පුද්ගලික ප්‍රශ්න ඇවිල්ලා, වැඩ හිරවෙලා ඉන්න වෙලාවක සිහිකල්පනාවෙන් වැඩ ගොඩදාගන්නේ මෙහෙමයි!

අපිට ජීවිතේ එක එක විදියේ කරදර කඩාපාත් වෙනවා. නොහිතන කරදර නොහිතන වෙලාවල් වල වෙනවා. මේ කරදර සිද්ධ වෙන්නේ අපිට නම්, ඒ කියන්නේ අපිට එකතැන් වෙන්න සිද්ධ වෙනවා වගේ දෙයක් වුනොත් ඉතින් කරන්න දෙයක් නෑ, රස්සා ගැන හිත හිතා ඉන්න බෑ. හැබැයි අපි කියමු අපේ ලඟම ආදරණීයයෙක්ට සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා කියලා. එහෙම නැතිනම් අපිට මොකක් හරි නඩුහබයකට හරි වෙනත් ඒ විදියේ දේකට හරි පැටලෙන්න වෙනවා කියලා. මේ දේවල් දෙකේදීම වෙන්නේ අපේ කාලය සැලකිය යුතු විදියට ඒ ප්‍රශ්නය වෙනුවෙන් යොදවන්න වෙන එක. ඒ වගේම අපේ මානසික සහනය වුනත් නැතුව යනවා. අනෙක් හැම දෙයක් ගැනම තියෙන අවධානය ගිලිහෙනවා. ආන්න ඒ වගේ තත්ත්වයකදී වුනත් අපිට රස්සාව කරන්න වෙනවා. මොකද ප්‍රශ්න ආවා කියලා අපිට නොකා නොබී ඉන්න බෑ. ආන්න ඒ නිසා එහෙම මොහොතක අපි වැඩකටයුතු කරන්න ඕන විදිය ගැන පොඩි උපදෙස් කීපයක් දෙන්න කවුරුහරි ඉන්නවා නම් ඉතාම වටිනවා!

 

1. තත්ත්වය පිළිගන්න, තත්ත්වය තක්සේරු කරන්න

තමන්ට බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්න එක තමයි මූලිකම කාර්​යය වෙන්නේ. එහෙම පිළිගත්තට පස්සේ අපිට පුලුවන් තත්වය තක්සේරු කරන්න. අපිට මොන තරම් කාලයක් යොදවන්න වෙනවද මේ ප්‍රශ්නය වෙනුවෙන්? අපිට කොහේ කොහේ යන්න වෙනවද? දවසකට අපේ කාලසටහන වෙනස් වෙන්නේ කොහොමද වගේ ප්‍රශ්න අපි මෙතනදී අහන්න ඕන. විශේෂයෙන්ම අපි කියමු අපේ ආදරණීයයෙක් බරපතල සෞඛ්‍ය අනතුරක් නිසා රෝහල්ගත කරලා කියලා. එතකොට අපිට එක්කෝ වරු තුන රෝහලට යන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොට ඒ කාලය ගණනය කරන්න වෙනවා. කොටින්ම කියනවා නම් අපි දවසක් ගත කරන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අන්න ඒක කලින්ම අනුමාන කරන්න ඕන.

 

2. තමන්ගේ හිත ගැන බලන්න

ඇත්තටම මේක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණාව. තමන් වැඩ කරන්න සහ තමන් ඉන්න තත්ත්වය කළමනාකරණය කරගන්න හොඳ තත්වෙක ඉන්න එක. මූලිකවම අපිට හිත හයිය කරගන්න වෙනවා. ඇත්තටම ජීවිතේ කියන්නේ ප්‍රශ්න, දුක්, කම්කටොලු වලට තමයි. හැබැයි ඒක ජීවිතේ එපා වෙන කාරියකුත් නෙවෙයි. මේ විදියේ ප්‍රශ්න කම්කටොලු එක්ක ඉස්සරහට යන ජීවිතේ හිත ශක්තිමත් කරගෙන ඒවලට මුහුණ දෙන එකත් හොඳ දෙයක්. ඒකෙන් ජීවිතේ අපිට පන්නරයක් ලැබෙනවා. ආන්න ඒ ඇත්ත මෙනෙහි කරලා හිත ශක්තිමත් කරගන්න ඕන.

 

3. හොඳ නීරෝගී තත්ත්වයෙන් ඉන්න ඕන

ඒ වගේම තමයි තමන්ගේ ශාරීරික තත්ත්වය ගැනත් බලන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ආදරණීයයෙක් රෝහල්ගත වෙලා ඉන්නවා කියලා හිතමු. එතකොට අපි පිස්සුවෙන් වගේ කන්නෙ බොන්නෙ නැතුව දුවලා හරියන්නෙ නෑ. අපි හැම මොහොතකම උපරිම මානසික යෝග්‍යතාවයෙන් වගේම උපරිම ශාරීරික යෝග්‍යතාවයෙනුත් ඉන්න ඕන. අන්න ඒකට හරි වෙලාවට කන්න බොන්න ඕන. දවසේ ප්‍රමාණවත් වෙලාවක් නිදාගන්න ඕන. ශාරීරික ව්‍යායාම එහෙම කරනවා නම් ඒවත් දිගටම කරගෙන යන්න ඕන. කොටින්ම කියනවා නම්, තමන්ගේ ශාරීරික සුවතාවය සඳහා මෙතෙක් වැය කරපු කාලය ඒ විදියටම පවත්වා ගන්න අසීරු වුනත්, ඒකට තමන්ගේ දවසෙන් කාලය වෙන් කරගන්න ඕන.

 

4. සේවාස්ථානයට දැනුම් දෙන්න, ප්ලෑන් එකක් හදාගන්න

අනිවාර්‍යයෙන්ම තමන්ගේ සේවාස්ථානයේ ප්‍රධානියාට සහ තමන් එක්ක ලඟින් වැඩ කරන්න සිද්ධ වෙන අයට තමන් ඉන්න තත්ත්වය ගැන දැනුම් දිය යුතුමයි. මොකද, අපි ඒ අයට අපි ඉන්න තත්ත්වය නොකියා වැඩ කොටඋඩ යවන එක නෙවෙයි හරි දේ. ආන්න ඒ නිසා තමන්ගේ ප්‍රධානියා එක්ක කථා කරලා පොඩි සැලසුමක් හදාගන්න පුළුවන් වැඩ කරන්න. එක්කෝ වෙනදා වගේ හැමදාම ඔෆිස් එන්න ඕන නැහැ කියලා හරි, තමන්ගේ ඔෆිස් වැඩ යම් කාලසීමාවක් ඇතුළත ඉවර කරලා යන්න පුළුවන් කියලා හරි එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ පැත්තෙනුත් මූණ දීලා ඉන්න කරදරකාරී තත්ත්වයට තමන්ගේ කාලය වෙන් කරලා, තමන්ගේ වෘත්තිය ජීවිතේ කටයුතු වලට කාලය වෙන් කරලා හරි සැලසුමක් හදාගන්න.

 

5. උදවු අවශ්‍යයි

මෙන්න මේක අති වැදගත් දෙයක්. අපි සමහරු ඉන්නවා අනෙක් අයගෙන් උදවු ගන්න කැමතිම නැහැ. සමහර වෙලාවට අපි මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නකොට වුනත් කාර්යාල සගයන්ගෙන් හරි තමන්ගේ අනික් සමීපතමයන්ගෙන් හරි උදවු ඉල්ලන්නෙ නෑ. විශේෂයෙන්ම තමන්ගේ රාජකාරි කටයුතු හරියට කරගන්න උදවු ඉල්ලන්න, තමන් ඉන්න ඇත්ත තත්ත්වය කියන එක, නිදහසට කරුණු කීමක් විදියට සමහරුන්ට හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතන්න එපා. අපිට උදවු අවශ්‍ය මොහොතේදී උදවු කරන්න හැමෝම පෙළගැහෙයි. සමහර වෙලාවට තමන්ගේ රාජකාරි වලින් යම් යම් ප්‍රමාණයන් අඩු කරන්න සිද්ධ වෙයි. එහෙම මොහොතක තමන්ගේ රාජකාරි සගයන්ගේ උදවු අවශ්‍යයි. අනික අපි සුපර්මෑන්ලා නෙවෙයිනේ. මේ වගේ තත්ත්වයක් කළමනාකරණය කරන ගමන්ම රාජකාරියත් උපරිම ප්‍රශස්තභාවයෙන් හරි කරන්න අපිට ලඟ ඉන්න අනෙක් අයගෙන් උදවු වුවමනායි. අන්න ඒ නිසා උදවු ඉල්ලන්න මැලි නොවෙන්න.

 

6. කොන්ටිටියට වඩා කොලිටිය වැදගත්

මේක සමහරු හිතන්නේ අනික් පැත්තට. ඒ තමයි තමන් කරන වැඩ ප්‍රමාණය අඩු කරගන්නෙ නැතුව ඔහේ ගහලා දාලා, උඩින් පල්ලෙන් බාගෙට හරි කරලා යවන එක තමයි වැදගත් වෙන්නේ කියලා. සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම උඩින් පල්ලෙන් කරන වැඩ ඉන් පස්සේ තව කෙනෙක් නිවැරදි කරන්න වෙනවා. අන්න ඒ නිසා කරුණාකරලා තමන්ට මේ මොහොතේ කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් බාරගන්න. ඉන් පස්සේ ඒ වැඩ ටික සම්පූර්ණ කොලිටියෙන් ඉෂ්ට කරන්න.

අනික, වැඩ කරන මොහොතේදී සම්පූර්ණයෙන්ම වැඩේට අවධානය දෙන්න. තමන්ගේ අවධානය එහා මෙහා වෙනවා කියන්නේ වැඩේ කොලිටිය අප්සට් යන්න ඉඩ වැඩියි කියන එක. ඒ වගේම වැරදීම් වෙන්න තියෙන ඉඩත් වැඩී. ආන්න ඒකට ඉඩ දෙන්න එපා. අනෙක් අතට මෙහෙම වෙලාවක වැඩ කරන එකෙන් හොඳක් වෙනවා. තමන්ට හිත ශක්තිමත් කරගන්න, හිත ඒකාග්‍රතාවයෙන් තියාගන්න වැඩ වලින් ලොකු උදවුවක් වෙනවා.

 

7. මූල්‍යමය තත්ත්වය ගැන අවධානයෙන්

ස්ථිර රැකියා කරන අයට නම් සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක ලොකුවට ආදායම් අඩුවෙන ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් නිදහස් රැකියා කරන අයට නම් ආදායම් ප්‍රශ්න එන්න පුළුවන්. මොකද, අපි කලිනුත් කිව්වා වගේ අපේ රාජකාරි වෙනදා වගේ සම්පූර්ණයෙන්ම කරන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම තමයි මේ වගේ අවස්ථාවකදී වියදම් වැඩිවීම සාමාන්‍ය දෙයක්. ආන්න ඒ නිසා හොඳ මූල්‍ය සැලසුමකට යන්නත් වෙනවා. එක්කෝ අපිට ලෝන් එකක් ගහන්න සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ සමීපතමයෙක්ගෙන් අතමාරුවක් දාගන්න සිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි මේ කොයි දේ වුනත් නියමාකාර සැලසුමක් ඇතිව, බොහොම අරපරිස්සමෙන් මුදල් පාවිච්චි කරන්න ඕන. ඒක රාජකාරිය හරියට ගොඩදාගන්න වැදගත් වෙනවා.

 

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ වගේ දේවල් වෙන්නේ මිනිස්සුන්ට. අන්න ඒ නිසා හිතේ ධෛර්‍යයෙන් යුතුව වෙන හැමදේකටම මුහුණ දෙන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *