කවුද මේ ශකීර් නායක් කියන්නේ?

ශකීර් නායක් යනු මුම්බායේ හැදී වැඩුන වෛද්‍යවරයෙකි. ඔහු පසුව ආන්දෝලනාත්මක මුස්ලිම් දේශකවරයෙක් විය. ඉන්දීය හින්දු මතවාදීන් විසින් ශකීර් නායක් අන්තවාදී මතවාද පතුරුවන්නෙක් ලෙස හඳුන්වනු ලැබේ. ශකීර් නායක්ගේ අන්තවාදී දෙසීම් කලින් කලට වෙනස් විය. විටෙක ඔහුගේ දේශනා සාමයේ දේශනා ලෙස පෙනී ගියත් ඔහු 2006දී අල් ක්වයිඩාවේ ඔසාමා බින් ලාඩන්ගේ අනුගාමිකයින් පවා දිරිමත් වන ලෙස දේශනා සිදුකර තිබේ. 2006 දී ඔහු කෙලින්ම සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු විය යුතුයැයි කියා තිබේ.

 

1. සිංගප්පූරුවේ පිළිගැනීම

සිංගප්පූරුවේ නීති කටයුතු සහ ස්වදේශ කටයුතු භාර ඇමති කේ ශන්මුගම් ශකීර් නායක්ගේ කටයුතු දැඩිව විවේචනය කරන්නෙකි. ඔහුගේ අදහස අනුව ශකීර් නායක් වැනි අන්තවාදී දේශනා කරන්නන් සිංගප්පූරුවට අවශ්‍ය නැත. ඇමති ශන්මුගම් වරක් සභාවකදි “මැතිවරණ වලදි ඡන්ද ප්‍රකාශ කිරීමේදී මුස්ලිම් නොවන අයට ඡන්දය දෙන්නට එපා“ යැයි ශකීර් මුස්ලිම් අයට කරන ප්‍රකාශයක් කෙලින්ම ප්‍රදර්ශනය කොට තිබුණි. එසේම ක්‍රිස්තියානි සහ දීපවාලී උත්සව වලට මුස්ලිම්වරුන්ට සහභාගි වන්නට එපා යැයි ද ශකීර්ගේ දේශනා වල ඇති බව සිංගප්පූරු ස්වදේශ කටයුතු ඇමතිගේ අදහස වුනා.

 

2. විදෙස් තහනම

2016 බංග්ලාදේශයේ ධකා නුවර ආපන ශාලාවක වෙඩිතැබීමක් සිදුවිය. එහිදී පුද්ගලයින් 22ක් මියගිය අතර එම ප්‍රහාරයේ වෙඩික්කාරයා මුස්ලිම් අන්තවාදියෙක් විය. ඒ ප්‍රහාරකයා ශකීර් නායක්ගේ දෙසුම් නිතර අසන්නෙක් බවට තහවුරු විය. ඉන් පසුව ශකීර්ගේ ගේ පීස් ටීවී බංග්ලාදේශයේ තහනම් විය. ශකීර් නායක්ට 2010 දී එක්සත් රාජධානියට පිවිසීම අවහිර කරන ලදී. අනුමත ක​ළ නොහැකි හැසිරීම හේතුවෙන් එක්සත් රාජධානියට පිවිසීම අවහිර කරන ලද්දේ එවකට එරට අභ්‍යන්තර කටයුතු ලේ​කම් තෙරේසා මේ විසිනි.තෙරේසා මේ දැන් එක්සත් රාජධානියේ අගමැතිවරියයි.  

 

3. රූපවාහිනී ශකීර්

ශකීර් ගේ දේශනා ජනප්‍රිය වත්ම අන්තර්ජාලයේද ඔහුගේ වීඩියෝ ජනප්‍රිය විය. එහෙත් ඊට වඩා පහල කොටස් වලට ශකීර් ගේ දේශනා පැතිරවීමට ඔහු 2009 දී මුලින්ම උර්දු බසින් පීස් ටීවී නැමැති රූපවාහිනී නාලිකාවක් ආරම්භ ක​ළේය. පසුකලෙක එය බෙංගාලි, හින්දි සහ ඉංග්‍රීසි බසින්ද විකාශය විය. ඉන්දියානු රහස් ඔත්තු සේවා වල වාර්තා අනුව 2012 දී පීස් ටීවි ඉන්දියාවේ තහනම් විය. එම නාලිකාව 2016 දී බංග්ලාදේශයේ තහනම් වූ අතර ලංකාවේ සැටලයිට් සහ කේබල් ටීවි චැනල් වල මෑතක් වනතුරුම ශකීර් ගේ පීස් ටීවි විකාශය විය. එහෙත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පීස් ටීවී ලංකාවේ රූපවාහිනී සේවාවන් වෙතින් ද ප්‍රතික්​ෂේප විය.

 

​4. ශකීර් නායක් ගේ ලංකා ගමන

ජමියතුශ් ශබාබ් නැමැති ලාංකික සංවිධානයක ආරාධානාවක් ලැබ ශකීර් නායක් 2010 වර්​ෂයේ ලංකාවට පැමිණ තිබේ. එහිදී සුගතදාස ක්‍රීඩාංගනයේදී දහස් ග​ණන් පිරිසක් ශකීර්ගේ දේශනාවන් සහ ප්‍රශ්නෝත්තර වැඩසටහන් බැලීමට පැමිණ තිබේ. ශකීර් නායක් එවකට 2009 දී ලොව පතල ඉන්දියානුවන් 100 දෙනාට මෙන්ම ඉන්දියාවේ ආගමික නායකයින් දස දෙනාටද ඇතු​ළත් වූ කීර්තිමත් දේශකයෙකු විය. ඔහුගේ දේශනාවල අන්තගාමී අදහස් තිබේ යැයි වාර්තා වූවද ඔහු කිසිවිටෙක කෙලින්ම අන්තවාදී අදහස් කියන අයෙක් නොවේ. එම නිසා අදටත් ජනප්‍රිය දේශකයෙක් ලෙස මුස්ලිම් සමාජය තු​ළ ශකීර් ජනප්‍රිය වී තිබේ.

 

5. මුස්ලිම්වරුන්ටම නොදිරවන ශකීර්ගේ කතා

වරක් අල්ලා දෙවියන් වහන්සේ හින්දු ආගමේ එන විෂ්ණු හෝ බ්‍රහ්ම ලෙසද දැක්විය හැකි බැව් ශකීර් නායක් කීවේය. එහෙත් අරාබි වචන වලින් පිට අල්ලා දෙවියන් වහන්සේව දැක්වීම වරදක් ලෙස ඇතැම් මුස්ලිම්වරුන් දකී. අල්ලා දෙවියන් වහන්සේගේ දහ​ම ස​ඳහන් කුරා​ණය ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස පිළිගැනේ. කුරාණයේ ස​ඳහන් පාඨවල අර්ථය කෙලින්ම කියවා අවබෝධ කරගන්නට අපහසුය. එම නිසා ඉස්ලාමීය වියතුන් විසින් කුරා​ණයේ එන වාක්‍ය වල තේරුම් අනෙක් පිරිස් වලට විස්තර කරදීම සාමාන්‍ය​යෙන් සිදු වේ. ජනප්‍රිය දේශකයෙකු වුවත් ශකීර් නායක් ගේ දේශනාවල ඇතැම් තැන් කුරාණයේ ඇති කාරණා සමග ගැටෙන බව ඉස්ලාමීය බුද්ධිමතුන්ද වරින් වර පෙන්වා දී තිබේ.

 

6. පාස්කු ප්‍රහාරකයින් හා ශකීර් නායක් අතර සම්බන්ධයක් තිබුනාද?

ලංකාවේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් ක​ළ මරාගෙන මැරෙන ප්‍රහාරකයින් 9 දෙනාම ලාංකිකයින් විය. ඔවුන් අන්තවාදීන් වීමට ශකීර්ගේ දේශනාද ඉවහල් වෙන්නට ඇතැයි විටින් විට ආරංචි පැතිරුනත් එය සනාථ කරන්නට සාධක නොවීය. ඒ අතර ශකීර් නායක් සමග අමනාප වූ ඉන්දියානුවෝ ලංකාවේ ප්‍රහාර වලට ශකීර්ගේ සම්බන්ධයක් ඇතැයි බොරු පුවත් අන්තර්ජාලයේ හුවමාරු කරගෙන තිබුණි.

 

7. මැලේසියානු නිවහන

මැලේසියාවේ හිටපු අගමැති​ගේ කාලයේ දී ඉන්දියාවෙන් චෝදනා එල්ල වනවිට ශකීර් නායක් මැලේසියාවට පැන ගත්තේය. එවකට මැලේ අගමැති නජිබ් රසාක් ශකීර්ගේ හිතවතෙක් විය. මැලේසියාවේ පුරවැසියෙක් වන ශකීර් නායක් ඉන්දියාවට අවශ්‍ය අයෙක් වුවත් වර්​තමාන මැලේසියානු අගමැති මහතීර් මොහමඩ්ද ශකීර් නායක් ඉන්දියාවට යවන පාටක් නැත. ශකීර් නායක්ට ඇති ත්‍රස්තවාදී චෝදනා කෙසේ වෙතත් මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධ ප්‍රබල චෝදනා කිහිපයකුත් ශකීර් නායක් වෙත ඉන්දියාවෙන් එල්ල වී තිබේ.

 

ආගම් ගත් ක​ළ ඒවායේ යහපැවැත්ම පිණිස ආගමික දේශනා පවත්වන  ක්‍රමවේදයක් සෑම ආගමකම පාහේ තිබේ. උදාහරණයක් ලෙස යම් මුස්ලිම්වරයෙක්ට ගැටලුවක් තිබේ නම් තම පළාතේ සිටින මුස්ලිම් වියතෙකුගෙන් එය අසා දැනගත හැකිය. අනෙක් ආගමිකයින්ට මුස්ලිම් දහම ගැන යම් ගැටළුවක් තිබේ නම් එයද සාමාන්‍ය මුස්ලිම් සමාජයේ දැනුම ඇති මවුලවිවරයෙක් හරහා දැනගත හැකිය. දේව පණිවුඩ අමුතු ආකාරයට අරුත් ගන්වන වියතුන් යනු ඉතා ඉක්මනින් ජනප්‍රිය වන චරිත වේ. එහෙත් ඔවුන් නිසා සමස්ථ ආගමට සහ ආගමිකයන්ට දිගු කාලීනව සිදුවන්නේ අවැඩකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *