ඉස්ලාම් ​නොවන අයට මක්කමේ දොර වැහිලා ඇයි?

වන්දනා ස්ථානයක් විදියට මක්කම ලෝකේ වැඩිම පිරිසක් වසරකට වන්දනා කරන තැනක්. මේ මක්ක​මට එන සංචාරකයින් ඔක්කෝම මුස්ලිම්. මුස්ලිම් නොවන සංචාරකයින්ට හජ් වන්දනාව කරන්න සෞදි රටෙන් අවසර නැහැ. වෙනත් ආගමිකයින්ට හජ් තහනම් වීම ගැන විවිධාකාර මත තියෙනවා. ඒත් ඇත්තම කතාව මොකද්ද? අපි ඒ ගැන බලමු.

 

1. විශ්වාසවන්තයින්ගේ ආරක්ෂාව

Image Source – thenational.ae

ලෝකයේ අනුමත පිරිස් වලට පමණක් යන්න අවසර තියෙන තවත් තැන් ගොඩක් තියෙනවා. ඇමරිකාවේ පෙන්ටගනය එහෙම තැනත්. ලංකාවේ වුනත් ප්‍රභූවරු සිටින මන්දිර වලට සාමාන්‍ය ජනයාට පහසුවෙන් යන්න බැහැ. ඒවා එහෙම තියෙන්නේ ආරක්ෂාව වෙනුවෙන්. මේ මක්කම සිද්ධස්ථානයේ නියම වටිනාකම දන්නේ මුස්ලිම් බැතිමතුන්. එහෙම නැති අයට ඒ මක්කාව කියන්නේ තවත් එක ට්‍රැවලින් ඩෙස්ටිනේශන් එකක් විතරයි. ඒ ආකාරයෙන් ඒ තැනට අදා​ළ ශුද්ධ වූ ආගමික වටපිටාව ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා මක්ක​මට එදා ඉ​ඳලා වෙනත් ආගමිකයින්ට යන්නට අවසර ලැබෙන්​නෙ නැහැ.

 

2. තදබදය

Image Source – thenational.ae

මුස්ලිම් නොවන අයටත් මක්ක​ම විවෘත වුනොත් තවත් මිලියන ගා​ණක පිරිසක් මක්ක​ම කරා ඇදී එනවා. නියමිත වන්දනා කාලයට පමණක් නෙමෙයි, වෙනත් කාලවල​ටත් මක්කම මුස්ලිම් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යනවා. ඇතැම් කාලවලදී තෙරපීම් නිසා ජනයා මියපරලොව යනවා, තුවාල ලබනවා. ඉතින් මේ වගේ සුවිසාල පිරිසක් වන්දනාමාන කරන්න බලාගෙන ඉන්න තැනකට තවත් බැතිමතුන් ​නොවන සංචාරකයින්ට ඇතුල්වෙන්න ඉඩ ලැබුනොත් එතැනත් අලුත් ඉඩකඩ ගැටළු නිර්මාණය වෙනවා.

 

3. එදා තත්ත්වය

Image Source – en.wikipedia.org

එදා නබි තුමා මුල් කාලයේ සිටි මක්කම කියන්නේ ආගම් ග​ණනාවක් පැවතුන තැනක්. විවිධාකාර දෙවිවරුන් ​ජනයා විසින් වන්දනාමාන කළා. නබිතුමා ඒ සියලු ඇදහිලි ප්‍රතික්​ෂේප කර දෙවියන් වහන්සේගේ පණිවුඩය ලොවට බෙදා දුන්නා. එසේ වුවත් වෙනත් ආගමිකයින් ඒ මක්ක​ම අසල වාසය කළා. ඔටෝමාන් රාජධානියට මක්කම නගරය 1229 සිට 1923 දක්වා අයිති වෙලාතිබුනා. ඒ පෞරාණිකව වෙනත් දේව ඇදහිලි විශ්වාස කරන අයගෙන් මක්ක​ම ආරක්ෂා කරගන්න පියවරක් විදියටත් එදා මේ මහා සිද්ධස්ථානය සහි​ත නගරය වෙනත් අයට තහනම් වූවා කියලා ඉතිහාසමය සාධක අනුව පේනවා.

 

4. පිරිසිදුකම

කුරා​ණයේ පුද්ගලයාගේ පිරිසිදුකම ගැනත්, පූජනීය ස්ථානයක පිරිසිදුකම ගැනත් පැහැදිලිව දක්වා තිබෙනවා. ලංකාවේ වුනත් පල්ලියකට යන්නට කලින් කකුල් සෝදාගෙන යෑමේ වතාවත් තියෙනවා. මේ මක්කම සිද්ධස්ථාන වන්දනාවේදීත් පිරිසිදුකම ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ නිසා පිරිසිදුකම ගැන ඉස්ලාමීය ඉගැන්වීම් ගැන නොදන්නා පිරිස් මක්කම හජ් වන්දනාවට වැද්ද ගැනීම ගැටළු ඇති කරනවා.

 

5. සෞදි රටට අයිති වීම

සෞදි රටේ තෙල් ඇරුනාම තියෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. එයිනුත් මේ හජ් වන්දනාව සෞදි රටේ මූලික ආදායම් මාර්ගයක් වෙනවා. ඒ වගේම සෞදි රජය මේ සිද්ධස්ථාන සිය රටේ තිබෙන උතුම් පූජනීය වස්තුන් ලෙසද සලකනවා. ඒ නිසා මේ මක්ක​මට අදා​ළ නීති රීති ආදිය සැකසීමේදී මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රදායන්ට ගරු කරමින් අන්‍යාගමිකයින්ට පිවිසීමේ අවස්ථාව සෞදි රට විසින් නීති රීති යොදා පාලනය කරලා තියෙනවා.

 

6. කො​හොමද පරීක්ෂා කරන්නේ?

Image Source – english.alarabiya.net

මක්ක​මට සහ මදීනාවට යන අධිවේගී මාර්ගවලදී නගරයට පිවිසෙන සෑම අයෙක්ගේම පාස්පෝට් පරීක්ෂා කරනවා. එතැනදී එම පාස්පෝට් වල මුස්ලිම් යැයි ජාතිය ස​ඳහන් නොවුනොත් ඔවුන්ට බොහෝවිට මක්ක​මට පිවිසෙන්නට බැරි වෙනවා.

 

7. ජනගහ​ණය වැඩි වීම

Image Source – houseofsaud.com

ලෝකයේ වැඩිම මුස්ලිම් ජනකායක් ඉන්න රටවල් දහය අතර ඉන්දුනීසියාව, පාකිස්ථානය, ඉන්දියා​ව වගේ රටවල් තියෙනවා. ඒ වගේම සෞදි අරාබිය, මැදපෙරදිග, අප්‍රිකාව වගේ පැති වලත් මුස්ලිම් ජනතාව වාසය කරනවා. මේ ජනතාව මීට සියවසකට පෙර සිටි තරමට වඩා අද වෙනවිට දෙගුණ තෙගුණ වෙලා බිලියන 1.5කට වඩා වැඩි මුස්ලිම් ජනතාවක් දැන් ලෝකයේ ඉන්නවා. එක්දාස් අටසීය ග​ණන් වල වෙනත් විදේශිකයින්ද මක්කාවට පිවිසුන අවස්ථා ගැන වාර්තා තියෙනවා. සෑම මුස්ලිම්වරයෙකුම ජීවිතයේ වරක් හෝ හජ් වන්දනාව සිදු ක​ළ යුතුයැයි කුරාණයේ ස​ඳහන් වෙනවා. ඒ නිසා ලෝකයේ මුස්ලිම් ජනතාව වැඩිවීමත්, මක්කාවට වෙනත් ජාතිකයින්ට පිවිසෙන්නට අවසර නොලැබීමට හේතු වෙලා තියෙනවා.

 

ආගම් එක්ක ආගමික සම්ප්‍රදායනුත් බොහෝවිට බද්ධ වී තියෙනවා. මක්ක​මේ තිබෙන කාබාව කියලා හඳුන්වන කලුපැහැති කුටීරය කියන්නේ වඳින පුදන තැනක් නෙමෙයි. නබිතුමා විසින් එදා කෙලින්ම පිළිම සහ දේවාල ආදී වන්දනාමාන ප්‍රතික්ෂේප කළා. එම කාබාව, සෙන්ටර් එක හෙවත් මූලික තැන විදියට සලකලා ඒ දෙස හැරී වන්දනාමාන කිරීම ලොවපුරා මුස්ලිම්වරුන්ගේ චාරිත්‍රයක් වෙලා තියෙනවා.

ඉතින් මක්කම අපට යන්න බැරි ඇයි කියලා මුස්ලිම් නොවන අයෙක්ට ගැටළුවක් තිබුනා නම් ඒ ගැටළුව සෑහෙන දුරට මෙයින් විස​ඳෙන්නට ඇති කියලා ලයිෆි අපි හිතනවා.