සිනමා තරු නොවුණු ඒ කාලේ ඉන්දියාවේ අපේ සිහින කුමාර තරු

සමහරු සිනමාවට ආවෙත් නෑ. ආවත් සිනමා තරු බවට පත් වුණේ නෑ. සිනමා කෑල්ල හැලිලා ගියත් තරුව කියන කෑල්ල හැලිලා ගියේ නැහැ. අතීතකාමයේ රසමුසු තැන් හොයා බලද්දී අල්ලපු රටේ ඒ කාලේ හිටපු අරුම පුදුම කිරිමැට්ටෙන් හැදුවා වගේ ලස්සන කොල්ලෝ ගැන මතකය තියෙනවා. සිනමාවට සම්බන්ධ නොවී මේ විදියට අපේ ජීවිතවලට සම්බන්ධ වුණ බොහෝ දෙනා ගොඩක් වෙලාවට Indiepop ශානරයේ ගීත වීඩියෝවල හිටපු සුපිරි මොඩෙල් තමයි.



1. ජාස් අරෝරා


අරෝරා මහත්තයගේ මූණ අපිට හුරු පුරුදු වෙන්නේ ‘Gur Naal Ishq Mitha‘ කියන අතිශය ජනප්‍රිය ගීතයේ වීඩියෝව නිසයි. කොහොමත් මෙයා පන්ජාබ් පොරක්. මේ වීඩියෝ එකේ මතක හැටියට කාන්තා පාර්ශ්වේ ප්‍රධාන නියෝජනය ආවේ මලයිකා අරෝරාගෙන්. අරෝරා මහත්තයා චිත්‍රපට කීපයක රඟපෑවට මොකෝ ඉතින් රංගන ශිල්පියෙක් විදියට තරු ආකර්ෂණයක් ලබාගත්තේ නැහැ. Chalte Chalte එකේ ෂාරුක්ලා එක්කත් රඟපෑවට මොකෝ කාටත් මතකයක් නැහැ. සිනමාවෙන් එපිට තමයි ඔහුගේ මතකය තියෙන්නේ. අරෝරා ඒ දවස්වල අනා කියුට් කාණ්ඩෙට අයිති නොවන හැඩි දැඩි කොල්ලෙක්. හැබැයි අර වීඩියෝ එකේ නම් හෙන ම හුරතල්. දැන් ඔය සපත්තු කර්මාන්තයක් කරගෙන යහමින් ජීවත් වෙනවා ය කියලා තමයි ආරංචි.


2. බික්‍රම් සලූජා


බික්‍රම් කියන්නේ ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ භේදයක් නැතුව ආදරේ කරපු අමුතු ම කඩවසම් බවක් තිබුණ තරුණයෙක්. බික්‍රම්ට අරෝරාට තරම්වත් සිනමා කර්මාන්තය යා දුන්නේ නැහැ. ඒත් ඒකටත් එක්ක බලන බලන මියුසික් වීඩියෝ එකේ හිටියා. බික්‍රම් Graviera Man of the Year කියන සම්මානය පවා දිනාගෙන තියනවා. බික්‍රම්ගේ මුහුණ නිකන් කවකටු කෝණමාන තියලා ඇන්දා වගේ අඩුවක් කියන්න බැරි තරමට ම තියුණු. බැල්මට් එකත් සෑහෙන සරාගී බවකින් පිරිලා. එයා රංගන දායකත්වය දුන්නු ප්‍රසිද්ධ ගීතයක් තමයි Tere Bin Jeena Nahi කියන්නේ.

3. මිලින්ද් සෝමන්


හිසේ ඉඳන් පාදාන්තේ දක්වා ගිනි ගින්දර ඩෑල් එකක් තමයි මිලින්ද්. තවමත් තමන්ගේ රූපය සහ හැඩය වයසට අනුව පවත්වාගෙන යන්න සමත් වුණ වයසට ගියත් වයස නොපෙනෙන බවක් තමයි අදටත් මිලින්ද්ගේ තියෙන්නේ. Made in India කියන සුපිරි ම සුපිරි ගීතය නිසා තමයි ලංකාවේ වගේ ම ලෝකයේ බොහෝ දෙනා මිලින්ද්ගේ තියෙන කඩවසම් බව හඳුනාගන්නේ. සාපේක්ෂ වශයෙන් මිලින්ද් නම් සැලකිය යුතු මට්ටමේ චිත්‍රපට කීපයකට රංගන දායකත්වය දීලා තියෙනවා. අනේ ඒත් ඉතින් සිනමා තරුව කියන තැනට වඩා ඔහුට සමීප එතනින් එළියේ තරුවක් වීම. ශරීරය මනා ව පවත්වාගෙන යෑම සඳහා තමයි මිලින්ද් වැඩි අවධානයක් දීලා තියෙන්නේ දැන් නම්. ෆිට් පොරක් කියලයි ඉන්දියාවේ ප්‍රසිද්ධ.

 

4. ලකී අලි


නම කිව්වට මීටර් වෙන්නේ නැති අය ටක් ගාලා ඉස්සර අහපු Aa Bhi Ja සින්දුව මතක් කරගන්නකෝ. ඔව් ඒක කියන්නේ මේ හාදයා තමයි. කට හඬෙන් වගේ ම රූපයෙන් පවා මිනිස්සුන් ව අල්ලගන්න අපූරු හැකියාවක් ඔහුට තිබුණා. බළල් ඇස් වගේ අබිරහස් බවකින් පිරුණු ඇස් දෙක නිසා ද මන්දා සමහර අක්කලගෙ බිත්ති වැහෙන්න ලකීගේ පෝස්ටර් අලවලා තිබුණා. දැන් නම් ජීවිතයේ අනියත බව පසක් කරගෙන වයසට ගියාට මොකෝ කාලයක් කඩවසම් ව රඟපු කොල්ලෙක් තමයි.

 

5. ශයාන් මුන්ෂි

මුන්ෂි තරුවක් වෙන්නේ Yeh Hawa Kehti Hai Kya කියන ගීතයත් එක්කයි. ඒකෙ මහා ලොකු කඩවසම් බවකටත් එහා ගියපු අහිංසක ප්‍රේමවන්තයෙක්ගේ රූපයක් තමයි දකින්න තියෙන්නේ. කොහොම හරි ක්ෂේත්‍රයේ ඒ වගේ දුර ගමනක් යන්න තිබුණ මනුස්සයා ට්‍රැක් පනින්නේ මිනීමැරුම් නඩුවක දි අසත්‍ය සාක්කි දෙන්න ගිහින් වැරදිකරු බවට පත් වෙලයි.

 

6. නිකේතන් මධොක්


නිකේතන් ජනප්‍රිය වුණ මියුසික් වීඩියෝ එක තමයි Bheegi Bheegi . හැබැයි ඒ කර්මාන්තෙටත් වඩා මේ හුරුබුහුටි සහ කඩවසම් මූණ මිනිස්සු අතරට ගියේ වෙළඳ දැන්වීම් සහ ෆැෂන් ෂෝ නිසයි. ඉන්දියාවේ ඉපදුණාට තමන්ගේ රූප ස්වාභාවයෙන් දේශ සීමා අභිබවා වැඩ අරගෙන තියෙනවා. බ්ලැක්බෙරි, රීබොක් වගේ සන්නාම එක්ක වැඩ කරලා තියෙන එකෙන් ම ඒ බව පේනවා. නිකේතන්ට චීසි බෝයි කෙනෙක්ගේ මුහුණුවර වගේ ම පාන් කපන්න තරම් තියුණු ජෝ ලයින් එකකුත් තිබුණ බව මතකයි.

7. රාකේෂ් බාපට්


ඒ දවස්වල ඔය නමින් දැන උන්නට දැන් Rakesh Vashisth කියලා නම වෙනස් කරගෙනයි ඉන්නේ. Woh Dheere Dheere ගීතයේ අතිශය හැඟීම්බර චරිත නිරූපණයක් කළ මේ තරුණයා වඩාත් සාර්ථක වෙන්නේ ඉන්දියාවේ මෙගා ටෙලි සංස්කෘතිය හින්දයි. ඊට අමතර ව චිත්‍රපට කීපයකත් වෙළඳ දැන්වීම්වලත් ඉඳලා තියෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *