අද ඊයෙ ඉපදුන ඔය පොඩි ඉළන්දාරින්ට නම් මේ 21 වෙනි ශතවර්ෂයේ තාක්ෂණය මහා අරුමයක් නොවුනට ඔය 80 – 90 දශකයේ ඉපදුන අපිටනම් ඉතින් ඒ කාලෙ තාක්ෂණික මෙවලම් කියන්නෙ බොහොම කලාතුරකින් දකින්න ලැබෙන දේවල්. හැබැයි තාක්ෂණය දියුණු නොවුනට ඒ කාලෙ අපි දැකපු විඳපු දේවල්වල සුන්දරත්වයනම් මෙච්චරයි කියන්න බැහැ. වෙල් ඉපනැල්ලේ, එළිමහනේ දුවල පැනල පරිසරයත් එක්ක ගෙවුණු අපේ ළමා කාලය සම්පූර්ණයෙන්ම වගේ කණපිට හරවපු තැනක් තමයි මේ ටෙලිවිෂන් එකේ ආගමනය. ශ්‍රී ලංකාවට හා හා පුරා කියල රූපවාහිනිය හඳුන්වා දෙන්නෙ 1979 දී උනාට 90 දශකයේ මැද වෙනකන්ම බොහෝම සීමිත නාලිකා ප්‍රමාණයකුත් සීමිත කාලයක පෙන්වපු වැඩසටහන් කිහිපයකුත් තමයි ටීවී එකේ දකින්න තිබුණෙ. අද වගේ උදේ ඉඳන් මහ රෑ මැද වෙනකං බලන්න වැඩසටහන් තිබුනේ නැහැ. හැබැයි තිබුණ බොහොම සීමිත වැඩසටහන් ගණන උනත් ඒ කාලෙ ළමා කාලය ගතකරපු අපිට අද වෙනකන් අමතක නොවෙන හරිම සුන්දර මතක. ඉතින් මතක් කරගමුද ඒ සුන්දර මතක කිහිපයක්.
1. කළු සුදු රුපවාහිනී
මේ කාරණාවනම් අද කාලෙ පුංචි ඈයොන්ට කොහොම කිව්වත් තේරෙන එකක් නැහැ. අර අඟල් 14 ක්වත් නැති කළු සුදු පෙට්ටියක ටීවී බැලුව කිව්වම ඉතින්. කලිනුත් කිව්වා වගේ 1979 වගේ කාලේදී ලංකාවට රුපවාහිනිය හඳුන්වල දුන්නට ඒ මුල්ම කාලෙදි ටීවී එකක් තිබ්බනම් ඉතින් ඒ එහෙමත් ගෙදරක තමයි. එක්කෝ කඩපිලක. ඉතින් ගමෙන් බාගයක්ම ටෙලිවිසොන් එක බලන්න එක තැනකට එක්කාසු වෙන්න පුරුදු වෙලා හිටිය ඔය මුල්ම කාලෙ. අපි මේ කතා කරන 80 අග හෝ 90 ගණන් වල මුල වෙනකොටත් වර්ණ රුපවාහිනියක් හොයාගන්න තිබ්බෙ බොහොම අහම්බෙන්. හුඟක්ම ගෙවල් වල ඉතින් බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී තමයි. ටීවී එකේ පෙන්නන ජාතිය මොන පාටකින් ගියත් අපිට පේන්නේ කළු සුදු විතරයි.
2. විකාශය ආරම්භය
අද කාලෙ වගේ එකක් ඉවරවෙන්න එකක් ටෙලිනාට්‍ය, රියැලිටි ෂෝ, වෙළඳ දැන්වීම් වගේ අටෝරසියක් වැඩසටහන් ඒ කාලෙ තිබ්බෙ නෑ. කොටින්ම දවසින් බාගයක් තරම් වෙලාවක්වත් වැඩසටහන් විකාශය උනෙත් නැහැ. විකාශය පටන් ගන්නෙ හවස 4ට හෝ ඒ ආසන්න වෙලාවක. උදේ වරුවම අර කීන් සද්දෙත් එක්ක නිකං පාට පාට තිරයක් විතරයි. 1990 ගණන් වලත් මැද හරියේදී තමයි ඔය රූපවාහිනී වල උදෑසන විකාශය පටන් ගත්තේ. ඉතින් ටීවී එක ඉස්සරහ කටත් ඇරගෙන බලන් ඉන්නව හවස වැඩසටහන් පටන් ගන්නකන්. ඒ කාලෙ මේ අත්දැකීම තියෙන අයටනම් මතක ඇති රූපවාහිනියේ තේමා ගීතයත් එක්ක අර සැළලිහිනි නැටුමක් යන වෙලාව, TNL එකේ ඉඳුනිල් ගඟුලැල් සින්දුවත් එක්ක හිතට දැනුන හැඟීම කොහොමද කියල.
3. ටෙලිනාට්‍ය
ටෙලිනාට්‍ය කිව්වම ඉතින් අද වගේ දිනපතා ටෙලි නාට්‍යනම් ඒ කාලෙ පෙන්නුවෙ නැහැ. හැබැයි පෙන්නපු පොඩ්ඩ උනත් අද කාලෙ පඳුරකට පයින් ගැහුවම දහයක් පහළොවක් විසික් වෙන ඉන්දියන් මෙගා නාට්‍ය සහ ඒවගෙ ශ්‍රී ලන්කන් කොපීස් වගේනම් නැහැ. තාක්ෂණික පහසුකම් බොහෝම සීමිත උනත් ඒ තිබුන පහසුකම් වලින් හිතාගන්න බැරිතරම් ප්‍රයෝජන අරගෙන ඉහළම තත්ත්වයෙන් නිර්මාණයක් ප්‍රේක්ෂකයට ලබාදෙන්න කොච්චර මහන්සිවෙලාද කියල අදටත් ඒ නිර්මාණ බැලුවම හිතෙනවා. දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, බැද්දේගෙදර, පලිඟු මැණිකේ, ඉන්ගම්මාරුව වගේ ටෙලි නාට්‍ය තාමත් අපේ මතකයේ තියෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති. කුතුහලය උපරිමේටම ඇතිවෙන තැනකින් නවත්තල, ඉතුරු කොටස බලන්න ආයෙත් සතියක් බලන් ඉන්න උනාම දැනෙන හැඟීම ඉතින් දන්නේ ඒ කාලෙ මේව බලපු ඈයොම තමයි.
4. අමතක නොවෙන කාටූන්, සුරඟන කතා කරලිය
දොස්තර හොඳ හිත, හා හා හරි හාවා එහෙම මතකද? අනේ දැන් කාලෙ පුංචි එවුන්ට බලන්න තියෙන කාටුන් මොනවද කියල හිතෙනවා. පොඩි ළමයින්ගේ හිතට කිසිම නරකක් ඇතුල් නොවෙන සත්ව කරුණාව කියල දෙන, ටයි මාම හරි ලස්සනට හඬ කවපු කාටුන් බලන්න දැන් කාලෙ පොඩ්ඩෝ නම් පින් කරලා මදි කියල තමයි හිතෙන්නෙ.
අනිත් එක තමයි ටයි මාමගේ සුරඟන කතා කරලිය. පිටරට සුරංගනා කතන්දර හරිම ලස්සනට හඬකවල අපේ රටේ ළමයින්ට බලන්න හදල දුන්නේ ටයි මාමා කියල අපි හැමෝම දැනගෙන හිටපු ටයිටස් තොටවත්ත මහත්මයා. අපේ ළමා කාලය ලස්සන කරන්න ලොකූ වෙහෙසක් දරපු තවත් කෙනෙක් තමයි මේ ටයි මාමා.
5. කලා හරඹ
මේකනම් එක්තරා භීෂණයක් කිව්වත් වැරදි නැහැ. බ්‍රිතාන්‍යයේ CITV කියන ළමා නාලිකාවේ විකාශය උණ වැඩසටහනක් තමයි මේ විදිහට අපේ රූපවහිනියෙන් විකාශය කළේ. ලොකු පොඩි කාට උනත් බලන් ඉන්න ආස හිතෙන අමුතු අමුතු පුදුමාකාර වැඩ මේ කලා හරඹ වලින් පෙන්නුවේ. යූ ටියුබ් ඉන්ටනෙට් නැති කාලෙ පොඩ්ඩොන්ට කලා, අත්කම් නිර්මාණ ඉගෙන ගන්න කියාපු වැඩසටහන.
6. සුදු පුංචා
කාටුන් කියන්නෙ ඉතින් පිටරට නිර්මාණ නේ. අපේ විදිහට සිංහලෙන් හඬ කවල ගත්තට ඒවා අපේනම් නෙමෙයි. හැබැයි මේ සුදු පුංචානම් අපේම අපේ නිර්මාණයක්. පුළුන් පුරවපු රූකඩ සත්තු යොදාගෙන පසුබිමින් හඬකවල කරපු මේ නිර්මාණය දැන් හිතල බැලුවම හරිම බේසික් වැඩක් කියල හිතුනට ඒ කාලෙනම් මඟ බලාගෙන හිටපු වැඩසටහනක්. ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්න පරණ ජනකතා එක්ක ගලපල තමයි මේ සුදු පුංචගෙ කතන්දර බොහොමයක් හදල තිබ්බේ.
7. ඔෂින්
ඔන්න මේ කතාව තමයි අපි මුලින්ම සිංහලෙන් හඬකවල බලපු පිටරට ටෙලි නාට්‍යය. හැබැයි දැන් තියෙන මෙගා කසිකබල් වගේනම් නැහැ. කතාව ලස්සනයි වගේම තමයි ඒ කතාවෙන් සමාජයට දුන්නු ආදර්ශය, හඬකැවීම් පිටපතේ තත්ත්වය, හඬකැවීම් ශිල්පීන්ගේ දක්ෂතාවය කියන හැම දෙයක්ම ඉහළම මට්ටමක තිබුන ලස්සනම ටෙලි නාට්‍යයක්. අදටත් පුංචි ඔෂින්ව මතක් උන වෙලාවට ඇහැට පුංචි කඳුලක් එනවා.
ඉතින් අද කලේ මාධ්‍ය ගැන අපි මහා ලොකු ලොකු කතන්දර කිව්වට, ලෝකේ තියෙන ඉහළම තාක්ෂණය යොදාගෙන නිර්මාණ කළාට, අර රුපවාහිනී නැත්තම් ටෙලිවිෂන් එක අපි අතරේ ප්‍රචලිත උන ඒ මුල්ම කාලෙ අපි බලපු මේ ලස්සන වැඩසටහන් වගේ නම් දැන් තියෙන කිසිම වැඩසටහනක් වැඩක් නැහැ කියල හිතෙනවා වෙලාවකට. වෙළඳ දැන්වීම් ප්‍රචාරණයට, අසීමිත ලාභයට මුල්තැන නොදී ප්‍රේක්ෂකයා පිනවන්න වෙහෙස උන සුන්දර කාලයක් අපේ ටෙලිවිෂන් එකටත් තිබුන කියල මතකයක්ම විතරක් අද වෙද්දී අපිට ඉතුරු වෙලා තියෙනවා.
Leave a Reply