලා, ඇති තරම් ෆොටෝස් එහෙමත් ගහලා හිමින් යනවනම් පැය 4ක වගේ ගමනක්. ඇල්ල පැත්තෙන් පාලමට ලඟයි. ඒක ලඟත් ෆන් එකක් අරන් දෙමෝදර රේල් ගැටේත් බලලාම එන්න පුළුවන්. දෙමෝදර පැත්තේ ඉඳලා එනවනම් හරි ලස්සනයි.

 

 

4. මේන් ලයින් එකේ රේල් හයික් එකක්

මේන් ලයින් එක, ඒ කියන්නෙ කොටුව ඉඳලා රඹුක්කන, කඩුගන්නාව පැත්තට යන්න පුළුවන්. ටිකක් රස්නෙ පැත්තක් උනත් හරි ලස්සන පාලම්, ඔයවල් පහුකරගෙන යන්න තියෙන මේ ගමනත් ඉතින් හරි ලස්සනයි.

 

ගල් ඔය – අග්බෝපුර හයික් එක

 

සම්පූර්ණ දුර කි.මි.25.3ක් තියනවා. දැනට ලංකාවේ ස්ටේශන් දෙකක් අතර වැඩිම දුරක් තියෙන්නෙ මේ ස්ටේශන් දෙක අතර කියලයි අපිට දැනගන්න ලැබුණේ. මේ හයික් එක විශේෂ වෙන්නෙ මේ හරහා යනකොට වනෝද්‍යානයන් දෙකක් පහු කරන් යන්න වෙන නිසා.ඒ නිසා වන සතුන්ගෙන් පරිස්සම ඉතා වැදගත්. විශේෂයෙන්ම වල් අලින්ගෙන් තමයි ප්‍රවේශම් වෙන්න ඕනේ. කවුඩුල්ල  වනෝද්‍යානය හරහා කි.මි 12කුත් සෝමාවති​ය වනෝද්‍යානය හරහා තවත් කි.මි.10කුත් වැටිලා තියන මේ ගමන ඇත්තටම සුන්දරයි. අනික වන සතුන් දුම්රියේ ගැටීම අවම කරන්න පැයට කි.මි 20ක වේගයෙන් වගේ තමා දුම්රිය ධාවනය වෙන්නෙ මේ ටිකේ.

 

රඹුක්කන – කඩුගන්නාව

 

මේ අතට ගමන් ගන්න නම් ලොකුවට අවසර ගන්න ඕනේ නෑ. හැබැයි සමහර මිනිස්සුන්ගේ ඉඩම් දෙකඩ වෙලා තියනවා රේල් පාර නිසා. ඒ නිසා එයාලා රේල් පාර හරහා නිතර ගමන් කරනවා දකින්න පුළුවන්.

 

ඒ වගේම තව රේල් හයික් යන්න පුළුවන් තැන් තමා පහළින් දාලා තියෙන්නෙ.

 

හබරණ – කැකිරාව

මේ රේල් හයික් එකේදි ඈතින් රිටිගල කන්ද පේනවා.

 

ගනේවත්ත – කුරුණෑගල

කුරුණෑගල ඉ​ඳලා කි.මි 21ක් දුර තියන ගනේවත්ත ස්ටේශන් එකට යන ගමන නම් අව් කාෂ්​ටකේ යන්න වෙන්නෙ. මුලු ගමනටම පැය 6ක් වගේ යනවා. යන පාරේ ආඳා ගල, යක්දෙස්සාගල, දැදුරුඔය පාලම වගේම ගල්ගුහාත් දකින්න පුළුවන්.

 

5. පුත්තලම ලයින් එකේ හයික් එකක්

රේල් හයික් කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ උඩරට දුම්රිය මාර්ගයනේ. ඒ උනාට පරිසරය විඳිමින් යන්න නම් පුත්තලම ලයින් එකත් නියමයි.

 

බත්තුළුඔය – මදුරන්කුලිය

මේක පැය 6ක විතර ගමනක්. බිංගෙවල් නම් එකක්වත් අහු වෙන්නෙ නෑ. ඒ වගේම ලස්සන ගස්කොළන් තියන පැත්තක්.

 

ලුණුවිල – නාත්තන්ඩිය

යනවනම් මේත් ලස්සන රූට් එකක්

 

6. කැළණි වැලියේ සුන්දර රේල් හයික්

කැළණි වැලි දුම්රිය මාර්ගය, එහෙම නැත්තන් කොළඹ ඉඳලා අවිස්සා​වේල්ලට තියන මාර්ග​ය  දැක්කම යන්න ආස හිතෙන පැත්තක්. ගොඩක් වංගු සහිත පාරක් නිසා රේල් හයික් එකක් කරනවනම් අවධානෙන් යන්න ඕනේ. අනික මේ පැත්තට එක ලයින් එකක් විතරක් තියන නිසා යන මඟදි ට්‍රේන් එකක් එහෙම සෙට් උනොත් අනික් පැත්තට පැනලා බේරෙන්න බෑ. ලයින් එකෙන් එලියට යන්නම වෙනවා. ඒ නිසා පරිස්සමින් හොඳේ. මේ අවිස්සා​වේල්ලට යන ගමනේ ගස්කොළන් දෙපැත්තෙන්ම පිරුණු හරිත ප්‍රදේශයකින් තමා යන්න තියෙන්නෙ.

 

7. දැනට වසා දැමුණු රේල් පාරවල් දිගේ

දැනට පාවිච්චි නොකර වහලා දාලා තියන රේල් පාරවල් ලංකාවේ තියනවා කියලා දැනං උන්නද?

 

නානුඔය සිට රාගල හරහා නුවර එළිය දක්වා

 

දැන්නම් නුවරඑළියේ යන්න ඕනේ නම් නානුඔයින් බැහැලා බස් එකේ යන්න ඕනේ. ඒත් ඉස්සර එහෙම නෑ .නානුඔය ඉඳලා නුවරඑළිය හරහා රාගල දක්වාම පුංචි කෝච්චි සේවාවක් තිබිලා තියනවා. එතකොට අපේ රට යටත් විජිතයක් නිසා වගා කරපුවා කොළඹට ගෙනියන්න බදුල්ල වෙනකල් හදපු පාර ප්‍රමාණවත් නැති නිසා මේ පාරත් හදලා තියෙන්නෙ. ගොඩක් සුන්දර මාර්ගයක් උනත් මේ පාරේ කෝච්චි ගිහින් තියෙන්නෙ පයින් යන ගාණට වගේ වේගෙන්. මේ පාර ගොඩක් දුෂ්කර නිසා තමයි ඒ. කාලයත් එක්ක සුද්දට මේ වැඩේ ලාභදායී නැති නිසාත් ලොරි වලින් බඩු ප්‍රවාහනය ජනප්‍රිය උන නිසාත් මේ පාර වහලා දාන්න තීරණය කරලා. නානුඔය, බ්ලැක්පූල්, නුවරඑළිය, කඳපොල, බෲක්සයිඩ් හා රාගල තමයි ඒ තිබුණු ස්ටේශන් ටික. ඒ අතරට පස්සෙ කාලේ තව ස්ටේශන් එකතු උනා. අදටත් මේ පාරෙ අවශේෂ බලාගන්න ඕනේ නම් නානුඔය පොලිසිය පාරේ උඩට ගිහින් පරණ දුම්රිය නිල නිවාස දිගේ එඩින්බරෝ වතු යායට යන්න. බංගලාහත, වින්ඩ් කෝනට් හා බ්ලැක්පූල් හරහා නුවරඑළියට අවශේෂ ඉතුරු වෙලා තියනවා. ඒ වගේම ග්‍රෙගරි වැව ආසන්නයෙත් සමහර කොටස් බලාගන්න පුළුවන්.

 

විහාරමහාදේවී පාක් එකේ පුංචි කෝච්චි පාර

 

ඔයාලට මතකද ඔයාලා පොඩි කාලේ පුංචි කෝච්චියක ගියා විහාරමහදේවී පාක් ඇවිත්? අසූව දශකෙ මැද හා අනූව මුල ඉපදුණු අයට නම් මේක මතක ඇති. පාක් එක වටේට තැනින් තැන රේල් පීලී දකින්න තියනවා අදටත්. මේකේ ධාවනයට ඒ කාලේ කැළණිවැලි මාර්ගයෙන් අයින් කරපු P1 527 හන්ස්ලට් වර්ගයේ එන්ජිමක් තමයි යොදාගෙන තියෙන්නෙ. ඒ කා​ලේ මේ කෝච්චි දැම්​මෙ පාක් එකට එන අයගේ විනෝදය සඳහාමයි. 1978 පටන් ගත්තු මේ සේවාව 1999 වෙනකොට අවසන් වෙලා. ඒ කෝච්චියෙ කොටස්, රේල් පීලි ගලවලා සමහර ඒවා දැනටමත් අයින් කරලා

 

කොහේ කොහොම ගියත් අපේ සුන්දර පරිසරයට හානියක් නොකර අඩි සටහන් විතරක් තියලා මතකයන් ගොඩක් අරගෙන එන්න වගබලාගන්න ඕනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *