විනෝදෙට, නිකං ඉන්න ගමන් කරන්න අත්වැඩ විනෝදාංශ කීපයක්!

ආයෙ ඉතින් විනෝදාංශ කිව්වහම අපේ සමහර අයියලට අක්කිලට නං එක්කෝ නිදියනවට වඩා වැඩක් නෑ. එහෙම නැතිනං ටීවී එක ඉස්සරහා ඉන්නවට වඩා වැඩක් නෑ. ෆේස්බුක් කියන්නෙත් විනෝදාංශයක් දෝ කියල එක්තරා කාලෙක හිතුණත්, දැන් එහෙම කියන්නත් බෑ. මොකද උදේට ටොයිලට් යනව කියන්නෙ විනෝදාංශයක් නෙවෙයිනේ. අන්න ඒ වගේ තමයි ෆේස්බුක් එකත්. හරි, කොහොමහරි අපි මීට කලිනුත් කියලා තියෙනවා විනෝදෙට සහ ජීවිතේට වැඩකුත් තියෙන්න 2019 අවුරුද්දේ පටන් ගන්න පුළුවන් විනෝදාංශ ගැන. එතකොට විනෝදාංශයක් විදියට ලොකු පොඩි ඕන කෙනෙක්ට එකතු කරන්න පුළුවන් එව්වා ගැනත් අපි තවත් වතාවක් කිව්වා. දැන් කියන්න යන්නෙත් විනෝදාංශ කීපයක් ගැන. හැබැයි මේවා එකතු කරන්න තියෙන එව්වා නෙවෙයි. මේවා අත්වැඩ. ඔව්, ඉස්සර පොඩි ඉස්කෝලෙ කාලෙත් අත්වැඩ කළා තමයි, හැබැයි දැන් ලොකු මිනිස්සු වෙලා ඉන්න කාලේ විනෝදාංශයක් විදියට කරන අත්වැඩ වල වෙනසක් තියෙනවා. ඒවා වඩාත් ඇඩ්වාන්ස්. ආන්න ඒ වගේ එව්වා ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. ඉටිපන්දම්

ඒක කියපු ගමන් නිකං ස්වයං රැකියාවක් වගේද දැනෙන්නේ? හැබැයි ඇත්තටම අපි කියන්නේ මේ හැමදාම දකින සුදු ඉටිපන්දම් නෙවෙයි. හැබැයි අපිට බැරිද එක එක විදියේ, එක එක පාට, එක එක සුවඳ තියෙන ඉටිපන්දම් හදන්න? ඇත්තම කිවුවොත් ඉටිපන්දම් හදන එකේ අපිට යන්න පුළුවන් දුර සීමා රහිතයි. නිකමට හිතන්න, අපිට කොයි විදියේ අමුතු විකාර හැඩවල ඉටිපන්දම් හදන්න පුළුවන්ද? එතකොට පත්තු කළහම එක එක ජාතියේ සුවඳ විහිදෙන ඉටිපන්දම් හදන්න පුළුවන්. අපි ජොලියට, විනෝදාංශයක් විදියට කළාට, සමහර වෙලාවට මේවා ලොකු ගණන් වලට විකුණන්නත් පුලුවන්!

 

2. පබළු වැඩ

නිකං පොඩි ළමයින්ගේ වැඩක් විදියටද හිතෙන්නේ? හැබැයි පබළු වැඩ කියන්නේ නිකම්ම කිරි පබළු ටිකක් නූලක අමුණන එක නෙවෙයි. මේක ඊට වඩා ඉතාමත්ම සංකීර්ණ අත්වැඩක්. මේකට ඉතාම තියුණු ඇස් පෙනීමක් වගේම ඉතාම හොඳ අවධානයක්, නොසැලෙන දෑත් තියෙන්න ඕන. ඒ වගේම අපේ නිර්මාණශීලී බවත් එක්ක මේ පබළු වැඩ වල යන්න පුළුවන් දුරත් අසීමිතයි. හිතන්න විවිධ පාට විවිධ හැඩ පබළු අමුණලා හදන පබළු දාම එක එක විදියට නවලා කරලා, අඹරලා හදන්න පුළුවන් දේවල්? මේකට පබළු විතරක් නෙවෙයි, ඔය ලොකු ඇට අමුණලා හදන එව්වත් ඇතුළත්.

 

3. කාඩ්

මේ ඇත්තටම කියන්නේ ග්‍රීටින් කාඩ්ස් ගැන. අර සුබපැතුම් ​පත් කියන්නේ. මෙව්වා නං ඉතින් ඔය ඉස්කෝලේ කාලෙ එහෙමත් හදලා ඇති. හැබැයි ඇත්තටම අපිට ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ සුබපැතුම් පත් හදන්න පුළුවන් විනෝදාංශයක් හැටියට. ඒකට ලොකු දේවල් වුවමනා වෙන්නෙත් නෑ. ඔය ප්‍රෙස් එකකින් ගන්න පුළුවන් හොඳ බෝඩ් වර්ග කැපිලා අයින් වෙන එව්වා. ඊට අමතරව විවිධ පාට කඩදාසි, රෙදි, නූල්, බොත්තං අනං මනං එක්ක තමන්ගේ නිර්මාණශීලීත්වයත් එකතු කරලා අනර්ඝ සුබපැතුම් පත් නිර්මාණය කරන්න පුළුවන්. මේවා ඉතින් තමන්ගේ හිතමිතුරන්ට ඕන් නම් යවන්න පුළුවන්. තමන්ගේම සුබපැතුම් පත් සන්නාමයක් හදාගන්නත් ඕන නං පුළුවන්.

 

4. ලී වැඩ

ලී වැඩ කියපු ගමන් අපේ ඔලුවට එන්නේ වඩු වැඩ. ඒ කියන්නේ ඇඳන්, පුටු, මේස හදන එක. හැබැයි ලී වැඩ කියන්නේ ඒවා විතරක් නෙවෙයි. විශේෂයෙන්ම අත්කම් වැඩක් විදියටම ලී වැඩ හඳුන්වන්න බැරි වුනත්, ලී වැඩ වලට අත්‍යාවශ්‍ය ආවුද සහ උපකරණ කීපයක් මිලදී ගත්තට පස්සේ, ගෙදර ලී වැඩ කරන්න පොඩි මේසෙකුත් හදාගත්තට පස්සේ තියෙන්නේ ලී මෝලකට ගිහිල්ලා, ඔය අහක දාන පොඩි පොඩි ලී කෑලි අහුලගෙන එන්න. දැන් හිතලා බලන්න මොන විදියේ පුංචි පුංචි විසිතුරු දේවල් අපිට හදන්න පුළුවන්​ද කියලා. පුංචි මල් වාස්, පුංචි පෙට්ටි වල ඉඳලා පුංචි පුංචි ප්‍රතිමා වගේ සංකීර්ණ නිර්මාණ දක්වා දේවල් හදන්න පුළුවන්. ඉවසීම, ප්‍රගුණ කිරීම සහ නිර්මාණශීලීත්වය විතරයි ඕන වෙන්නේ!

 

5. ක්ෂුද්‍ර ප්‍රමාණයේ අනුරූ

මේක නම් ඒ තරම් දන්න කතන්දරයක් නෙවෙයි නේද? ඔය ටීවී එකේ එහෙම දැකලා තියෙනවද ඩෝල් හවුසස් පෙන්නනවා? ඒ කියන්නේ සම්පූර්ණ තට්ටු දෙකක හෝ තුනක ගෙයක ඉතාම පුංචි ප්‍රමාණයේ අනුරුවක්. එතකොට ඇත්ත ප්ලේන් වගේම පේන පුංචි අනුරූ ප්ලේන්? ආන්න ඒවා තමයි මේ කියන්නේ. මෙව්වලට කියන්නේ miniature models කියලා. හැබැයි ඔව්වා කඩෙන් ගන්නවට වඩා, අපිටම හදන්න බැරිද? ලේසි වැඩක් නොවුනට පුළුවන්. දැන් ගොඩනැගිලි වල එහෙම ක්ෂුද්‍ර අනුරූ හදනවා නම් වුනත්, ඩෝල් හවුස් එකක් හෝ වෙනත් දෙයක ක්ෂුද්‍ර අනුරුවක් හදනවා වුනත් අපිට එව්වා කලින් සැලසුම් කරන්න වෙනවා. ඉන් පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරගන්න වෙනවා. ඊට පස්සේ තමයි හදන්න පටන් ගන්න ඕන. අවශ්‍ය නම් අපිට ඔය ෆිල්ම් වල තියෙන ආයුධ, අභ්‍යවකාශ යානා වගේ එව්වල ක්ෂුද්‍ර අනුරූ වුනත් හදන්න පුළුවන්!

 

6. ඔරිගාමි

මෙන්න හැමෝම දන්න, ඒත් ගොඩක් අය ප්‍රැක්ටිස් කරලා නැති, අපූරු විනෝදාංශයක් බවට පත් කරගන්න පුළුවන් ජපන් කලාවක්. මේක විනෝදාංශයක් විදියට ප්‍රගුණ කරන්න ඇත්තටම අපිට වියදමක් යන්නෙ නැති තරම්. ගන්න අහක දාන කඩදාසි මිටියක්. ඊටපස්සේ එක්කෝ ඔරිගාමි පොතක් ගන්න, එහෙම නැතිනම් ඔරිගාමි වීඩියෝ ටිකක් යූටියුබ් එකෙන් හොයාගන්න. ඒ වලින් මූලික ඔරිගාමි නැවුම් ක්‍රම ඉගෙන ගන්න. දැන් තියෙන්නේ සරල ඔරිගාමි නිර්මාණ වලින් පටන් ගන්න. ඇත්තටම අපි ජීවිතේ එක වතාවක හරි මේවා හදලා තියෙනවා. ඇයි ඉස්කෝලෙ කාලෙ රොකට් හැදුවෙ කඩදාසි වලින්? හැබැයි ඔරිගමි කලාව ටික ටික ඉගෙන ගන්න කොට ඉතාම සංකීර්ණ, පිස්සු හැදෙන සුළු නිර්මාණ බිහි කරන්න හැකියාව ලැබෙනවා. අන්න එතකොට පාට පාට කඩදාසි එහෙම අරගෙන වඩාත් දියුණු ඔරිගමි නිර්මාණ කරන්න පුළු​වන්.

 

7. එම්බ්‍රොයිඩර්

හණමිටි අදහස් නැති පිරිමියෙක්ට වුනත්, ගැහැණියකට වුනත් පටන් ගන්න පුළුවන් තවත් වටින කියන විනෝදාංශයක් තමයි එම්බ්‍රොයිඩර් මැහුම්. මේකටත් මූලික වියදම යන්නේ අර එම්බ්‍රොයිඩර් රාමුවටත්, ඉන් පස්සෙ රෙදි වලට, නූල් වලට සහ ඉඳිකටු වලට විතරයි. ඇත්තටම එම්බ්‍රොයිඩර් කියන්නේ අද කාලෙත් ප්‍රසිද්ධ බොහොම පැරණි කලාවක්. එම්බ්‍රොයිඩර් කලාවෙන් කරන ගෙතුම් ඉන් පස්සේ ඇඳුම් වලට අල්ලන්න පුළුවන්. එහෙම නැතිනම් ඕන නම් රාමු කරලා ලස්සනට තියන්න වුනත් පුළුවන්. එම්බ්‍රොයිඩර් ඉගෙන ගන්න පොත් නම් මාකට් එකේ ඕන තරම් තියෙනවා. එහෙම නැතත් ඔන්ලයින් ඉගෙන ගෙන වැඩේ කරගෙන යන්නත් හැකියි. බොහොම සැහැල්ලුවක් හිතට ගෙන එන විනෝදාංශයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *