එකිනෙකාව පෙන්නන්න බැරි තරමට තරහ මරහ තියන බොලිවුඩ් තරු

බොලිවුඩ් සිනමා පට හරහා සුන්දර ලෝක මවන, සංවේදී හදවත් වලට අමතන සුන්දර චරිත පිටිපස්සේ ඉන්නෙත් ඔබ අපි වගේම සාමාන්‍ය සිතුම් පැතුම් තියෙන මිනිස්සුම තමයි. කලාවක් නියෝජනය කළාට ඒ අය අතරෙත් ඉරිසියා කුහකකම්, කැපිලි කෙටිලි, වෛරී අදහස් හටගන්නවා. ඒක සාමාන්‍යයි. අපි මේ කියන්නේ ඒ විදිහට එකිනෙකාව පෙන්නන්න බැරි තරමට අමනාපයන්, වෛරයන් සහිතව ඉන්න බොලිවුඩ් තරු කීපයක් ගැනයි…

 

1. ෂාරුක් සහ ආමිර් ඛාන්

Image Source – youtube.com

එකම කාලෙක වගේ බොලිවුඩයට පිවිසිලා, එකම කාල වකවානුවක් තුළදී බොලිවුඩ් සිනමාවේ හිනිපෙත්තේ රැඳිලා හිටපු මේ තරු යුගලය එදා පටන්ම එතරම් ඇයි හොඳයියක් නැහැ කියලයි දැනගන්න ලැබෙන්නේ. ඒකට හේතුව හැටියට ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ 1996 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී රංගීලා චිත්‍රපටයට හොඳම නලුවා හැටියට සම්මානයට නිර්දේශ වෙලා හිටපු ආමීර් ඛාන්ව පරද්දලා දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ චිත්‍රපටයේ රඟපෑ ෂාරුක්ට හොඳම නළුවා සම්මානය හිමි වීමයි. එදා පටන් ෂාරුක් කෙරෙහි ආමීර්ගේ හිත තවත් නොහොඳ වුණ බවත්, ආමීර් ඛාන් සම්මාන උළෙලවල් වර්ජනය කරන්නට හේතුව එය වුණ බවත් තමයි බොලිවුඩ් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන්නේ. මේ තරහ මරහ කොච්චර නරක අඩියකට ගියාද කියනවනම් ආමීර් ඛාන් වරක් ෂාරුක් ගැන මෙන්න මේ විදිහට සමාජ මාධ්‍යය​ක පළ කරනවා.

“ෂාරුක් මගේ කකුල් ලෙව කන ගමන් ඉන්නෙ… මම එයාට බිස්කට් කන්න දෙන ගමන්”

ඇත්තටම කිවුවොත් ආමීර් ඒ විදිහට තමන්ගෙ කකුල් ලෙව කනවාය කියලා කියන්නෙ ෂාරුක් නැමැති හුරතල් බල්ලෙකු ගැ​නයි. ඒත් ඉතින් මේක හිතලා මතලා ෂාරුක්ට රිද්දන්න කරපු වැඩක්ය කියලා තමයි ඒ දවස්වල බොලිවුඩයේ පැතිරුණේ.

 

2. අයිෂ්වර්යා රායි සහ රාණි මුඛර්ජි

Image Source – youtube.com

ෂාරුක් සහ ආමීර් වගේම එක වකවානුවකදී බොලිවුඩයේ රැජිණියො දෙන්නෙක් වෙලා හිනිපෙත්තේ හිටපු නිළියන් දෙන්නෙක් තමයි මේ. මේ දෙන්නා හොඳ සමීප මිතුරියනුත් වෙලා හිටියා. එකිනෙකාගේ රංගනයනුත් ප්‍රිය කළා. කොහොම වුණත් මේ දෙන්නගෙ බිඳීම ඇති වෙන්න මුලින්ම පටන් ගන්නේ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතය රඟපාපු චල්තේ චල්තේ චිත්‍රපටයෙන් අයිෂ්වර්යාව ඉවත් කරලා රාණි මුඛර්ජීව ප්‍රධාන නිළියට ගැනීමත් එක්කයි.

අයිෂ්වර්යාව ඒ චිත්‍රපටයෙන් ඉවත් කරන්න හේතු වෙන්නෙ ඒ වෙද්දි අයිෂ්වර්යා එක්ක තිබුණු පෙම් සබඳතාවය අසාර්ථක වෙමින් පැවතීම නිසා සල්මාන් කරපු කළබලයක්. කොහොම වෙතත් ඒ විදිහට තමන්ගේ හොඳම මිතුරිය තමන්ට අයිති චරිතයක් පැහැරගත්තා කියන තරහ කොච්චර දුර දිග ගියාද කියනවනම් අයිෂ්වර්යා- අභිෂේක් විවාහයට රාණි මුඛර්ජීට ඇරයුම් ලැබෙන්නෙත් නැහැ. ඒක බොලිවුඩය විශ්මයට පත් කරපු සිදුවීමක් වෙන්නේ අයිෂ්ගෙ විතරක් නෙමෙයි, රාණි කියන්නෙ අභිෂේක්ගෙත් හොඳම හිතවතියක් වීම. හැබැයි සමහරු කියනවා රාණි මුඛර්ජි සහ අභිෂේක් අතර පැවතුණ පෙම් පළහිලවුවක් නිසාත් මේ දුරස් වීම, බිඳ වැටීම සිද්ධ වුණාය කියලා. කොහොම වෙතත් අයිෂ්වර්යාගේ පියාගේ අවමගුල් උත්සවයට රාණි සහභාගි වෙනවා. ඒත් එක්කම ආයෙමත් මේ මිතුරියන් දෙන්නාගෙ හිතවත්කම් අලුත් වෙන්න පටන් අරන්ය කියලත් කතාවක් තියනවා.

 

3. දීපිකා පදුකෝන් සහ අනුෂ්කා ෂර්මා

Image Source – ibtimes.co.in

බොලිවුඩ් තිරය හැඩ කළ සුරූපිණියන් දෙදෙනෙක් වුණ අනුෂ්කා සහ දීපිකා අතරෙ නොහොඳ නෝක්කාඩු ඇතිවෙන්න හේතු වෙන්නේ එක්තරා කඩවසම් නළුවෙක්. ඒ තමයි රන්වීර් සිංග්. රන්වීර් සිංග් අනුෂ්කා ෂර්මා එක්ක කාලයක් පෙම් සබඳතාවයක් පවත්වනවා. ඊට පස්සේ ඒක නොසිතූ විදිහට බිඳිල යනවා. එහෙම බිඳිල යන්න හේතු වෙන්නේ තවත් සුන්දර නිළියක් කෙරෙහි රන්වීර්ගේ හිත ඇදිල යන නිසා. ඒ නිළිය වෙන කවුරුවත් නෙමෙයි, ඒ තමයි දීපිකා. මේ බිඳීයාමත් එක්ක අනුෂ්කා බොහොම දුකටත්, කෝපයටත් පත්වෙනවා. ඇය මාධ්‍ය හරහා දීපිකාට ප්‍රසිද්ධියේ දොස් පවරනවා තමන්ගේ ආදර සම්බන්ධය බින්ද එකට. මේ වෙද්දි අනුෂ්කා ෂර්මා කියන්නෙ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ බිරිඳ බව ඔබ කවුරුත් දන්නවනේ. දීපිකාත් රන්වීර් එක්ක පටන් ගත්ත ආදර සම්බන්ධය සාර්ථක කරගෙන මේ වෙද්දි ඔහුගේ බිරිඳ බවට පත්වෙලායි ඉන්නෙ.

 

4. ශතෘගන් සිංහා සහ අමිතාබ් බච්චන්

Image Source – dnaindia.com

මේ කියන්න යන්නේ බොලිවුඩ් පුරවරයේ හිටපු දැවැන්තයින් දෙන්නෙක් ගැන. අමිතාබ් නම් අදටත් බොලිවුඩ් සිනමා පට හරහා අපිට දැකගන්න ලැබෙනවා. වර්තමානයේ ජනප්‍රිය නිළියක් වන සෝනක්ෂි සිංහාගේ පියා වන ශතෘගන් සිංහා නම් මේ වෙද්දි දේශපාලන චරිතයක් හැටියට තමයි ක්‍රියාකාරී වෙලා ඉන්නෙ.

නවසිය හැත්තෑ අසූ ගණන් වලදී අමිතාබ් සහ ශතෘගන් කියන්නේ බොලිවුඩයේ එක සමාන ජනප්‍රියත්වයක් හිමිකරගනිමින් වැජඹුනු දෙන්නෙක්. නමුත් මේ දෙන්නා අතර අදටත් ඒ තරම්ම ඇයි හොඳයියක් නෑ. මේකට හේතුව හැටියට ශතෘගන් සඳහන් කරන්නේ තමන්ගේ ජනප්‍රියතාවය සහ තමන්ගේ රංගනයන්ට හිමිවන ප්‍රශංසාව අමිතාබ්ව නොසතුටට පත්කළා කියන එකයි. මේ නිසාම ඔහු එක්ක චිත්‍රපටවල රඟපාන එකත් අමිතාබ් ප්‍රතික්ෂේප කළාලු. රූගත කිරීම් අතරතුර වුණත් ශතෘගන් එක්ක එකට ඉඳගන්න පවා අමිතාබ් ප්‍රතික්ෂේප කළාලු. ඒ විතරක් නෙමෙයි, දෙන්නා එකට රඟපාපු සමහර චිත්‍රපටවලදී බලපෑම් කරල ශතෘගන්ව පහත් කොට පෙන්වන විදිහට දර්ශන රූගත කරවන්නට අමිතාබ් බලපෑම් කළාලු. ඒකට එක උදාහරණයක් හැටියට ශතෘගන් කියන්නේ මේ දෙන්නා එකට රඟපාපු ‘කාලා පත්තර්’ කියන චිත්‍රපටයේ සටන් ජවනිකාවක් ගැනයි. මේ සටන් ජවනිකාව ලියැවිලා තිබ්බේ දෙන්නාම සම සේ ගුටි බැට කන විදිහටලු. නමුත් පස්සේ අමිතාබ්ගේ බලපෑමෙන් මේ සටනින් ශතෘගන් පරාජයට පත්වන විදිහටලු රූගත කිරීම් සිද්ධ වුණේ. අන්තිමේදි මේ සටන් ජවනිකාව කොච්චර දුර දිග ගියාද කියනවනම් සහෝදර නළු ශෂී කපූර්ට සිද්ධ වුනාලු මේ දෙන්නා මැදට පැනලා සටන නවත්වන්න.

 

5. අයිෂ්වර්යා රායි සහ සෝනම් කපූර්

Image Source – aishwaryaweb.com

බොලිවුඩ් දැවැන්තයෙක් වන අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් සහ අයිෂ්වර්යා රායි කියන්නෙත් කාලයක් හොඳටම ඇවිලිච්ච නිළියන් දෙදෙනෙක්. පරම්පරා දෙකකට අයිති නිළියන් වෙච්ච මේ දෙන්නාගෙ ගැටුම ඇවිලෙන්නෙ ඒ දෙන්නාම සන්නාම ප්‍රවර්ධකයො හැටියට කටයුතු කරපු L’Oreal කියන නිෂ්පාදනය නිසායි. කාලයක් තිස්සේ L’Oreal සඳහා ජාත්‍යන්තර මුහුණ වුණේ අයිෂ්වර්යා රායි තමයි, නමුත් පස්සේ මේ සඳහා සෝනම්වත් තෝරාගන්නවා. ඒකට අයිෂ්වර්යා ඒ හැටි කැමැත්තක් පෙන්වන්නේ නැහැ. ඒ හින්දාම සෝනම් එක්ක කෑන්ස් චිත්‍රපට උ​ළෙලේදි රතු පළස මතින් ඇවිද යන්නත් අයිෂ්වර්යා ප්‍රතික්ෂේප කරනවා. සෝනම් කියන්නෙත් කට කැඩුණු කතා කියන්න ප්‍රසිද්ධ නිළියක්. ඇයත් මේක අත් හරින්නේ නැහැ. ඇය කරන්නේ ‘අයිෂ්වර්යා කියන්නෙ පරණ පරම්පරාවෙ ඇන්ටි කෙනෙක්නෙ’ කියලා අයිෂ්වර්යාට පහර එල්ල කරන එ​ක. ඒකෙන් ගැටුම් තවත් දුර දිග යනවා. මේ වෙද්දි නම් දෙන්නා පරණ තරහ මරහ අමතක කරලා වගක් දැනගන්න ලැබෙනවා කොහොම වුණත්.

 

6. කරීනා කපූර් සහ බිපාෂා බාසු

Image Source – youtube.com

සායිෆ් අලී ඛාන් සමග විවාහ වෙන කාලෙ වෙද්දි කරීනා බොලිවුඩයේ අංක එකේ නිළි රැජිණ හැටියට වැජඹුණ තැනැත්තියක්. ඒ වගේම අපි මේ කියන අනිත් චරිතය වෙන බිපාෂා බාසු කියන්නේ බොලිවුඩයේ එදත් අදත් සරාගී ගිනි සිළුවක් හැටියට සැළකෙන නිළියක්. මේ දෙන්නා වැඩිය චිත්‍රපටවල එකට දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දෙන්න අතර ඇතිවුණ පරණ ආරෝවක්. මේක ඇතිවෙන්නේ මේ දෙන්නා 2001 වසරෙදි එකට රඟපාපු ‘අජ්නබී’ චිත්‍රපටයෙදියි. මේ චිත්‍රපටයේ ඇඳුම් විලාසිතා සම්බන්ධයෙන් දෙන්නත් එක්ක ඇතිවෙන සීතල යුද්ධයක් අවසන් වෙන්නේ අත පය විසිකිරීමේ සටනක් දක්වා දුරදිග ගිහිනුයි. එතැනදී කරීනා කපූර් බිපාෂාට කළු බැළලි කියලා අපහාස කරලා ඇයට කම්මුල් පහරක් එල්ල කළා කියලත් බොලිවුඩ් ආරංචි මාර්ග පැතිරුණා. ඒවායේ සත්‍ය අසත්‍යතාවය කොහොම වුණත් ඊට පස්සේ දෙන්නාට දෙන්නව පෙන්නන්න බැරි බව ඒ අයගේ මාධ්‍ය සාකච්ඡාවලින් වුණත් පේන්න තිබ්බා.

 

7. සල්මාන් සහ ෂාරුක් ඛාන්

Image Source – dnaindia.com

ලිපිය පටන් ගත්තේ ඛාන් ලා දෙන්නෙක්ගේ ආරවුලකින්. අවසන් කරන්නෙත් ඛාන් වලියකින්. ඒ තමයි සල්මාන් ඛාන් සහ ෂාරුක් ඛාන් අතර ඇතිවුණ ආරවුල. එක වරක් අයිෂ්වර්යා එක්ක සම්බන්ධය බිඳ වැටීම නිසා උරණ වෙන සල්මාන්, ෂාරුක් සහ අයිෂ්වර්යා එක්ව රඟපාමින් හිටපු චල්තේ චල්තේ දර්ශන තළයට අවිත් කළබල සිදු කරනවා. ඒකෙන් ෂාරුකුත් හිත් තැවුලට පත් වෙනවා. අන්තිමේදි අයිෂ්වර්යාට චල්තේ චල්තේ චරිතයත් අහිමි වෙනව. ඊට පස්සේ දෙන්නට දෙන්නා තමන්ගෙ රූපවාහිනී වැඩසටහන් වලදි එකිනෙකාට පහර එල්ල කරන්න පටන් ගන්නවා. ඒ වැඩේදි මුල් තැන ගන්නෙ සල්මාන් ඛාන් තමයි. මේ දෙන්නාගෙ ඝට්ටනය පුපුරා යන්නේ පස්සෙ කාලෙක සල්මාන්ගෙ පෙම්වතිය වෙලා හිටපු කත්‍රිනාගෙ උපන්දින සාදයකදී. ඒකෙදි බීමතින් හිටපු සල්මාන් ෂාරුක් සහ ඔහුගේ බිරිඳ වන ගෞරී සමග අනවශ්‍ය කතාවකට පැටලීම නිසා ෂාරුක් සල්මාන්ට අයිෂ්වර්යා එක්ක ඔහුගේ තිබ්බ සම්බන්ධතාවය මතක් කරමින් අපහාසයක් කරන්න පෙළඹෙනවා. එතැනදී සල්මාන් ෂාරුක්ට පහර දීමට උත්සාහ කිරීම නිසා සාදය යුද්ධයකට හැරෙනවා. එදා පටන් මේ දෙන්නා විවිධ කලා කටයුතු වලදී එකට මුණ ගැසුණත් වැඩිය හොඳක් නැති බව තමයි කියවෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *