මානසික ප්‍රශ්න නැත්තේ කාටද? ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ, මානසික රෝගී තත්ත්වයක් කියන්නේ අර වැරහැලි ඇඳගෙන පාරේ කෑ ගහ ගහ යන එන මිනිස්සුන්ට තියෙන තත්ත්වය විතරයි කියලා. හැබැයි ඉතින් ඇත්ත ඒක නෙවෙයි. අපිට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර කේන්ති යෑම, තනිකම තදින් දැනීම, අධික දුකෙන් ඉඳීම වගේ ගොඩක් දේවල් මානසික රෝග ගණයට වැටෙනවා. ගොඩක් වෙලාවට උපදේශනය ඔස්සේ හරි වෙනත් ප්‍රතිකාර ඔස්සේ හරි මේ කියන මානසික ගැටළු ඉතාම පහසුවෙන් විසඳගන්නත් පුළුවන්. ඉතින් ඊට කලින් මේ රෝගී තත්ත්වයන් ගැන දැනගෙන ඉන්නත් ඕනනේ. ඇත්තටම අපිට ප්‍රතිකාරයක් හෝ උපදේශනයක් මගින් විසඳගන්න පුළුවන් මානසික තත්ත්වයන් ගොඩක් දෙනෙක් උදවු ලබාගත යුතු තත්ත්වයන් කියලා හිතන්නේ නෑ. ඒ නිසාම සමහර වෙලාවට තත්ත්වය වඩාත් බරපතල අතටත් පෙරලෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි හිතුවා පුළුවන් තරම් සරලව, වර්තමානයේ වැඩි වශයෙන්ම තියෙන මානසික සංකූලතා විදියට වර්ධනය වෙන්න පුළුවන් ලක්ෂණ කීපයක් ගැන විස්තර කියන්න. මේ ලක්ෂණ වලින් එකක් හෝ කීපයක් හෝ තියෙනවා නම් මානසික වෛද්‍යවරයෙක්ව හරි උපදේශකවරයෙක්ව හරි මුණගැහෙන එක වඩාත් නුවණට හුරුයි!
1. මම නිතරම හරිම දුකෙන්
ජීවිතේ කියන්නේ දුක සැප නිති පෙරලෙන චාරිකාවක්නේ. එතනදී අපිට එක පිට එක කරදර එනකොට, අපි ආදරේ කරන අය අපිව දාලා යනකොට, ජීවිතේ අවාසනාවන්ත දේවල් වෙනකොට දුක හිතෙනවා. හැබැයි කොයි තරම් දරාගන්න අමාරු දුකක් ආවත්, ඒ දුක හැමදාමත් තියෙන්නේ නෑ. හෙමිහිට කාලයත් එක්ක නැතිවෙලා යනවා. හැබැයි ජීවිතේ හැම කටයුත්තකදීම, හැම දිනයකදීම ඔබ ඉන්නේ දුකෙන් නම්, ඒක සාමාන්‍ය දුකටත් වඩා අර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ශෝකාකූල තත්ත්වයක් නම්, එදිනෙදා කටයුතු පවා ඒ නිසා අඩාල වෙනවා නම් උපදේශන සහාය පතන එක හොඳයි. එහෙම දිගින් දිගටම පවතින ශෝකී තත්ත්වයක් කියන්නේ සරල කාරණයක් නෙවෙයි.
2. මට කිසි දෙයක් ෂුවර් නෑ, හැමදේම හරියන්නෙ නැති වෙයි
අපිට ජීවිතේ කරන කියන දේවල් ගැන සමහර වෙලාවට ෂුවර් එකක් නැතිවෙන එක, අර දොස්තර හොඳහිත එකේ චව් චව් වගේ එකෙක් හිත ඇතුළේ ඉඳගෙන ඕක හරියන්නෙ නෑ කියන එක අමුතු කතන්දරයක් නෙවෙයි. සමහරු එහෙම ෂුවර් නැති, බය ගතිය නිසා හැමදේම තමන්ගේ ප්‍රවේසම් සීමාවේ ඉඳගෙන කරන්න උත්සාහ කරනවා. තව සමහරු කිඹුල්ලු ගඟේ ඉන්නවද කියලා බලන්න බැහැලම බලන්න ඕන කියලා ෂුවර් නැති එක පැත්තක දාලා ඉස්සරහට පනිනවා. ඕක ලෝක සොබාවය. හැබැයි මේ ෂුවර් නැති ගතිය, දෙයක් කරන්න තියෙන බය නිසා ජීවිතේ කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නැතිනම්, අවුරුදු කීපයක ඉඳලම ජීවිතේ ඉස්සරහට යෑමක් නැතිනම්, රස්සාවක් වත් හරියට කරගන්න හිතෙන්නේ නැති නම් අන්න ප්‍රශ්නයක්. ඒකට උපදේශන සහාය අවශ්‍යයි.
3. මට ඔක්කොම එපා වෙලා
සාමාන්‍යයෙන් අපේ වැඩ හිර වෙනකොට, ජීවිතේ ප්‍රශ්න එනකොට අපිට ඔක්කොම එපා වෙලා කියන හැඟීම එනවා. හැබැයි අපි ඊලඟ දවසෙත් නැගිටලා වැඩට යනවා. ඒත් අපිට මේ ඔක්කොම එපා වෙලා කියන හැඟීම, ජීවිතේ කිසිදෙයක් කරගන්න බැරි තරමට දැනෙනවා නම්, පුදුමාකාර සාංකාවක් නිරන්තරයෙන්ම දැනෙනවා නම්, හැමදෙයක් ගැනම හරි කණස්සල්ලක් දැනෙනවා නම්, කොටින්ම කිසිම දෙයක් කරන්න බෑ -මට මහන්සියි වගේ එකක් දැනෙනවා නම් කරුණාකරලා වෘත්තිය උපදේශන හෝ වෛද්‍ය සහාය ලබාගන්න යොමුවෙන්න!
4. හෙට සිගරට් නතර කරන්න ඕන, අදට බොනවා!
අපිට අවංකවම කියන්න බැහැ මත්පැන් හෝ සිගරට් කියන්නේ කෙනෙක් පාවිච්චි නොකළ යුතු දේවල් කියලා. මොකද ඔය දෙකෙන් එකක්වත් නීති විරෝධී නෑ. ඒ වගේම ඉඳලා හිටලා කලාතුරකින් මත්පැන් ටිකක්, සිගරට් එකක් බොන එකෙන් සෞඛ්‍යය චකබ්ලාස් වෙනවා කියන්නත් බෑ. හැබැයි මේ දේවල වෙන පැත්තක් තියෙනවා. ඒ තමයි ඇබ්බැහිය. පොඩි පිරිසකට පුළුවන් මත්පැන් හෝ සිගරට් විතරක් නෙවෙයි, වෙන නීතියෙන් තහනම් මත්ද්‍රව්‍යයක් වුනත් එක පාරක් දෙපාරක් පාවිච්චි කරලා ඇබ්බැහි නොවී ඉන්න. හැබැයි වැඩි පිරිසකට එහෙම හැකියාවක් නෑ. ඒ අය එක පාරක් මේ දේකට යොමුවුනත් නවත්ත ගන්න බැරි විදියට දුර යන්න පුළුවන්. දැන් ඔයාට හිතෙනවා නම් මත්පැන් හෝ සිගරට් හෝ මත්ද්‍රව්‍ය පාවිච්චිය තවදුරටත් නවත්ත ගන්න බැහැ කියලා, ආන්න එහෙමනම් මානසික ප්‍රතිකාර විතරක් නෙවෙයි, ශාරීරික ප්‍රතිකාරත් අවශ්‍යයි කියන එක තේරුම් ගන්න වෙනවා. මේ වගේ තැනකදී සම්පූර්ණ පුනරුත්ථාපනයක් අවශ්‍යයි.
5. මට මල පනිනවා සාන්ත
ඔය සමහර ගෑණු ළමයි එහෙම ඉන්නවා, අහල බලන්න මොකද්ද ඔයාගේ නරකම ගතිගුණේ කියලා. ඒ අය කියන්නේ මට තරහ යන එක තමයි නරකම දේ කියලා. හැබැයි තරහ ගියාට මගෙ හිත හොඳයි කියලත් ඒ අය කියයි. ඇත්තටම අපි හැමෝටම තරහ යනවා. කොතනදීද තරහ යන්නෙ කියන එක තීරණය වෙන්නේ ඉවසීමේ මට්ටම මත. ඒ ඉවසීමේ මට්ටම පැන්න ගමන් ආයෙ ශාන්තිවාදී තාපසයට වුනත් නහුතෙට නගිනවා. ඉන් පස්සේ ඒ කේන්තිය හෙමිහිට බැහැලා යනවා. හැබැයි සමහරු ඉන්නවා ගැහැණු, පිරිමි දෙගොල්ලම – මේ අයට ආයෙ කේන්ති යන්නේ සුළිකුණාටුවක් වගේ තමයි. මෙහෙම අය නිරන්තරයෙන් බඩු පොලවේ ගහනවා, අනික් අයට පහර දෙනවා, තමන්ටමත් හානි සිද්ධ කරගන්නවා. දැන් ඔයත් ආන්න ඒ වගේ රතු කට්ට කුඩු වෙන්නම කේන්ති ගිහිල්ලා අලාභ හානි පවා නිරන්තරයෙන්ම සිද්ධ කරන කෙනෙක් නම්, ආයෙ තරහ ගියාට මගේ හිත හොඳයි කිය කියා ඉන්න එපා. කරුණාකරලා මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.
6. මට වැලක යට ඇඳුමක් පේන්න බෑ!
සාමාන්‍යයෙන් අපි මිනිස්සු විදියට තවදුරටත් ලිංගික ක්‍රියාවල නිරත වෙන්නේ වර්ගයා බෝ කරන්නම නෙවෙයිනේ. ඊට වඩා ලිංගිකත්වය කියන්නේ මිනිස්සුන්ට ආට් එකක්. හැබැයි ඒ ආට් එක කරන ක්‍රමයක් තියෙනවා. ඔය අල්ලපු වත්තේ වැලක යට ඇඳුමක ඔය ආට් කරන්න යන එක, අනික් මිනිස්සු ඔය ආට් කරන එව්වා හොරෙන් බලන එක, බස් එකකට නැග්ගොත් මෙලෝ ආට් එකක් නැතුව ගෑණු කෙනෙක්ට ලිංගික හිරිහැර කරන්න හිතෙන එක නම් සෑහෙන් ගැටළුවක්. ආන්න එහෙම අය ලිංගිකත්වයේ ආට් හොය හොයා ඉන්නෙ නැතුව වහාම යන්න ඕන මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න. මොකද ඕක මානසික ගැටළුවක් මිසක් ලිංගිකත්වයේ අහවල් ආට් එකක් නෙවෙයි!
7. මට කුකුලෙක් දැක්කත් බයයි, මාලුවෙක් දැක්කත් බයයි!
අපි හැමෝම බය එක එක සීන් තියෙනවා. ගොඩක් දෙනෙක් කැරපොත්තන්ට බයයි. ගොඩක් දෙනෙක් සර්පයන්ට බයයි. සමහරු කූඹින්ටත් බයයි. හැබැයි ඔය බය සීන් එකේ තියෙනවා දෙකක්. එකක් තමයි අසීමාන්තික බය. ඒ කියන්නේ කැරපොත්තෙක් දැක්කොත් කෑ මොර තියාගෙන පුටුවක් උඩට නගින එක එකක්. හැබැයි කැරපොත්තෙක්ව දැක්කොත් වෙව්ලලා, දාඩිය දාලා ලොකු ශාරීරික අපහසුවක් දැනෙන එක, එහෙම නැතිනම් දකින්න නැති කැරපොත්තන්ට පවා දක්වන උමතු බය කියන්නේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. ෆෝබියා ගැන අහලා ඇතිනේ. එතකොට දෙවෙනි කාරණය තමයි එදිනෙදා ජීවිතේදී අපිට මුණගැහෙන සාමාන්‍ය දේවලටත් උමතු මට්ටමකින් දක්වන බය. උදාහරණ විදියට සමහරු නාන්න බය වෙන්න පුළුවන්, සමහරු අංක ගණිතයට බය වෙන්න පුළුවන්, සමහරු දීර්ඝ වචන වලට බය වෙන්න පුළුවන්, සමහරු තව කෙනෙක් හිනාවෙනවටත් බය වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ ෆෝබියා තියෙනවා නම් අපිට එදිනෙදා වැඩක් වත් හරියට කරගන්න බැරි තත්ත්වයක් එනවා. ආන්න එහෙම නම් වහාම මානසික වෛද්‍යවරයෙක් හෝ මානසික උපදේශකවරයෙක් මුණගැහෙන එක හොඳයි!
Leave a Reply